Recent Posts

Pages: [1] 2 3 ... 10
1
ක්‍රිස්‌තු වර්ෂ 15 වැනි සියවසේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සවැනි පැරකුම්බා නරනිඳු රාජ්‍ය කරන අවධිය සියවස්‌ කීපයක්‌ තිස්‌සේ උතුරු යාපන අර්ධද්වීපය ද ඇතුළත් ව ඒකීය පාලනයක්‌ ඇති වූ කාල පරිච්ඡේදයකි. එතුමා අඩ සියවසකටත් වැඩි කාලයක්‌ එනම් වසර 52 ක්‌ ම නොකඩවා සිහසුනේ සිටීම ම ඊට හොඳ නිදර්ශනයකි. මෙම දීර්ඝ සාමකාමී කාල වකවානුව රටේ අධ්‍යාපනික හා අනිකුත් අංශවල ද මහත් දියුණුවක්‌ ඇතිවීමට හේතුවක්‌ වී ඇත. එකල මෙරටෙහි පැවැති උසස්‌ අධ්‍යාපන ආයතන හතරක්‌ වශයෙන් තොටගමුවේ විජයබා පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන, වීදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන හා පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙන සමකාලීන මූලාශ්‍රයන්හි සඳහන්ය. මේ අතරින් තොටගමුවේ විජයබා පිරිවෙන දිවයිනේ මහත් ප්‍රසිද්ධියට පත් වූයේ එහි අධිපතිව වැඩ සිටි ශ්‍රී රාහුල හිමියන් නිසාය. ඒ විශේෂයෙන්ම උන්වහන්සේ විසින් රචිත සංදේශ කාව්‍ය ඇතුළු සාහිත්‍ය කෘතීන් නිසාය. කෝට්‌ටේ සමයේදී විජයබා පිරිවෙන මෙසේ ප්‍රසිද්ධියට පත් වුවද මෙම පිරිවෙනෙහි ආරම්භය ඉන් බොහෝ කලකට පෙර සිදුවී ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය පුරාවිද්‍යාත්මක සාධක එම ස්‌ථානයෙන්ම හමුවී ඇත. එහෙත් එම ස්‌ථානය පිළිබඳව නොකඩවා පූර්ණ ඉතිහාස විස්‌තරයක්‌ සොයාගැනීම අපහසු වන්නේ රජරට ශිෂ්ටාචාර සමයේ දී ලියෑවුණු වංසකථා සම්පූර්ණයෙන් මෙන් ම වැය කොට ඇත්තේ අනුරාධපුරයේ හෝ පොලොන්නරුවේ විස්‌තර දැක්‌වීමට නිසාය.

කෙසේ වෙතත් මෙම පිරිවෙන් භූමියේ දැනටත් ශේෂ වී ඇති පැරණි ගොඩනැඟිල්ලක ගල්ටැම්වල කොටා ඇති ලිපිවල අක්‌ෂර ක්‍රි.ව. 8-10 සියවස්‌ අතරට වැටෙන බව උගතුන් පිළිගෙන ඇත. හික්‌කඩුවට නුදුරින් මාදම්පා ඔය අසල පිහිටා ඇති මෙම විහාරය දැනට ගාලු දිස්‌ත්‍රික්‌කයේ වැල්ලබොඩ පත්තුවේ තෙල්වත්ත ග්‍රාමයේ පිහිටා ඇත.

දැනට මෙහි විෂ්ණු, නාථ හා කතරගම යන දේවාල භූමියේ දක්‌නට ලැබෙන ඉහත සඳහන් කළ ඉපැරණි ගොඩනැඟිල්ලෙහි ගල් ටැම්වල සොමොන් මතුගෙ ටැඹ, මහින්ද මන්ගේ ටැඹ, මහබලගම් උපුලාගෙ ටැඹ, මහබලගම් උපුලාගෙ මව මිද්දලගෙ ටැඹ යනුවෙන් අක්‌ෂර පාඨ කොටා ඇත. මෙම අක්‌ෂර පැහැදිලිව ම අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත්ය. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ගිරා සංදේශයේ සඳහන් වන්නේ මෙම විහාරය කැලණිතිස්‌ස රජු සමයේ කෙරුණක්‌ බවය. අනුරාධපුරයේ පැවැති මහාවිහාරය, අභයගිරිය හා ඡේතවන යන පුරාණ විහාරවල භික්‍ෂු කණ්‌ඩායම් එකල සිටම කාණ්‌ඩ හෙවත් මූල අටකට බෙදී සිටි බව පැරණි මූලාශ්‍ර වල සඳහන් වේ. මෙකී මූල වලට සම්බන්ධ විහාරාරාම දිවයිනේ විවිධ පළාත්වල පිහිටා තිබිණි. අනුරාධපුර යුගයේ දී පමණක්‌ නොව රජරට ශිෂ්ටාචාරය පරිහානියට පත්වීමෙන් පසු නිරිතදිග ශිෂ්ටාචාර සමයේ දීත් එකී මූලවලට අයත් විහාර දිවයිනේ වෙනත් පළාත්වල ක්‍රියාත්මක වෙමින් පැවැති බවට සාක්‌ෂය හමුවේ. මේ අතරින් පැරණි අභයගිරි නිකායට අයත් මූල සතර වූයේ උත්තරමූල, මහනෙත්පාමුල, වහදුමූල හා කපාරාමූලයයි. දඹදෙණි සමයේ පූජාවලිය ඇතුළු ග්‍රන්ථ රාශියක්‌ ලියෑවුණු ගම්පොල ප්‍රදේශයේ පිහිටි මයුරපාද පිරිවෙන අභයගිරියේ මහනෙත්පා මූලයට අයත් වූ බව එකී ග්‍රන්ථවල සඳහන්ය. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන සමකාලීන ග්‍රන්ථවල කියෑවෙන්නේ උන් වහන්සේගේ පරම්පරාව උත්තරමූලයට අයත් වූ බවය. කෝකිල සංදේශය, කාව්‍යශේඛරය ආදී ග්‍රන්ථවල උන්වහන්සේ උතුරු මූල මහතෙරිඳු යනුවෙන්ද බුද්ධිප්පසාදන ටීකාවේ උත්තරමූල රාහුල මහාථෙර යනුවෙන්ද සඳහන් වීම නිදසුන් ලෙස දැක්‌විය හැකිය.

මේ සාධක අනුව තොටගමුවේ විජයබා පිරිවෙන අනුරාධපුර යුගයේ සිටම ක්‍රියාත්මක වන අනුරාධපුර පැරණි අභයගිරා නිකායට සම්බන්ධ පිරිවෙනක්‌ බව නිගමනය කළ හැකිය. අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත් සෙල්ලිපි සහිත එහි ඇති ගල්කණු ද ඊට පරිවාර සාධකයක්‌ වේ. ගිරා සංදේශයේ සඳහන් තොටගමු විජයබා පිරිවෙන් වැනුමෙන්ද පෙනෙන්නේ එහි ඉගැන් වූ විෂයයන් අතර ජ්‍යෙතිෂය, තාරකා ශාස්‌ත්‍රය වෛද්‍ය විද්‍යාව, කාව්‍ය නාටකාදී ලෞකික විෂයන්ගෙන් පෝෂිත වූ බවය. කෑරගල පද්මාවතී පිරිවෙනෙහි පාඨමාලාව ගැන හංස සංදේශයේ කෙරෙන විවරණයත් සමඟ සැසඳීමේ දී විජයබා පිරිවෙන පැරණි අභයගිරි සම්ප්‍රදායත්, පද්මාවතී පිරිවෙන මහාවිහාර සම්ප්‍රදායත් අනුගමනය කළ හැකි බව පැහැදිලි වේ. එම ග්‍රන්ථයන්හි දැක්‌වෙන පරිදි තොටගමුවේ පිරිවෙනේ සාමණේරයන් විසින් ව්‍යාකරණ වනපොත් කරන කල්හි කෑරගල පිරිවෙනේ සාමණේරවරු, ශික්‌ෂාවට අනුව ප්‍රතිපත්ති පිරූ බව සඳහන් වීම ඊට එක්‌ උදාහරණයකි. එසේ ම පුරාණ අභයගිරි විහාරය මහායානයට බර එම අදහස්‌ ප්‍රචාරය කළ මධ්‍යස්‌ථානයක්‌ ලෙස සැලකේ. මෑතක දී අභයගිරි ස්‌තූපයේ නිදන් කොට තිබී මහායාන සම්ප්‍රදායේ අවලෝකිතේශ්වර පිළිම කීපයක්‌ ද සොයාගෙන තිබීම ඊට තවත් උදාහරණයකි. තොටගමුවේ විජයබා පිරිවෙන්පති ශ්‍රී රාහුල හිමියන්ද දේව භක්‌තිය තදින් විශ්වාස කළ යතිවරයෙකි. නිදසුනක්‌ ලෙස සවැනි පැරකුම්බා රජුගේ බිසවට දරු සම්පත් නොලැබ සිටි කල්හි ඇයට දරුවෙකු ලබාදෙන මෙන් විභීෂණ දෙවියන් යදිමින් සැළලිහිණි සංදේශය රචනා කරන්නේ ද උන්වහන්සේ විසිනි.

කෙසේ වෙතත් චූලවංසයේ සඳහන් වන්නේ විජයබා රජතුමා විසින් මෙම පිරිවෙන කරවූ බවය. මෙහි සඳහන් වන විජයබා රජතුමා වූ කලී ක්‍රිස්‌තු වර්ෂ 1070 දී සොළීන්ගෙන් රට නිදහස්‌ කරගත් පොලොන්නරුවේ රජකම් කළ මහ විජයබා රජතුමා බව සැලකේ. එහෙත් මෙම පිරිවෙනේ තවමත් දක්‌නට ඇති පැරණි ගොඩනැඟිලි සෙල් ටැම්වල අනුරාධපුර යුගයේ අග භාගයට අයත් ශිලාලිපි දක්‌නට ලැබෙන හෙයින් මෙය මහ විජයබා රජතුමාගේ කාලයට පෙරාතුව ඉදි වූවක්‌ බව ඉතා පැහැදිලිය. ක්‍රිස්‌තු වර්ෂ 1017 දී සොළීන් රජරට අල්ලා ගැනීමෙන් පසු රජරට පමණක්‌ නොව රටේ අනිකුත් ප්‍රදේශවල ද බෞද්ධ විහාරස්‌ථාන අභාවයට ගියේ ඒවාට නිසි ලෙස රාජ්‍ය අනුග්‍රහය නොලැබී යැම නිසාය. තවද රුහුණේ ස්‌ථිර සිංහල, බෞද්ධ පාලකයෙකු නොමැති වීමත් දේශපාලන අවුල් වියවුල්තාවෙන් එම ප්‍රදේශ යුක්‌ත වීමත් නිසා පැරණි තොටගමු විහාරය ඇතුළු අනිකුත් බෞද්ධ විහාරස්‌ථානවල නිසි පරිදි නවකම් කිරීම් සිදු නොවන්නට ඇති බව සැලකිය හැක්‌කේ වසර පණහක පමණ සොළී පාලනයෙන් පසු මහ විජයබා රජතුමා රටේ විවිධ පෙදෙස්‌වල වෙහෙර විහාර පිළිසකර කළ බව වංසකතාවේ සඳහන් වන නිසාය. මේ අනුව පරිහාණයට පත්ව තිබූ තොටගමු පිරිවෙන ද මහ විජයබා රජුගේ අනුග්‍රහයෙන් පිළිසකර කිරීමෙන් පසු එයට රජතුමාගේ නම තබා විජයබා පිරිවෙන යනුවෙන් නම් කෙරෙන්නට ඇති බව සැලකීම යුක්‌ති යුක්‌තය. සීගිරි කසුප් රජතුමා පැරණි ඉසුරුමුණි විහාරය පිළිසකර කිරීමෙන් පසු ඊට තමාගේ නම තබා කසුප්ගිරි රද් මහ වෙහෙර යනුවෙන් නම් කිරීම මෙවැනි ම සිද්ධියකි.

විජයබා රජතුමා විසින් මෙම විහාරයට රියන් හතළිස්‌ පහක්‌ දිග් වූ ප්‍රාසාදයක්‌ ඉදිකළ බව චූලවංසයේ සඳහන්ය. අනතුරුව නිරිත දිග ශිෂ්ටාචාර සමයේ දී මෙම විහාරයට නිතර පාලක අනුග්‍රහය ලැබීමෙන් කාලයක්‌ යන කල්හි දිවයිනේ අනිකුත් පිරිවෙන් අභිබවා කැපී පෙනෙන තත්ත්වයකට පත්විය. කුරුණෑගල රජකම් කළ 4 වැනි පැරකුම්බා රාජ්‍ය කාලයද මේ අතරින් කැපී පෙනේ. එතුමා විසින් මෙම විහාරයට රියන් අනූවක්‌ දික්‌ වූ දෙමහල් ප්‍රාසාදයක්‌ කළ බව චූලවංසයේ සඳහන්ය. එතුමා විසින් මෙම ප්‍රාසාදය කරවන්නට ඇත්තේ විජයබා රජතුමා විසින් කරවන ලද ප්‍රාසාදය දිරාපත් වන්නට ඇති නිසා විය හැකිය. එතුමා විසින් කරවන ලද පහය නොයෙකුත් වර්ණවත් චිත්‍ර වලින් අලංකාර වූ බවත් එය කායස්‌ථි නම් වූ එහි වැඩ සිටි තෙර නමකට පිදූ බවත් එහි වැඩිදුරටත් විස්‌තර වේ. තවද රජතුමා එම තෙරුන්ට සලග්ගාම නම් වූ ග්‍රාමය ද පූජාකොට ගං ඉවුරේ වූ එහි පොල් උයනක්‌ ද කරවූ බව එහි වැඩිදුරටත් සඳහන්ය. 14 වැනි සියවසේ දී රචිත නිකාය සංග්‍රහයේ ද මෙම පිරිවෙන ගැන සඳහන් වේ. එහි දැක්‌වෙන පරිදි එම පිරිවෙනේ වැඩ සිටි විල්ගම්මුල මෛත්‍රිය තෙරුන් වහන්සේ 1396 දී සිදුකරන ලද මහා සංඝ සභාවට සහභාගි වී ඇත. එම තෙරුන් වහන්සේ පිළිබඳව සඳහන් කරන විමුක්‌ති සංග්‍රහය උන්වහන්සේ සකළකලා වල්ලභ, ෂඩ් භාෂා පරමේශ්වර, ත්‍රිපිටක වාශීශ්වර යනාදී උපාධි නාම වලින් හඳුන්වා ඇත. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් මෙම පිරිවෙනෙහි අධිපතීත්වය ලබාගෙන ඇත්තේ උන්වහන්සේගෙන් පසුවය. මෙම පිරිවෙන රාහුල මහ තෙරුන්ගේ කාලයේ දී විශේෂයෙන් ම රාජ්‍ය අනුග්‍රහය ලබන්නට ඇති බව නිසැකය. මන්ද තොටගමුවේ ශ්‍රී රාහුල තෙරුන් වහන්සේ ද රජ පවුලේ ම කෙනෙකු වූ බැවිනි. එසේම රජතුමාගේ උපදේශක තනතුරේ උන්වහන්සේ සිටින්නට ඇති බව සැලකේ. මෙම තත්ත්වය පිරිවෙනේ දියුණුවට මහත් සේ බලපාන්නට ඇත. ඒ සමයේ දී විහාරය හා පිරිවෙන පැවැති අන්දම පිළිබඳ මනා විස්‌තරයක්‌ රාහුල හිමියන් විසින්ම රචිත ගිරා සංදේශයේ සඳහන්ය. ඒ උන් වහන්සේ පසක්‌ ඇසින් දුටු දේය. එහි සඳහන් පරිදි මහ මුහුද දෙසින් වූ මහා මාර්ගයේ සිට සුදු වැලි ඇතිරූ මාර්ගයක්‌ විහාරය දක්‌වා විය. විහාරය හා පිරිවෙන පරික්‌ෂිප්ත කොට ඒ වටා වූ මහා පවුරකි. එම පවුරෙහි විහාරයට ඇතුළු වීම සඳහා වූ ද්වාර මණ්‌ඩපයකි. එකී ද්වාර මණ්‌ඩපය තුළින් ඇතුල් වන්නේ පොහොය මළුවටය. ඉන් නැගෙනහිර දෙසින් ඇත්තේ පිළිම ගෙයකි. තවත් පැත්තකින් ස්‌තූපය පිහිටා ඇත. පිළිම ගෙය තුළ දිසා පිළිමය නමින් හැඳින් වූ බුදුපිළිමයක්‌ නාථ දෙවිඳුන්ගේ රූපයක්‌ විය. මෙකී විස්‌තරය අනුව නාථ හෙවත් අවලෝකිතේශ්වර ඇදහීම එදා මහ විජයබා පිරිවෙනේ පැවැති ආකාරයත් එය ප්‍රචලිත වූ ආකාරයත් අවබෝධ කරගැනීමට මෙම විස්‌තරය වැදගත්ය. අවලෝකිතේශ්වර යනු මහායාන බුද්ධාගමේ ඇති ප්‍රධාන බෝධිසත්ව විශ්වාසය වේ. අවලෝකිතේශ්වර යනු බුදුන් වහන්සේ දේවත්වයට නැංවීමක්‌ සේද සැලකේ. සද්ධර්මපුණ්‌ඩරීකය නම් වූ මහායාන ග්‍රන්ථයේ අවලෝකිතේශ්වර ගැන පරිsච්ඡේදයක්‌ ම වෙන් වී ඇත. සියලු සත්වයන් දුකින් මිදෙනතුරු උන්වහන්සේ ලෝකයත් මිනිස්‌ සංහතියත් සියලු දුක්‌ඛ දෝමනස්‌සවලින් ආරක්‍ෂා කරන්නේය.

එකල්හි විජයබා පිරිවෙනෙහි පාඨමාලා උගැන්වීමේ ක්‍රම ආදී බොහෝ විස්‌තර ගිරා සංදේශයේ විජයබා පිරිවෙන් වැනුමෙහි දැක්‌වේ. එහි දැක්‌වෙන පරිදි ආගමික විෂයයන්ට අමතරව එහි ලෞකික විෂයයන් වූ ජ්‍යෙතිෂය වෛද්‍ය ශාස්‌ත්‍රය කාව්‍ය භාෂා ගණිතය ඇතුළු විෂයයන් ගණනාවක්‌ උගන්වා ඇත.

මෙසේ දියුණුවට පත්ව තිබූ තොටගමු පිරිවෙන 1580 පරංගි සේනාපතියෙකු වූ තෝමේ ද සෞසා විසින් දකුණේ වෙරළබඩ ප්‍රදේශය විනාශ කිරීමේ දී විනාශ කළ බව වාර්තා වේ. මේ බව පෘතුගීසි ලේඛක ජෝන් රිබෙයිරෝගේ විස්‌තරයේ ද සඳහන් ය. මෙයින් සියවස්‌ එකහමාරකට පමණ පසු දකුණු සිරිලක විසූ මහතෙර නමක්‌ වූ පල්ලත්තර පුඤaඤසාර තෙරිඳුන්ගේ නෙතට මෙම විහාරයේ නටබුන් හසු වීම මෑත කාලයේ එහි ප්‍රබෝධයට හේතු විය. මේ උඩරට වැලිවිට සරණංකර හිමියන්ගේ මූලිකත්වයෙන් රට පුරා බෞද්ධ පුනර්ජීවනයක්‌ ඇති වූ අවධිය විය. පුඤaඤසාර හිමියන් තංගල්ලේ සිට සාමණේර පිරිසක්‌ සමඟ උපසම්පදාව ලබාදීම සඳහා පා ගමනින් උඩරටට වැඩම කරණ කල්හි මීට නුදුරු ස්‌ථානයක ලැගුම් ගත් කල්හි ගම් වැසියන් විසින් මෙම නටබුන් පිරිවෙන ගැන උන්වහන්සේට දැනුම් දී ඇත. උන් වහන්සේගේ උත්සාහයෙන් 1765 දී මෙම විහාරය නැවත පිළිසකර වූ අතර එම විහාරය අද නම් කෙරී ඇත්තේ පැරණි විහාරය නමිනි. විහාරයේ වැඩකටයුතු අවසන් වී ඇත්තේ 1799 වර්ෂයේදීය. එම විහාරයේ සිතුවම් අකුරැස්‌සට නුදුරු කඩොල්ගල්ලේ මහ සිත්තරා විසින් අඳින ලද්දේය. ඉන් පසුව ඉදිවූ අලුත් විහාරය නිම කරවා ඇත්තේ 1805 දීය. එහි දක්‌නට ඇති සිතුවම් ඇඳ ඇත්තේ සත් කෝරළේ සිත්තර මුහන්දිරම් විසිනි.






අනුෂි තිසාරා කාරියවසම්
Divaina 05-12-2010

2
Honda Vezel වල දෝෂයක් ඇතිවෙලා
---------------------------------------

හොන්ඩා මෝටර් සමාගම විසින් නිපදවූ Honda Vezel කියන්නෙ ලංකාවේ මේදවස්වල නිතර දකින්න පුලුවන් වාහනයක්, සැප්තැම්බර් මස ජපානයේ වාහන අලවියේ තෙවන තැනට පත්වී තිබෙන්නේ මෙම වාහනයයි. ඉතින් මේකට තියෙන ඉල්ලුම කොච්චරද කියල කියන්න පුලුවන් නේද?. අපි අද කතාකරන්න යන්නෙ මෙම වාහනයක් මිලදීගන්න හිතාගෙන ඉන්නවනම් බලන්න ඕන කරන ප්‍රධාන කාරනයක් ගැන.

පසුගියදා හොන්ඩා  මෝටර් සමාගම විසින් දී ඇති නිවේදනයකට අනුව කොම්පැනිය සිය කැමැත්තෙන්  නව හොන්ඩා ෆිට් හිබ්රිඩ් සහ වෙසල් හිබ්රිඩ් (Fit Hybrid and Vezel Hybrid) වාහන වල නැවත කැදවීමක්.................

සම්පූර්ණ ලිපිය කියවන්න:- http://meka-pudumalokayak.blogspot.com/2015/02/honda-vezel.html
3
තොරතුරු තාක්ශනය වියපත් නොවන විෂයකි. ආසන්නව සෑම දෑ වසරකට වරක් එය තම ප්‍රධාන අවයවය නොහොත් ප්‍රොසෙසරයේ හැකියා වපසරිය දෙගුන යක් බවට පත්කර ගන්නා අපූරු ගුනයකින් යුත් හැකියාවක් ගෙනවිත් ඇත. එම ප්‍රබෝධය ප්‍රොසෙසරයට පමනක් සීමා නොවී තම මෘදුකාංග පරිසරයට මෙන්ම නෙට්වර්ක් හැකියා පරිසරයටද ගෙනෙන්නේ විසල් සැහැල්ලුවකි. මෙහි ප්‍රථිපලය අපූර්වය. එක දිනයකදී සිහිනයක් ලෙසට හැගෙන හැකියාවක් වසරක් දෙකක් ගෙවෙනවිට වෙළඳ පොලට පැමින ඇති පහසුවක් වන විස්මිත ක්‍රියාකාරකමක් එය නිරන්තරයෙන් ඉ‍ටුකර මින් සිටින්නේ එහෙයිනි.

  එක් අතකින් 3D ප්‍රින්ටින් හැකියාව සාමන්‍ය ජීවිත රටා උඩුයටිකුරු කරන්නක වන්නට තම සුලු කලක් යනු ඇත. ඔබ නිවසේ භාවිතාකරන බොහෝ උපකරන මිළදී ගැනීම යනු online ආකාරයට මුදල් ගෙවීමක් ඔස්සේ ලබා ගන්නා රිසිට් පතක් හා සැලසුමක් පමනක් වන දිනය හදාරන්නන් අවධාරනය කරන්නකි. එම සැලසුම ඔස්සේ විසිත්ත කාබරයට එන විසිතුරු සැරසිල්ලක සිට සංකීර්න උපකරනයක් විය හැක. නිවසේ 3D ප්‍රින්ටරයෙන් හෝ එය පහසුකම් මදි විටක වෙළඳ මට්ටමේ 3D ප්‍රින්ටරයකින් අදාල උපකරනය නිමවා ගැනීමට පමනක් නව හිමිකරුට සිදුවනු ඇත. ඩිජිටල් ඇසිස්ටන්ට්, දත්ත උපාංගය සමග වන share හා search හැකියවන් හකුලවා ශ්‍රව්‍ය දෘශ්‍ය ස්වභාවික ඇනවුම් ඔස්සේ දිවෙන කාලය වඩාත් ඈත බවට සිතිය නොහැකිය.මනසක් ඇති සැබෑ සහයකයෙකුගේ ස්වභාවයට එය වර්ධනය වීම ඉදිරි දශකය තුල සිදුවීම අනිවර්ය බවටයි හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ.
 www.it.seethawakapura.com
4
තොරතුරු තාක්ෂණය  ඉල්ලා සිටින්නේ වඩාත් වෙනස් ආකාරයක ආර්ථික, දේශපාලනික, සමාජීය මෙන්ම අවසාන ලෙස සංස්කෘතික රටාවකි. එය ප්‍රථම වතාවට මෙතෙක් මිනිස් වර්ගයා පාලනය කල ප්‍රධාන සාධකයන් දෙකක් වූ දුර සහ කාලය ඉක්මවා අවසන්ය. එය හුදු තවත් තාක්ෂණයක් ලෙසට පමනක් සීමා නොවන මහා ශක්‍යතාවයකින් යුත්ත බව යුගයක් තම නමින් නම් කරවා ගන්නට සමත් වීමෙන්ම ඔප්පුවේ. එය තවදුරටත් වෙනම උපාංගයක් ලෙසට නොව දෛනික ජීවිතය වටා ඇති බොහෝ උපකරනටන්ට සංයුත්තව පැමිනෙන වෙනම උපකරනයක ස්වභාවයෙන් හැකියාවක් ස්වභාවය දක්වා වෙගයෙන් විස්ථාපනය වෙමින් පවතියී
5
ස්‌වභාවික පරිසරයේ ජෛවවිවිධත්වය ආරක්‍ෂා කිරීමට මහත් දායකත්වයක්‌ සපයන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස උරග ගණයට අයත් සර්පයින් හඳුනාගත හැකිය. සර්පයින්ගේ විසකුරු බව මත පමණක්‌ පදනම්ව මිනිසුන් මොවුන් විනාශ කිරීම නිසා ජීවත්වීමේ වරම නොලද, වඳවෙමින් යන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස සර්පයින් හඳුනාගෙන තිබේ.

ලෝකය පුරා සර්ප විශේෂ 2400 ක්‌ පමණ වාසය කරන අතර මින් විශේෂ 96 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ ජීවත්වන බව වාර්තාවී ඇත. මෙම සර්පයින් අතරින් බොහෝ කොටසක්‌ ජීවත්වනුයේ මුහුදේ වන අතර ඉතිරි කොටස ගොඩබිමට සීමාවී තිබේ. ගොඩබිම ජීවත්වන සර්පයින් අතරින් වැඩි දෙනෙකු විෂ රහිත වූවන් ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම විෂ සහිත ගොඩබිම් සර්පයින් මාරාන්තික විෂ සහ මද විෂ සහිත සර්පයින් ලෙස කොටස්‌ දෙකකින් හඳුනාගත හැකිය.


 
සර්පයින් දෂ්ටකිරීම අනුව ලොව පුමුඛපෙළේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවද වැඩි අවධානයක්‌ හිමිකරගත් රටකි. එදිනෙදා ජීවිතයේදී අප මුහුණපාන හදිසි අනතුරු අතර සර්ප දෂ්ටනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්‌ථානයකි. නොසැලකිලිමත්කම මෙන්ම නොදැනුවත්කම නිසා අනතුරු වැඩිකර ගත්තද සර්ප දෂ්ටනයෙන් සෑම රෝගියෙකුම මරණයට පත්නොවේ.

පුද්ගලයකුට සර්පයකු දෂ්ට කළ විට එම රෝගියාට ප්‍රතිකාර ලබාදීමේදී දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීම විශේෂ කරුණකි. මේ නිසා අප ජීවත්වන පරිසරයේ වෙසෙන සර්පයින් පිළිබඳව නිසි අවබෝධයක්‌ ලබා තිබීම ඉතා වැදගත් වේ. එම අවබෝධය "විසඝෝර සර්පයා, දැක නෑර මෝඩයා" යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට නොව පරිසරයේ චමත්කාරජනක සර්ප ගහණය ආරක්‍ෂා කරගැනීමට සහ සර්පයින්ගෙන් ආරක්‍ෂා වී සර්ප විෂ මිනිස්‌ ජීවිත බිලි ගැනීම අවමකර ගැනීම සඳහාය.

ශ්‍රී ලංකාවේ වෙසෙන මාරාන්තික විෂ සහිත ගොඩබිම් සර්පයින්:

නයා
සිංහල - නයා/නාගයා
දමිල - නාගපාම්බු
ඉංග්‍රීසි Cobra
විද්‍යාත්මක - Naja naja

ශ්‍රී ලංකාවේ සර්පයින් අතරින් වඩාත් ප්‍රසිද්ධ මෙන්ම උග්‍ර විෂ සහිත සර්පයින්ගෙන් විශාලතම සත්ත්වයා ලෙස නාගයා හඳුනාගත හැකිය. නයකු සාමාන්‍යයෙන් අඩි 6 ක්‌ හෝ 8 ක්‌ පමණ දිගින් යුක්‌තය. එහෙත් වාර්තාවී ඇති වැඩිම විශාලත්වය වන්නේ අඩි 7 , අඟල් 4 කි. මොවුන්ගේ විශේෂ ලක්‍ෂණය වන්නේ පෙන ගොබයයි. නයකුගේ ශරීරය තද කළුපැහැයට හුරු දුඹුරු, ලා දුඹුරු හා රතු පැහැයට හුරු අළු පාට මිශ්‍ර දුඹුරු පැහැයෙන් සමන්විතය. ශරීරයේ තැනින් තැන කහ වර්ණයෙන් හෝ සුදු වර්ණයෙන් හරස්‌ ඉරි දක්‌නට ලැබේ. සමහර නාගයින්ගේ මෙම ඉරි පටි ආකාරයට පිහිටා තිබේ. උදරය ප්‍රදේශය තද කළු සහ සුදු පැහැතිය. එමෙන්ම උදරයෙහිද කළු හෝ දුඹුරු පැහැති හරස්‌ පටි 20 ක්‌ පමණ දැකගත හැකිය. නාගයකු වයස්‌ගත වෙත්ම එම පටි ක්‍රමයෙන් මැකී යයි. පෙනය කළ පසු පිටුපසින් "ප" අකුරට සමාන සළකුණක්‌ දක්‌නට ලැබෙන අතර එම සළකුණට මදක්‌ ඉහළින් සුදු පැහැති තිත් දෙකක්‌ හෝ ඉරි දෙකක්‌ දැකගත හැකිය.



නාගයා දිවා කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. ගැහැනු සතුන් අප්‍රේල්, මැයි, ජුනි යන මාසවල දිරාගිය ගස්‌ බෙනයන හෝ හුඹසක බිජු දැමීම සිදුකරයි. වරකට 12 - 45 පමණ වන මෙම බිත්තර දික්‌ වූ හැඩයෙන් යුක්‌තය. බිත්තර තුළින් බිහිවන කුඩා නයි පැටවුන් සෙන්ටිමීටර් 20 - 30 ත් අතර දිගය. බිත්තර වලින් එළියට පැමිණෙනවාත් සමගම පෙනය පුම්බා තම ශක්‌තිය පෙන්වා දෂ්ට කිරීමට උත්සාහ කරයි. අලුතින් බිහිවන පැටවාගේ විෂ වැඩුණු නයකුගේ විෂට සාමානය. ජලයේ පිහිනා යැමට සුවිශේෂී හැකියාවක්‌ ඇති නාගයාට සාමාන්‍ය ප්‍රමාණයේ ගස්‌වලට නැගීමටද හැකියාවක්‌ ඇත. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැකි නාගයා මුහුදු මට්‌ටමේ සිට මීටර් 1500 පමණ ඉහළ ප්‍රදේශ දක්‌වා පැතිරී සිටී.

නාගයා එතරම් කලබලකාරී සර්පයකු නොවේ. කිපුන විට පෙනය පුම්බා ශරීරයේ ඉදිරි කොටස පොළොවෙන් ඉහළට ඔසවා තද පිඹීමක්‌ ඇති කරයි. නාගයා පොළොවෙන් ඉහළට එසවෙන ප්‍රමාණය අනුව පහරදෙන්නා වූ පරාසය තීරණය වේ. එනම් නාගයා අඩි 2 ක්‌ පොළොවෙන් ඉහළට එසවෙන්නේ නම් එම ස්‌ථානයේ සිට අඩි 2 ක වටප්‍රමාණයක්‌ දක්‌වා දෂ්ටකිරීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන නාගයකු දෂ්ටකළ විට එම ස්‌ථානයේ අධික වේදනාව, පටක කුණුවීම සහ ප්‍රධාන වශයෙන් රෝගියාගේ ස්‌නායු අඩපණවීම සිදුවේ.

තෙල් කරවලා
සිංහල - තෙල් කරවලා / මගමරුවා
දමිල යෙට්‌ටාඩි මිරියන්
ඉංග්‍රීසි -Common Krait /Inian Krait
විද්‍යාත්මක - Bungarus Caeruleus

තෙල් කරවලකු සාමාන්‍යයෙන් අඩි 3-4 දක්‌වා දිගින් යුක්‌තය. කරවලාගේ පෘෂ්ඨිය ප්‍රදේශය දිලිසෙන සුළුකළු හෝ නිල් පැහැයක්‌ ගනී. මේ නිසාම මෙම සර්පයාට හිමිව ඇති විද්‍යාත්මක නාමයක්‌ වන Caeරමකැමි යන නම හිමිවී ඇති බව සඳහන් වේ. Caeරමකැමි යනු ලතින් භාෂාවෙන් තද නිල් පැහැයට කියනු ලබන නමයි. තෙල් කරවලාගේ ශරීරය පුරාවට හරස්‌ අතට දිවෙන සුදු පැහැති ඉරි යුගල 40-45 අතර ප්‍රමාණයක්‌ දැකගත හැකිය. තරුණ සර්පයින්ගේ මෙම විහිදුණු සුදු පැහැති ඉරි දක්‌නට ලැබුණද වයස්‌ගත සර්පයන්ගේ ක්‍රමයෙන් මේවා නොපෙනී යයි. හිස කළුපැහැයෙන් යුක්‌ත වන අතර උදර ප්‍රදේශය හා තොල් සුදු පැහැයෙන් දිස්‌වෙයි.

තෙල් කරවලා රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී සර්පයකු වුවද දිවා කාලයේදී දිරාගිය කොළරොඩු, පොල්ලෙලි, ගල් ගොඩවල්, වියළි තණකොළ, ලී ගොඩවල් තුළ මෙන්ම බුරුල් වැලි පසෙහිද සැඟවී සිටියි. ඇතැම්විට දියකඩිති. ආශ්‍රිතවද දක්‌නට ලැබේ. ගැහැනු සත්ත්වයා වරකට බිත්තර 5-10 අතර ප්‍රමාණයක්‌ දමා තම වර්ගයා ව්‍යාප්ත කරයි. ශ්‍රී ලංකාවේ වෙසෙන විෂ අධිකව සර්පයා ලෙස සැලකෙන්නේද මෙම තෙල් කරවලා හෙවත් මගමරුවාය. පහතරට වියළි කලාපයේ ප්‍රදේශ රැසකදීත් අතරමැදි කලාපයේ ප්‍රදේශ කීපයකින්ද තෙල් කරවලා බහුලව හමුවී ඇත.

මුදු කරවලා
සිංහල - මුදුකරවලා/ හත්කරවලා/දුනු කරවලා
දමිල - යෙන්නායි මිරියන්
ඉංග්‍රීසි - Ceylon Krait
විද්‍යාත්මක - Bungarus Ceylonicus

මුදු කරවලා දිගින් අඩි 3 ක්‌ පමණ වර්ධනය වන අතර ශ්‍රී ලංකාවට ආවේණික වූ සර්පයෙකි. ශරීරය තද කළුදම් පැහැයෙන් යුක්‌තය. ශරීරය පුරාවට හරස්‌ අතට දිවෙන සුදු පැහැති ඉරි දක්‌නට ලැබේ. මෙම ඉරි සාමාන්‍ය මුදු කරවලයකුගේ 15-25 අතර ප්‍රමාණයක්‌ දැකගත හැකි වන අතර සර්පයා වයස්‌ගත වෙත්ම එම ඉරි කැඩීගොස්‌ ලප බවට පත්වේ. එමෙන්ම වයස්‌ගත සර්පයින්ගේ උදරය කළු හා සුදු වර්ණයෙන් සමන්විතය.

රාත්‍රි කාලයේ ඉතා ක්‍රියාශීලීව හැසිරෙන මුදු කරවලා දිවා කාලයේදී දිරාගිය කඳන් යට, අඳුරු ස්‌ථාන, දිරාගිය කොළරොඩු හා ගල්ගොඩවල් වැනි ස්‌ථානවල සැඟවී සිටියි. ඉතා අලස ලෙස හැසිරෙන මුදු කරවලා බොහෝ විට වනාන්තර ආශ්‍රිතව ජීවත්වීමට රුචිකත්වයක්‌ පෙන්වයි. අතරමැදි වනාන්තරවල හා පහතරට වනාන්තර වලදීද මුදු කරවලුන් බහුලව දැකගත හැකිය.

වැලිපොළඟා
සිංහල - වැලි පොළඟා
දමිල - සුරති පාම්බු
ඉංග්‍රීසි - Sawscale viper
විද්‍යාත්මක - Echis Carinatus

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්න ප්‍රදේශවල සිට නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ සහ ඉන් මදක්‌ දකුණට යාල දක්‌වා සීමා වී ඇති වැලි පොළඟා දිගින් අඩි 1-2 පමණ වේ. ශුෂ්ක කලාපයේ වැලි කඳු ආශ්‍රිතවද ඉතා බහුල ලෙස වෙසෙන බව වාර්තාවේ. දිවා කාලයේදී කොළරොඩු, පඳුරු අතර මෙන්ම බුරුල් වැලි පසෙහිද වාසය කරන මෙම සර්පයා රාත්‍රි කාලයේ ක්‍රියාශීලීව හැසිරෙයි. ජීවත්වන පරිසරයේ බාහිර පෙනුමට සමානකම් ඇති නිසා එක්‌වරම හඳුනාගැනීම අපහසුය.

වැලි පොළඟාගේ හිස මැද කුරුලු පාදයක හැඩ ඇති සලකුණක්‌ දක්‌නට ලැබෙන අතර හිස ත්‍රිකෝණාකාර හැඩයක්‌ උසුලයි. පෘෂ්ඨියට පිට ප්‍රදේශය අඳුරු පැහැයක්‌ ගන්නා අතර එය පිදුරු පැහැයේ සිට මඩ පැහැය අතර පැහැයක්‌ ගනී. පිට ප්‍රදේශයෙහි තද පැහැති පුල්ලි දක්‌නට ලැබේ. පිට දෙපස කහ හෝ ලා දුඹුරු වර්ණයෙන් සමන්විතය. උදරය අඳුරු කහ හෝ දුඹුරු පැහැයක්‌ ගන්නා අතර දුඹුරු වර්ණ පුල්ලි මිශ්‍රව පවතී. එමෙන්ම උදරය දෙපසින් සුදු පැහැති රේඛා දෙකක්‌ දික්‌ අතට දිවෙයි. සම්පුර්ණ ශරීරයේ කොරපොතු ඉහළට එසවී තිබීම නිසා මතුපිට රැළි වැටුණු ස්‌වභාවයක්‌ උසුලයි. මේ නිසාම කියතක දත් යන අරුත දෙන ඉංග්‍රිසි නම ලැබී ඇත.

ලෝකයේ සිටින පොළඟුන් අතරින් අධිකව විෂ ඇති දරුණුම පොළඟා ලෙස වැලි පොළඟා හැඳින්වුවද ශ්‍රී ලංකාවේ වැලි පොළඟා තුළ ඇති විෂ එතරම් ප්‍රබල නොවේ. මෙයට හේතු වශයෙන් විද්වතුන් දකින්නේ, මෙරට වැලි පොළඟුන්ට ඔවුන් ජීවත්වන පරිසරවල ආහාර බහුල වශයෙන් තිබීමත් හා ශ්‍රී ලංකාවේ වැලි පොළඟා ප්‍රමාණයෙන් කුඩා වීමත් නිසා දෂ්ට කරන අවස්‌ථාවේදී හරියාකාරව විෂ ශරීරගත නොවීම යන කරුණුය. ශ්‍රී ලංකාව තුළදී මෙතෙක්‌ වැලි පොළඟෙකුගේ දෂ්ට කිරීමකින් මරණයට පත්වූවකු පිළිබඳව වාර්තා වී නොමැත.

සපාකන විටදී ඉතා ඉක්‌මනින් ඉදිරියට පැන යළි පස්‌සට පැනීම මෙම සර්පයාගේ සිරිතකි. කෙතරම් වේගයෙන් පහර දෙන්නේද යෑයි කිවහොත් දෂ්ටනයට ලක්‌වූ පුද්ගලයා ඇතැම් විට ඔහුව සපා කෑ බව පවා නොදනී. දෂ්ටනයට ලක්‌වූවකුගේ රෝග ලක්‍ෂණ ලෙස සපා කෑ ස්‌ථානය ඉදිමීම, දියර ගැලීම හා දිය පට්‌ටා ඇතිවීම මෙන්ම ශරීරගත අධික විෂ හේතුවෙන් රුධිරය කැටි ගැසීම වැනි තත්ත්වයන්ද ඇති විය හැකිය. ගැහැණු සතුන් වරකට පැටවුන් 3-15 අතර ප්‍රමාණයක්‌ බිහි කරයි.

තිත් පොළඟා
සිංහල - තිත් පොළඟා
ඉංග්‍රීසි - Russells Viper
විද්‍යාත්මක - Daboia russelli

තිත් පොළඟෙකු සාමාන්‍යයෙන් අඩි 4 ක්‌ හෝ 4 1/2 ක ප්‍රමාණයක දිගින් වර්ධනය වේ. මහත ශරීරයෙහි වලිගය ඉතා කෙටිය. ශරීරයෙහි පිට පෙදෙස රතු වර්ණය මිශ්‍ර දුඹුරු පැහැයක්‌ ගනී. රවුම් හෝ ඕවලාකාර හැඩයෙන් පුල්ලි පේළි 3 ක්‌ දක්‌නට ලැබේ. එක්‌ පුල්ලි පේළියක්‌ සත්ත්වයාගේ පෘෂ්ඨියට මධ්‍ය ප්‍රදේශයේ දිග් අතට දිවෙන අතර අනෙක්‌ පේළි දෙක දෙපසින් පිහිටා තිබේ. පුල්ලි මැද ලා පැහැයක්‌ ගන්නා අතර වටේ කළු පැහැයක්‌ ගනී. එක්‌ පේළියක 23 - 30 අතර පුල්ලි ප්‍රමාණයක්‌ පිහිටා ඇත. උදරය කොටස ලා පැහැ මිශ්‍ර සුදු පැහැයක්‌ උසුලයි. එහි කළු පැහැති කුඩා ලප දැකිය හැකිය. හොඳින් වෙන්වුණු ගෙලක්‌ ඇත. හිස මැදට වන්නට ත්‍රිකෝණාකාර වූ තද දුඹුරු පැහැති ලපයක්‌ දක්‌නට ලැබේ. හිස දෙපසින් එම ලපය මැදිවන ලෙස සුදු පැහැයට හුරු ඪ හැඩයෙන් යාවුණු රේඛා දෙකකි. සර්පයාගේ නාසය ප්‍රදේශයේදී එම රේඛා දෙක එකතුවන පරිදි පිහිටා තිබේ. තිත් පොළඟාට විශාල වූ නාස්‌ කුහරද පිහිටා ඇත. ගැහැනු සතුන් වරකට පැටවුන් 25 - 40 ප්‍රමාණයක්‌ බිහි කරයි.

තිත් පොළඟා ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රදේශයක පැතිරී සිටී. මුහුදු මට්‌ටමේ සිට මීටර් 1800 පමණ උස ප්‍රදේශ දක්‌වා පැතිරී සිටින තිත් පොළඟා රාත්‍රි කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. දිවා කායේදී දිරාගිය මුල්, කොළ සහ ගල් ගොඩවල් යටට වී වාසය කරයි. මෙම සර්පයා විවේකීව සිටින විට දඟර ගැසී සිටින අතර දඟරය මැද හිස තබාගනී. කලබලයට පත්වූ විට හිස ඔසවා බලා දිවද එලියට දමා අධික ශබ්දයකින් නොනවත්වාම පිඹීමක්‌ ඇති කරයි.

ශ්‍රී ලංකාව තුළ සර්ප දෂ්ටනයෙන් සිදුවන ජීවිත හානි වලින් වැඩි ගණනක්‌ වාර්තා වන්නේ මෙම තිත් පොළඟා දෂ්ට කිරීමෙනි. දෂ්ටකිරීම ඉතා වේගයෙන් සිදුකරන මෙම සර්පයා පළමු දෂ්ටනයේදී 75% ක පමණ විෂ ප්‍රමාණයක්‌ මුදාහරී මෙම විෂ ශරීරගත වීම හේතුවෙන් රුධිර සෛල විනාශ වී රුධිරය කැටිගැසීම වළකී. පසුව එම විෂ ස්‌නායු පද්ධතියටද බලපෑම් ඇති කරයි. මෙය මෙරට පොළොන් විශේෂයන් දෂ්ට කිරීමේදී දැකගත හැකි ලක්‍ෂණයති. මේ නිසා රෝගියාට වපරය, දිව එළියට දැමීමේ නොහැකියාව, ඇසිපිය කඩා වැටීම හා ආහාර ගිලීමේ අපහසුතාව මෙන්ම කට ඇරීමේ නොහැකියාව වැනි රෝග ලක්‍ෂණ ඇතිවේ.

මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා සර්පයින් ජීවත්වන ප්‍රදේශ අනිසි ලෙස ආක්‍රමණය කිරීම නිසා ඔවුන්ට තම වාසස්‌ථාන අහිමි වෙමින් පවතී. එපමණක්‌ද නොව දුටු තැන සර්පයින් මරාදැමීම නිසා සර්ප වර්ගයන් වඳවීයැමේ තර්ජනයකටද ලක්‌වී තිබේ. සර්පයින්ට විෂ පිහිටා ඇත්තේ දෂ්ටකර මිනිසුන් මරාදැමීමට යෑයි පටු පරමාර්ථයෙන් සිතීම සාධාරණ නොවන්නකි. සර්පයින් සතු විෂ යනු ජීවත්වන පරිසරයේ බාහිර බලපෑම් වලින් ඔවුන්ට ආරක්‍ෂා වීම සඳහා අඩු වැඩි වශයෙන් සොබාදහමින් දායාද කරන ලද්දකි. එහෙත් සියොළඟෙහිම විෂ ඇති මිනිස්‌ වර්ගයා හමුවේ මේ සතුන් ජීවත්වීමේ වරම නොලබා විනාශ වන්නේද ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහාම ලැබූ විෂ නිසාවෙන්ම වීම කනගාටුදායකය.

ඡායාරූප (අන්තර්ජාලයෙනි)
චමින්ද ප්‍රසාද්




- දිවයිනෙන් (02/10/2012)
6
බුද්ධිය හා ශක්‌තිය අතර වන මැද බිහිසුණු සටන

1983/12/11 දිවයින ඉරිදා සංග්‍රහයේ පළ කරන ලද ලිපිය

"පනාමුරේ ඇත් රාජා" යන ගීතය නොඇසු දෙසවනක්‌ දිවයිනෙ නැතුවා යෑයි සිතමි. ඇත්ගාල යන වචනය අද භාවිතයෙන් ඈත් වී කලක්‌ ගත වී ඇත. වත්මන් පරපුරට දකින්නට ඉඩක්‌ නොතබා අන්තර්ධාන වී ඇති ඇත්ගාල් පිළිබඳ කතාන්දරය අපූරුය. විනෝදාත්මකය. ත්‍රාසජනකය. ශෝචනීයය. දෙනුවන් කඳුළින් තෙත් කරවන සුලුය.

පනාමුරේ ඇත් රාජා යන ගීතය නිර්මාණය කිරීමට හේතු වූ සිද්ධිය ලංකාවේ ඇත්ගාල් තහනමටද හේතු විය. ඒ අපූරු කතාව හා ඇත්ගාලේ තොරතුරු ද හොඳින් දන්නා පුද්ගලයකු මට මුණ ගැසිණි. ඔහු අම්පාරේ වෛද්‍යාචාර්ය වීරවර්ධන බමුණුසිංහ මහතාය. ඇතුන් ගාල් කිරීමේ අවස්‌ථාවේ සිට දින පහක්‌ ඇත්ගාලේ ගතකොට ඇත්දැකීම් ලැබූ හෙතෙම ඇත්ගාල පිළිබඳ සියලු පුවත් අප හමුවේ තැබීය. මේ ලිපි කීපය ලියෑවෙන්නේ බමුණුසිංහ වෙදරාළහාමි අපට කරන ලද විස්‌තර කිරීම් ඇසුරෙනි.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පනාමුරේ ගම්මානය සබරගමුවේ බලවත් රදළ පෙළපතක්‌ වූ "මොලමුරේ" පෙළපතේ නින්දගමක්‌ විය. අලි ඇතුන් පිළිබඳව දිවයිනේ පමණක්‌ නොව විදේශයන්හිද ප්‍රසිද්ධ වූ පනාමුරේ වනාන්තරය ඒ ගමට යාබදව විය. මේ මහා වනාන්තරයේ සෑහෙන කොටසක්‌ද මොලමුරේලා ගේ නින්දගමට අයත් විය.

ශ්‍රී ලංකාවේ පළමුවන පාර්ලිමේන්තුවේ කතානායක ධුරය හෙබ වූ සර් ප්‍රැන්සිස්‌ මොලමුරේ මහතා පනාමුරේ නින්දගමේ බලකාරයා බවට පත්විය. ඔහුගේ මාපිය මුතුන් මිත්තන්ගේ කාලයේ සිටම පනාමුරේ සුප්‍රසිද්ධ ඇත්ගාලක්‌ විය. ඇත්ගාල යනු හීලෑ ඇතුන් කොටුකරන කොටුවක්‌ නොව වනාන්තරයේ නිදැල්ලේ හැසිරෙන අලිරංචු කොටුකර අල්ලා ගැනීමට යොදන උපක්‍රමයක්‌ වශයෙන් හැඳින්වීම වඩා හොඳ යෑයි සිතමි. මහ වනයේ බලවතුන් වූ ප්‍රචණ්‌ඩ වල් අලින් කොටුකර හීලෑ කිරීම සඳහා ගන්නා උත්සාහය පුදුම සහගතය. ත්‍රාසය හා භීතිය දනවන මේ අවස්‌ථාව වරෙක රසවත්ය. වරෙක විසිතුරුය. එහෙත් ඒ රසවත් හා විසිතුරු බව නිමවා දෙනුවන් කඳුළින් තෙත් කරවන අනුවේදනීය කතාවක්‌ බවට ඇත්ගාලේ කතාව පත්වන සැටි අපට අසන්නට ලැබිණි.

මහත්තයො මට දිනය නම් හරියට මතක නෑ. එතකොට මගේ හොඳම හිතවතා හිටියේ මගේ ගෙදරට දම්වැල් දහයක්‌ විතර දුරින් පිහිටි දෙහෙරගොඩ වලව්වෙයි. එයා ඔය මහනුවර හා සබරගමුවෙ රදල උදවියට සම්බන්ධකම් තිබුණු ධනවත් තනිකඩයෙක්‌. එයා ගෙ නම රෙජී දෙහෙරගොඩ.

පනාමුරේට අලි ගාල් වුණු දවසෙ දෙහෙරගොඩ මහත්තයට විදුලි පුවතක්‌ ලැබුණා. ඒක එවල තිබුණේ එවකට පාර්ලිමේන්තුවේ කතානායක හැටියට හිටපු සර් ප්‍රැන්සිස්‌ මොලමුරේ මහත්තයයි. ඒක එවල තිබුණේ අලිගාල් වුණු බව දන්වලා පනා මුරේට එන්න කියලයි. දෙහෙරගොඩ මහත්තය මට පණිවුඩයක්‌ එව්වා වලව්වට එන්න කියලා. මං වලව්වට ගියා. ඒ වෙන කොටත් එයාගේ තවත් යාළුවො දෙන්නෙක්‌ හිටිය. අපි හතරදෙනා පාන්දර තුනට විතර කාර් එකකින් පිටත් වුණා. වටින් ගොඩින් එළි වී ගෙන එන යැමේ අපි පනාමුරේ ඇත්ගාලට සැතපුමක්‌ විතර මෙහායින් තියෙන පොල්වත්තක්‌ මැද තිබුණු පරණ ගොඩනැගිල්ලක්‌ ළඟට ගියා. කතානායකතුමා එහේ හිටියා. අලි 14 දෙනෙක්‌ පොල්වත්තේ ගස්‌ බැඳලා හිටියා. ඒ වෙලාව වෙනකොටත් නොයෙක්‌ තරා තිරමේ අය දහස්‌ ගණනක්‌ ඒ ඉසව්වේ ගැවසුණා. බමුණුසිංහ වෙද රාළහාමි ඇත්ගාල පිළිබඳ පුවත අප හමුවේ තබමින් විස්‌තර කිරීම ඇරැඹීය.

අලිගාල් වීමෙන් පසු ඔවුන් හේබාවා හීලෑ කිරීම සඳහා කෙරෙන කටයුතු ප්‍රදර්ශනයක ස්‌වරූපය ගනී. ඇතුන් ගාල් වූ පසු ඔවුන් හිලෑ කෙරෙන තෙක්‌ කෙරෙන කටයුතු බලමින් ත්‍රාසජනක අත්දැකීම් ලැබීමට දිවයිනේ නන් දෙසින් ජනයා ඇදී එති. ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පනාමුරේ වනය මැද තාවකාලික නගරයක්‌ ඉදිවේ. රථ වාහන, ශීතකරණ වැනි උපකරණ හැරුණු විට වෙනත් ඕනෑ. කරන පාරිභෝගික භාණ්‌ඩයක්‌ ලබාගත හැකි වෙළෙඳ සල්ද එහි ඉදි වෙයි. රට බීම, ටිං මාළු, පලතුරු හා වෙනත් ආහාර ද්‍රව්‍ය මෙම වෙළෙඳ සල්වලින් ලබාගත හැකි වෙයි. පැමිණෙන අයට තාවකාලික නිවාස හෝ කුඩාරම් හෝ තනා ගැනීමට අවසර ලැබෙයි. බිම් බද්ද ගෙවා ලබාගත් භූමියේ වෙළෙඳ සල, අවන්හල්, කුඩාරම් හා නිවාස ඉදි වී යන්නේ දවසෙන් දෙකෙනි. හිතන්ටවත් බැරි තරම් කඩිනමකින් පනාමුරේ වනය මැද ගොඩනැගී ජනාකීර්ණ වන මේ තාවකාලික ජනාවාස හැඳින්වූයේ ගාල් නගරය යන නමින්ය.

ඇතුන් ගාල් කිරීමත්, එතැන් සිට කරන යුද්ධයත් බලන්නට වටිනා දර්ශනයකි. මේ නිසා ඇතුන් ගාල් කිරීම රටේ නොයෙක්‌ පළාත්වල වෙසෙන ධනවත් අයට විනෝදය ගෙනදෙන සැණකෙළියක්‌ බවට පත්වේ. ඇතුන් ගාල් වූ බව දැන්වූ පසු ඔවුහු දරුමල්ලන් කැටුව පනාමුරේට ගොස්‌ කුඩාරම් අටවා ගෙන පදිංචි වෙති. උයා ගෙන කමින් බොමින් විනෝදය උදෙසා කල්ගෙවන මේ අය ආපසු යන්නේ සතියකින් හෝ දෙකකින් පමණ පසුවය. ධනවතුන් බුරුතු පිටින් පනාමුරේට රොක්‌වන බැවින් තාවකාලික වෙළෙඳ සැල් වලට හොඳ වෙළෙමක්‌ද ඇත්ගාල ප්‍රදර්ශනයෙන් ලොකු ආදායමක්‌ද, ලැබේ. මේ නිසා ඇත්ගාල ඇතුන්ගෙන් පමණක්‌ නොව නරඹන්නන්ගෙන්ද මොලමුරේ මහතාට ආදායම් ලබා දෙන මාර්ගයක්‌ විය.

"ඇතුන් ගාල් වූ වග සේවකයන් දැන්වු පසු මොලමුරේ මහත්මයා නෑ හිතවතුන්ට විදුලි පුවත්වලින් ඒ වග දන්වා තිබුණා. සමහරුන් ඇතුන් ගාල් වෙන්නටත් ඉස්‌සෙල්ල ඇවිල්ල කුඩාරම් ගහගෙන ඉන්න විත්තිය අපට කතාබහෙන් දැන ගන්න ලැබුණා. වෙද රාළහාමි තවත් තොරතුරු ගෙනහැර පෑවේය.

ඇත් ගොව්වෝ ගස්‌ බැඳ සිටි අලි 14 දෙනා ලිහා ගෙන උන් දක්‌කාගෙන පෙරමුණ ගත්හ. මේ අවස්‌ථාවට අලි 14 දෙනකුගෙන් යුත් පෙරහැරක්‌ පොල් වත්තෙන් පිටත්වූවා වැන්න. එය පෙරහැරකට වඩා වෙනස්‌ වූයේ ඇතුන් පිටුපසින් ගමන් කළ දහසකට වැඩි පිරිස පිළිවෙළකට පෙළට ගමන්නොකොට රංචු වශයෙන් ගමන් කළ බැවිනි.

පොල්වත්තෙන් පිටත් වු පිරිස අලි ඇතුන් කැටුව ගාල් නගරය පියමං කොට මහ වනයට පිවිසියෝය. තාවකාලිකව ඉදි වූ ගාල් නගරය වූයේ එළිමහනකය. ඉන් ඔබ්බෙන් වූයේ රූස්‌ස ගසින් හෙබි මහා වනාන්තරයයි. මිනිස්‌ වාසයෙන් තොර වූ මේ වනගහනය වන සතුන් ගේ ඒකාධිකාරී උරුමයට නතු වු භූමියක්‌ විය. ඉඳහිට වනයේ ගැවසෙන දඩයක්‌කාරයින්ද අලි අල්ලන්නවුන්ද හැරෙන විට මෙහි වෙනත් අයගේ පිය සටහන් රැඳෙන්නේ අලි ගාල් වූ අවධියේදී පමණි.

වනය නිශ්චලය. කොල අතු පීරා හමා යන සුළං රැල්ලෙන් නැගෙන ඝෝෂාව වනයේ පවතින පාළුවේම එක්‌ අංගයක්‌ වේ. තොරතෝංචියක්‌ නැතිව නැගෙන රැහැයි නාදයත්, කුරුළු කොබෙයියන්ගේ කුචු කුචුවත්, වඳුරන්ගේ බුකු බුකුවත්, කැටිකරගත් වනයේ නාදය ඒ මේ අතර ගලා යන්නේ ඉඳහිට කොටියකුගේ නැත්නම් වන සතකුගේ නාදයද ඒ අතරින් මතු කරමින්ය.

වන සතුන්ට හිලෑ අලි පැමිණෙන විට ඉව දැනේ. හීළෑ අලියා වනවාසීන්ට අමුත්තෙකි. එබැවින් වන රාජ්‍යයේ ලොකු කුඩා කවර සතෙක්‌ වුවද හීලෑ අලි වනයට ඒම නොරුස්‌සති. හීලෑ අලි පෙරටු කොට ගෙන දෙපා සතුන් වන රාජ්‍ය ආක්‍රමණය කළ නිසාදොa එදා වඳුරු සේනාවෝ බියපත් නාදය නැගූහ. වානර මිතුරන්ගේ අනතුරු ඇඟවීමෙන් වන සතුන් විශ්මයටත් දෙගිඩියාවටත් පත් වූ නිසා දොa වනයේ පාළුවේ දොaංකාරය තුළින් ඉඳහිට නැගුණු වන වාසීන්ගේ හඬ අන්තර්ධාන විය. බියපත් හඬ නැගූ රිලා වදුරු සේනාවෝ වන ගැබ ඇතුළට රිංගා සැඟවී නිහඬ වූහ. වනයේ ස්‌වාභාවික හඬ කප්පාදු වෙද්දී සුළඟ පමණක්‌ නිර්ලෝභීව ස්‌වකීය නාදය එසේම පවත්වා ගත්හ.

ඇත් ගොව්වන්ගේ මෙහෙයවීමෙන් වනයට කැඳවන ලද හීලෑ අලි 14 දෙනා මහ වැටක්‌ අබියස නතර වූහ. වැට කොතෙක්‌ දුරට පැතිරුණු කොතරම් විශාල භූමියක්‌ කොටු කළ එකක්‌ දැයි කිව නොහැකි වනසේ වැඩුණු වනරොද වැටේ වැඩි ප්‍රමාණයක්‌ සඟවා ගෙන තිබිණි.

වැට ඉදිකර තිබුණේ විදුලි රැහැන් අදින තරමේ කණු අඩි හතරෙන් හතරට පමණ දුරින් සිටු වීමෙනි. එක්‌ කණුවක්‌ අඩි 20 ක්‌ පමණ උසයෑයි සිතිය හැකිය. ඒ වැටේ හරස්‌ අතටද ඒ තරමේම ලී බැඳ තිබිණ. අඩි හතරක පමණ පරතරයකට බඳින ලද සිරස්‌ ලී පේළි තුනක්‌ විය. එම ලී බැඳ තිබුණේ ලොකු කොහු ලණුවලිනි. මේ ලණු අලි ගාල තැනීම සඳහාම අඹරන ලද තේඩා විශේෂයක්‌ වෙයි අලිගාල තැනීමටත් අලි බැඳීමටත් අවශ්‍ය කඹ පනාමුරේ නින්දගම් වැසියන් විසින් ඔවුන් වෙත පැවරී ඇති රාජකාරිය වශයෙන් අඹරා දිය යුතුව තිබිණි. මේ කඹ හා ලණු ඇඹරීම සඳහා ඔවුන්ට ගාස්‌තුවක්‌ ගෙවිය යුතු නොවන බවත් ඒ මෙහෙය කරනු ලබන්නේ නින්දගම් සතු ඉඩම් භුක්‌ති විඳිම සඳහා නින්දගම් හිමියන්ට ගෙවිය යුතු බද්ද වශයෙන් කෙරෙන මෙහෙයක්‌ වශයෙන් බවත් තමාට දැන ගන්නට ලැබුණු බව බමුණුසිංහ වෙද මහතා පවසයි. අලි ගාල තනන්නේ අලි වතුර බීමට පැමිණෙන තිප්පොලක්‌ දෙකක්‌ මැදි වන සේය. මේ නිසා අලි ගාලකළ වල් අලි ගමන් ගන්නා පාරක්‌ද කොටු වේ. අලි ගමන් ගන්නා පාර හැර ඉතිරි කොටසේ සෑහෙන භූමියක්‌ කොටුවන සේ වැටක්‌ ඉදිවේ. මේ වැට නිසා දිය බීමට එන අලි කොටු වේ.

අපි නැවතුණු තැන විශාල නුග ගහක්‌ තිබුණා. මේ ගහ ළඟින්ම අලි පාර වැටිලා තිබුණා. අලි පාර විතරක්‌ ඉතුරු වෙන්න හැම පැත්තටම වැට බැඳිල. වැටේ එක පැත්තක්‌ නුග ගහට කෙළවර තියලා බැඳල තිබුණා. ගාල හදල ඉවර වුණාට පස්‌සේ අලි ගාල් වෙන කල් අර නුග ගහ උඩ මැස්‌සෙ සේවකයෙක්‌ බලා ඉන්නවා. අලි කොටුව ඇතුළට ආවම අර සේවකයා ඒ වග මොලමුරේ මහත්තයට දන්වනවා.

අපි යනකොට අලි ගාල් වෙලා තිබුණා. ඒ වුණාට කැලේ හින්දා ඈත හිටපු අලි අපට හරියකට පෙනුණේ නෑ. මේ ඇත්ගාල වටේ හිටවපු එක කණුවක වත් කණු මුල් තද කරලා තිබුණේ නෑ. මේ නිසා එක තැනකින් වැට හෙලෙව්වොත් මුළු වැටම හෙලවෙනවා. වැට හෙල්ලෙන කොට වල් අලි ඒකටට බයලු. හරියට වැට තිබුණොත් උන් වැට බිඳගෙන යනවලු වැට හෙළවෙන නිසා එයට කිට්‌ටු වීමට වල් අලි බයයි. ගාලට අක්‌කර හයක්‌ අටක්‌ තරම් භූමියක්‌ කොටුකර තිබුණා. ගාල තනා තිබුණේ හරි හතරැස්‌ භූමියක්‌ කොටු වෙන ආකාරටයි. බමුණුසිංහ මහතා තව දුරටත් විස්‌තර කෙළේය.

අලි ගාලේ වැටට ඇතුල් පැත්තේ වැටට බඹයක්‌ හමාරක්‌ ඇතුළට වෙන්න බඹ පහෙන් පහට විතර දුරින් දර ගොඩවල් ගොඩ කර තිබුණි. අලිගාල තැනීමත් දර ගොඩ ගැසීමත් කල්තබාම නින්දගම් වැසියන් ලවා කරවනු ලැබේ. මෙසේ දරගොඩවල් ඇත්තේ අලි ගාල් වූ පසු රාත්‍රියට ගිනිමැල ඇවිලීමටය. මේ ගිනිමැල නිසා අලි රැළ වැටට ළං නොවේ. අලි ගින්දරට බිය නිසා ගිනිමැල දල්වා වටේ ආරක්‍ෂාව සලසා ගැනීමට අලි අල්ලන්නෝ පුරුදුව සිටියහ.




පියසේන කහඳගම
Divaina 20-05-2012
7
පනාමුරේ ඇතුට මනුසත්කමේ පුෂ්පෝපහාරයයි...

ශ්‍රී ලංකාව අලි ඇතුන්ගෙන් පොහොසත් රටකි. අලි ඇතුන්ගේ නිජබිමක්‌ වන මෙහි අලි පිළිබඳ කතාන්දර කප්පරකි. එහෙත්a අලි මිනිස්‌ ගැටුම ගැන කතා නොකර අලින් ගැන මේ කොයි කතාන්දරය කිව්වත් ඵල රහිතය. ඒ ගැන කතා කළහොත් අසහාය හස්‌ති විරුවකු වූ පනාමුරේ ඇතා ගැනද කතා නොකරම බැරිය. ඇතා යෑයි කීවද හේ අලියෙකි. එහෙත්, නිර්භීත බව අතිනුත්, තම වරිගයා වෙනුවෙනුත් දිවි හිමියෙන් ක්‍රියාකළ උත්තුංග ගුණ සහිත සත්වයෙකි.

එනිසාම "පනාමුරේ ඇතා" ගැන ඉතිහාසයේ පිටුවක්‌ වෙන්වී ඇත. ඒ මතුද නොව, හෙල ගී සාහිතේ" "පනාමුරේ ඇත් රාජා" ගැනද පරිච්ඡේදයක්‌ම සනිටුහන් වී තිබේ.

තමන්ට දිවි ගෙවීමට වෙන්ව තිබූ වන අරණට ගිනිබට හා අනෙකුත් රුදුරු ආයුධ සමග වැද භීතියෙන් මුළු වන අඩවියම කළඹා තම වරිගයේ උන් දැවැන්ත ලී පවුරකට කොටුකර මිනිස්‌ සත්වයා විසින් අල්ලා නොරටට ගෙන යැමට සැරසෙද්දී ඊට නොබියව මුහුණදී රැළේ නායකත්වය ගෙන තනිවම සටන් කර ඒ දඬු වැට කඩා සහපිරිවර මුදා ගනිද්දී මිනිසත් බවටත් නිගාදුන් මෘගයකු බඳු මිනිසකුගේ රුදුරු වෙඩි ප්‍රහාරයකට ගොදුරුව මේ දැවැන්තයා මියගියේය.

1950 වර්ෂයේ අගෝස්‌තු මස 9 වැනිදා ලක්‌ දෙරණ තලය සිපගත් ඒ හස්‌ති රාජයාගේ අනුවේදනීය කතාන්දරය කිසිදා මෙරට වන සත්ව ලෝලීන්ගේ හදවත් තුළින් අකාමකා දැමිය නොහැකිය. එදිනෙන් පසු මෙරට මෙවැනි අලි ගාල් තැනීම හා අලින් වනයෙන් අල්ලා ගැනීම නීතියෙන් තහනම් කිරීමට පනාමුරේ ඇත්රාජා මරණ මංචකයේ සිට මෙරටට ලබාදුන් සුවිශේෂ ජයග්‍රහණයකි. එවන් අභීත හස්‌තිරාජයකු වෙනුවෙන් පය ඔසවන්නට, හඬක්‌ නගන්නට මෙරට ජනයා ක්‍රියා නොකරතියි කෙසේ සිතන්නද? පනාමුරේ හස්‌aතිරාජයාගේ වියෝවෙන් වසර 62 ක්‌ ගෙවී යන මේ මොහොතේදී එවන් ගුණගරුක මිනිසුන් කිහිපදෙනකුගෙන් සැදුම්ලත් පනාමුර ඓතිහාසික හස්‌තිරාජ පදනම පනාමුර ඇත්රාජා වෙනුවෙන් පමණක්‌ නොව රටට අමිල සම්පතක්‌ බඳු මෙරටේ සියලු අලි ඇතුන් අනුස්‌මරණය වෙනුවෙන් ක්‍රියාකිරීමේ මහඟු පිංකමට දායක වී ඇති බව අප දැනගත්තේ මෙම හස්‌තිරාජ පදනමේ අධ්‍යක්‌ෂ හොරණ පොලිස්‌ අධිකාරී සමන් රත්නායක මහතා සමග කතාබහ කිරීමෙනි. සමන් රත්නායක මහතා සමග මුලින්ම මට කතා කරන්නට අවස්‌ථාවක්‌ උදාවූයේ මීට ප්‍රථම අලින් පිළිබඳව "දිවයින ඉරිදා සංග්‍රහය" මගින් ලබාදුන් ටැබ්ලොයිඩ් පුවත්පතක්‌ සංස්‌කරණය කිරීමේදී ඊට පනාමුර ඇතා ගැනද පරිච්ඡේදයක්‌ ඇතුළත් කරන්නට මා ගත් උත්සාහයේදීය. එදින මෙම හස්‌තිරාජ පදනම ගැනත්, පනාමුරේ ඇත්ගාල තිබූ භූමියේ ඉදිකෙරෙන හස්‌ති කෞතුකාගාරය ගැනත් ඔහුගෙන් අපට දැනගන්නට ලැබිණි.

ඉන් අනතුරුව අපගේ කතා බහ මඳකට සීමා වුවත්, පොලිස්‌ අධිකාරී සමන් රත්නායක මහතා අලින් පිළිබඳව ඉතාමත් මානුෂිකව හිsතන පරිසරවේදියකු බව මොනවාට පසක්‌ කරමින් නිරන්තරයෙන් මා වෙත දුරකථනයෙන් කතාකර එක ඉල්ලීමක්‌ ඉටුකර දෙන ලෙස වාර ගණනාවකදීම ඉල්ලා සිටියේය. 1983 දී පටන් ඉරිදා දිවයින සංග්‍රහයෙහි පියසේන කහඳගම සූරීන් විසින් ලියන ලද පනාමුරේ ඇතාගේ කතාව නැවත පළකර දීමට කටයුතු කරන ලෙසයි ඒ. එහෙත් කාලයත් සමග මේ ඉටු නොවුණු ඉල්ලීම නැවතත් ඉෂ්ඨ කරගන්නට ඔහු පසුගිය දිනෙක අපගේ කාර්යාලයටම පැමිණ ඒ අවශ්‍යතාව අපගේ ප්‍රධාන කතුතුමා හා පරිපාලන කතුතුමාටද ඉදිරිපත් කළේය. අද මෙම පිටුවේ පහත එම පැරැණි ලිපිය පළවන්නේද එනිසාමය. එසේම හස්‌තියාගේ 62 වැනි සිහිකිරීම සිදුවන අගෝස්‌තු මස 09 වැනිදා පනාමුර ඇත්ගාල ස්‌ථාපනය කර එහි යෝජිත හස්‌ති කෞතුකාගාරය විවෘත කිරීමද, කලා ශිල්පී නවරත්න ගමගේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම ඇත්ගාල භූමියේදී සජීවී නාද කාව්‍යයක්‌ හා ඒ හා සම්බන්ධ සංගීත සංයුක්‌ත තැටියක්‌ එළිදැක්‌වීමටත්, සංස්‌කෘතික කලා මංගල්‍යක්‌ පැවැත්වීමටත් කටයුතු යොදා තිබීමත් මීට තවත් හේතුවකි.

"මම දවසක්‌ මේ පනාමුර ඇත්ගාල භූමිය තිබූ තැන බලන්න ගියා. ඒත් එය එදා බොහෝම දුක්‌ඛදායක තත්ත්වයක තිබුණේ. පැරැණි දිය බුබුලත්, එදා පැරැණි ඇත්ගාලෙ කණුවකුත් විතරයි දකින්නට තිබුණේ. ඒවත් කැලෑවෙන් වැහිලා. අතීතයේ අක්‌කර හතරක භූමි ප්‍රමාණයක තිබූ මේ ඇත්ගාල අද කුඩා බිම් කොටසකට සීමා වී තිබෙන්නේ. මේ තත්ත්වය දැකලයි මම තීරණය කළේ මේ ඓතිහාසික ස්‌ථානය අනාගත පරපුර වෙනුවෙන් රැකතබන්න වැඩපිළිවෙළක්‌ යොදන්න ඕන කියල. ඊට පස්‌සෙ ප්‍රදේශයේ ප්‍රභූන්, නිලධාරීන්, ප්‍රදේශවාසීන්, ගවේශකයන් මේ සඳහා සම්බන්ධ කරගෙන තමයි අපි පනාමුර හස්‌තිරාජ පදනම ආරම්භ කළේ." සමන් රත්නායක මහතා පවසයි. ඉන්පසු ඇත්ගාල සංරක්‍ෂණය සඳහා කටයුතු සැලසුම් කෙරුණු අතර, පනාමුර ඇත්රාජාගේ සත්‍ය ඡායාරූප හා සත්‍ය හිස්‌කබලද යොදා ගනිමින් කෞතුකාගාරයක්‌ මෙහි ඉදිකරන්නට තීරණය විය. මෙම කෞතුකාගාරය දැනටමත් වැඩ නිමවෙන තත්ත්වයේ පවතින අතර, වැඩ නිමවීමෙන් පසු මෙය අලි ඇතුන් පිළිබඳව අධ්‍යයනය කරන්නට අවශ්‍ය පහසුකම් සලසන මධ්‍යස්‌ථානයක්‌ බවටත්, විවිධ අනතුරුවලට භාජනය වන මෙරට අලි ඇතුන් වෙනුවෙන් සේවා සපයන ස්‌ථානයක්‌ බවට පත්කිරීමටත් යොදාගන්නා බව පදනමේ විධායක අධ්‍යක්‍ෂ සමන් රත්නායක මහතා පවසයි. මෙය මෙරට අලි ඇතුන් පිළිබඳ සියලු විස්‌තර ඇතුළත් එකම කෞතුකාගාරය වනු ඇති බවටද ඔහු අප සමග පැවසීය.

මෙම භූමියේ පනාමුර හස්‌තියාගේ ජීවමාන ප්‍රමාණයේ රුවක්‌ තැනීමටත් දිය බුබුල සංරක්‍ෂණයට අමතරව පැරැණි ඇත්ගාලේ ආකෘතියට තැනෙන වැටේ කොටසක්‌ද මෙහි ඉදිකෙරෙන බවත් රත්නායක මහතා පැවසීය.

විවිධ දානපතීන් විසින් මේ දක්‌වා මෙහි සියලු කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කළ බවත්, තවදුරටත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා ගායන ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් ඉකුත් දා මහරගම යොවුන් රඟහලේදී පදනමට ආධාර පතා ගායන ප්‍රසංගයක්‌ පැවැති බවද රත්නායක මහතා පවසයි.

සැබැවින්ම මෙවන් සද්ක්‍රියාවකට මුල පුරා පොලිස්‌ අධිකාරී සමන් රත්නායක මහතා සමාජයට මහත් ආදර්ශයක්‌ද, සත්ව අවිහිංසාව පිළිබඳ වැදගත් පාඩමක්‌ද කියා දී ඇති බව පෙනේ. එසේම ඔහු පෞද්ගලිකවම මේ මගින් මහා කුසලකර්මයක්‌ කරගෙන ඇති බවද මට හැඟේ. ඔහුගේ නොපසුබට උත්සාහය මත පනාමුර හස්‌තිරාජ පදනම බිහිවී එහි අනෙකුත් නිලධාරීන්ගේ හා ගම්වාසීන්ගේ සහායෙන් ඔවුන් බොහෝ දුරගොස්‌ ඇති බව එහි වත්මන් ප්‍රගතිය විමර්ශනයේදී අපට පැහැදිලි වේ. තවත් නොබෝ දිනකින් ඔවුන්ගේ ඒ උතුම් ප්‍රාර්ථනාවේ මල් පූදිනු පෙනේ. වැපිරූ ඵලයෙහි රන් අස්‌වනු පීදෙනු දැනේ. දැයක්‌ අවදි කළ නිර්භීත පනාමුර හස්‌තිරාජයාගේ ගුණකඳට මිනිසත් බවේ පුෂ්පෝපහාර පූජාව යෙදෙන දවස, අගෝස්‌තු 09 වැනිදාය. ඒ පනාමුර හස්‌තියා මියගොස්‌ වසර 62 ක්‌ ගෙවෙන දිනයයි. අපිදු ඒ උතුම් පූජාවේ කොටස්‌කාරයන් වන්නට අතැඟිලි ගනිමින් බලා හිඳින්නෙමු.




ජගත් කණහැරආරච්චි
Divaina 20-05-2012
8
ඒදිනය 1985 මැයි 14 වැනිදාය.
මාසය වෙසක්‌ මාසයයි. මේ දිනය ගැන යළි මතක්‌ කරන්නේ ඇයි දැයි ඇතැම් ඊනියා සාමවාදීහු ප්‍රශ්න කරනු ඇත. යටගිය තුවාල යළි පාරවන්නේ කුමට දැයි ඩයස්‌පෝරාවට පක්‍ෂපාතී අය ප්‍රශ්න කරනු ඇත. යුද්ධය අවසාන නම් ඒ දිනය ගැන යළි කතා කිරීමේ කවර පලයක්‌ දැයි සාම වාදීහු ප්‍රශ්න කරනු ඇත.

නමුත් ජාතියේ හදවත බඳු තැනට වෙඩි තබා ඒ බිම අමු රුධිරයෙන් නැහැවූ ඒ දිනය ගැන විසිහත් අවුරුද්දකට පසුත් අප කතා කළ යුතුව ඇත. සිහිපත් කළ යුතුව ඇත.

මෙයින් 27 වසරකට පෙරදී අනුරාධපුර ශුද්ධ භූමියට කඩා වැදුණු ත්‍රස්‌තවාදීහු අනුරාධපුර බස්‌ නැවතුමේ සිටි මිනිසුන්ටත් ශ්‍රීමහා බෝධින් වහන්සේ වැඳුම් පිදුම් කිරීමට පැමිණි පිරිසකටත් වෙඩි තබා මරා දමනු ලැබූහ.

ඒ දෙමළ කොටි ත්‍රස්‌තවාදීන් විසින් මාසිකව දෛනිකව සිංහල මිනිසුන් මරා දමනු ලැබූ කාලයයි.

අද නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන් මරා දමනු ලැබීම ගැන කවි ලියන්නෝ ද, ශෝක වන්නෝ ද වෙති. නන්දිකඩාල් යනු ඓතිහාසික ස්‌ථානයක්‌ වශයෙන් අභිනන්දනයට පත් කරන රචනා, කාව්‍ය බොහොමයක්‌ සිංහල මාධ්‍යයන්හි ද දක්‌නා ලැබේ.

ප්‍රභාකරන් ගේ මරණය ගැන, ඔහුගේ මරණයෙන් අවසාන කළ යුද්ධයෙන් පසු රටට ඇති වූ සහනය ගැන, යුද්ධයේ තුවාලය සුවවීමෙන් ඇති වූ සහනය ගැන කතා කරන්නට අකමැති පිරිසක්‌ සිටිති.

නමුත් නන්දිකඩාල් කලපුවෙන් නිමා වූ යුද්ධයෙන් පසු කී ලක්‍ෂයක්‌ මේ රටේ ජනතාව සැනසිලිදායක සිතින් සිටිත් දැයි දන්නේ ඒ සැනසිල්ල ලත් ශ්‍රී ලංකා ජනතාවම පමණි.

1818 දී වෙල්ලස්‌සේ සිංහලයන් මියගියේ සුද්දන්ට විරුද්ධව සටන් කරමිනි. නමුත් 1985 මැයි මස 14 වැනිදා අනුරාධපුරයේදී සිංහලයන් මියගියේ සහමුලින්ම නිරායුද අහිංසකයන් ලෙසිනි. මෙයින් වසර විසි හතකට පසු උපන්නෙකු මෙවන් බිහිසුණු ඝාතනයක්‌ ශුද්ධ වූ අනුරාධපුර භූමිය තුළ සිදුවී යෑයි දැන නොසිටින්නට පුළුවන.

යුද්ධයේ අවසන් දිනයේදී කී දෙනෙක්‌ දෙමළුල් මළේ දැයි ගණන් හිලව් ඉල්ලන අද වැනි යුගයක කොටි විසින් ඝාතනය කරන ලද පිරිසකගේ ගණන් හිලව් හරියටම දිය හැකි සාධකයක්‌ ගැන අද අපි කතා කරමු.

1985 මැයි 14 දා අලුයම පුත්තලම් ඩිපෝවට අයත් බස්‌ රියක්‌ ධාවනයට සූදානමින් තිබිණි. ඊට ගොඩ වූ කණ්‌ඩායමක්‌ එහි සිටි සිංහල රියෑදුරා ද මුස්‌ලිම් කොන්දොස්‌තරවරයාද පළමුව මරා දැමූහ.

අනතුරුව විල්පත්තු අභයභූමිය හරහා වැටුණු මාර්ගයක්‌ ඔස්‌සේ කොටි අනුරාධපුරයට පැමිණියහ. මෙම ගමනේදී ඔවුහු සියලුදෙනාම හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටින්නට වග බලා ගත්හ.

කොටි අනුරාධපුර බස්‌නැවතුම්පළට පැමිණෙන විට උදෑසන 7.50 පමණ වී තිබිණි. මේ අනුරපුර වැසියන් ගමන් බිමන් යැමට නගරයට සේන්දු වෙමින් සිටි වේලාවයි. කොටි බසයෙන් නොබැසම බසයේ ජනෙල් තුළින් මගී ජනයාට වෙඩි තබන්නට වූහ.

නගරය එකම මරලතෝනියක්‌ විය. එහෙත් කොටි දිගටම වෙඩි තැබූහ. බස්‌ නැවතුමේ සිටි මගීහු හුන් හුන් තැන්වල ඇද වැටෙන්නට වූහ.

අනතුරුව ශ්‍රීමහා බෝධිය වෙතට ගිය කොටි පළමුව ඒ අසල සිටි වෙළෙන්දන්ට වෙඩි තැබූහ. අනතුරුව යාචකයන්ට වෙඩි තැබූහ. ශ්‍රී මහා බෝධිය ළඟ මියගිය අය අතර, එදින උදෑසන උපන් දරුවා වෙනුවෙන් භාරහාර වීමට පැමිණි තරුණ මවුපියවරු ද වූහ. ඉනික්‌බිති කොටි පලා ගියහ. යන අතරමගදී නොච්චියාගම පොලිසියට ද වෙඩි තැබූහ. එහි දී එක්‌ පොලිස්‌ භටයෙක්‌ මරුමුවට පත් විය. විල්පත්තු වනෝද්‍යානය හරහා යන ගමනේදී කොටි එහි වනෝද්‍යාන ආරක්‍ෂක භටයන් විසිහතර දෙනෙකු ද මරා දමා තිබිණි. අවසානයේ රජය ගණන් බලා තිබූ අන්දමට අනුරාධපුර ප්‍රහාරයෙන් මියගොස්‌ සිටි සංඛ්‍යාව 140 කි. ඒ සියලුදෙනාම මේ රටේ ජීවත්ව සිටිය යුතු මිනිසුන්ය. නමුත් ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීම සඳහා කොටි විසින් ඒ මිනිසුන් මරා දමන ලදී. අනුරාධපුර ඝාතනය සිදු වූයේ ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩු කරන කාලයේදීය. ආරක්‍ෂක ඇමැතිවරයා වූයේ ලලිත් ඇතුලත්මුදලි මහතාය.

එදා කොටින්ගේ වෙඩි පහරින් මියගිය සෑම මිනිසෙක්‌ම අපගේ සහෝදර සහෝදරියන්ය. ඔවුන් මියගියේ ජීවතුන් අතර සිටින අප වෙනුවෙනි. මෙයින් 27 වසරකට පෙර සිදු වූ ඒ ඝාතනය අද වන විට බොහෝ දෙනකුට අමතකව ගොස්‌ ඇත. මෙලෙසම කාත්තන්කුඩිය මුස්‌ලිම් පල්ලියක දේව මෙහෙයේ යෙදී සිටි මුස්‌ලිම් ජාතිකයන් සිය ගණනක්‌ ද කොටි විසින් මරා දමන ලදී. ඒ ඝාතනද ඉතිහාසය තුළ අමතකව ගොස්‌ තිබේ.

නමුත් ඒ ම්ලේච්ඡ යුගය අවසන් කළ යුද්ධයේදී කොටි කී දෙනෙක්‌ මිය ගියේ දැයි එන්. ජී. ඕ. කාරයන් අපෙන් ගණන් හිලව් ඉල්ලා සිටිති.

නමුත් ඔවුහු අනුරාධපුර ශුද්ධ භූමියේදී මියගිය මිනිසුන්ගේ ගණන ඉල්ලා නොසිටිති. මියගියේ දෙමළ අය පමණක්‌ද? දෙමළ කොටින්ගේ ඊළම වෙනුවෙන් ජීවිත පූජා කළ සිංහලුන් ගණනය නොකරන්නේ මන්ද?

අනුරාධපුරයේදී ඝාතනය වූ 140 ක්‌ පමණ වූ සිංහලයන් වෙනුවෙන් අද ද අප හඬක්‌ නැගිය යුතු වෙමු. ඔවුන් නැවත සිහිපත් කළ යුතුය. මක්‌නිසාද නන්දිකඩාල් සටනේදී මියගිය දෙමළ සංඛ්‍යාව කී දෙනෙක්‌ දැයි කොටි ඩයස්‌පෝරාව ප්‍රශ්න කරන බැවිනි.




චන්ද්‍රසිරි දොඩන්ගොඩ
Divaina 20-05-2012
9
"සත් සියදහස්‌ සත්
සත් නරනිඳුහු සමගොත්
සත් වග කරෙහි මෙත්
යුත් ව පවතිත් සිතින් මැදිහත්"

වීදාගම මෛත්‍රී හිමියන්ගේ පන්හිඳෙන් පබැඳි, මෙම සාරාර්ථවත් කව එදා විසාලා මහනුවර විසූ සමාන ගෝත්‍රැති සත්දහස්‌ සත්සිය සත්දෙනෙක්‌ වූ ලිච්ඡවී රාජ රාජාදීන්, සම මෙතින් හා උපේක්‍ෂා සහගතව ස්‌වකීය පාලන කටයුතු කළ අයුරු ප්‍රකාශ කරන්නකි. මෙබඳු පද්‍යයන් අප රටෙහි ජීවත්වන සකලවිධ වූ පාලිතයන්ට මෙන්ම, රට කරවන්නටයෑයි දායක වෙමින් රටත් ගමත් කන ඇතැම් අඳ බාලයන්ටද ආස්‌වාදයක්‌ මග පෙන්වීමක්‌ ලබාදෙයි.

අතීත ලිච්ඡවී රජ සිරිත් පිළිබඳව යළි කියවීමේ වුවමනාව අප තුළ ඇති වූයේ 2012 මාර්තු 11 වැනිදා ඉරිදා දිවයින පත්‍රයේ පළවූ සංවේදනාත්මක ලිපියක සිරස්‌ තලයකි. ඒ මෙසේය.

"කුඩු කාරයන් දූෂකයන් රෙදි අස්‌සේ

දෙස්‌පාලනය අද බලු නකුටට බැස්‌සේ

සුවිසුද්ධි දර්ශන මාර්ගයක්‌ වූ ශ්‍රී සම්බුද්ධ ධර්මය පවත්නා දේශයක දෙස්‌පාලනය බලු නකුට මෙන් ඇද නෑරෙන තත්ත්වයකට පත්වීම කොපමණ අභාග්‍යයක්‌ ද? එම සිතුවිල්ල විසින් බුදුගුණ අලංකාරයේ අන්තර්ගත රාජකීයයන්ගේ යහ පිළිවෙත් සම්බන්ධයෙන් යළි යළිත් මෙනෙහි කර බලන්නට අප පොළඹවනු ලැබීය.

කිසිවක්‌ කර කියා ගත නොහැකිවූ චූල ජනයාට වධයක්‌, හිසරුජාවක්‌ බවට නො පත් වීමට නම්, මෙරට අදූරදර්ශී, අදමිටු දේශපාලකයන් විසින් (මහත්මා දේශපාලනඥයන් නොව) අත්පොතක්‌ බවට පත්කර ගත යුත්තේ බුදුගුණ අලංකාරයයි. එහි රාජ වර්ණනාවෙහි ඇති රාජකීය ඇවතුම් පැවතුම් වත්මනට ගළපා ගැනීම බෙහෙවින්ම ඵලදායී වන්නේය.

"දුසිරිත සිත නැවති
රද නීති දත් ගුණ ඇති
මැදහත් ලෙස පැවැති
එරජ ලිච්ඡවි නිරිඳු නම් වෙති"

මෙයින් කියෑවෙන්නේ "මනු නීති, දසරද දම් අනුව යටත් වැසියන් එකකුගේවත් පැත්තක්‌ නොගෙන තම යුතුකම් අනුව එදා ලිච්චවී රජවරුන් රට පාලනය කළ ආකාරයයි. මෙදා පාලකයන්ගෙන්ද මුළු රටම අපේක්‍ෂා කරන්නේ එවැනි මානව හිතවාදී ක්‍රියාකාරිත්වයකි. මතු දැක්‌වෙන්නේ එවැනි ජනතා ප්‍රාර්ථනාවන්ට නම්‍ය වූ, එහෙත් වත්මනෙහි ඇතැම් දේශපාලකයන් තුළ නොදිස්‌නා වටිනා පිළිවෙතත් ඇතුළත් පද්‍යයකි.

"නො වළා වරද තන්
නො නැමී බසට මහ තන්
විලසින් සිය සුතන්
සතන් රකිනු ය බලා ඇම තන්"

එදා ලිච්ඡවී රාජකීයයෝ වැරදි තැන් නොවළා (නො සඟවා) මහ තැන් හෙවත් උසස්‌ අයගේ බසට නොනැමී ස්‌වකීය පිය සුත්ඹුන් හට සේම සතන්නට ද රැකවරණ ලබා දුන්හ. මෙකව රස විඳිමින් එහි අරුත් රසයේ කිමිද යන අප සිත් හි, එක්‌වර ම සනිටුහන් වන්නේ, උම්මග්ග ජාතකයේ මහෞෂධ නැණිසුරාණන්ගේ චරිතය මගින්, චිරන්තන කතාකරුවා විසින් නිරූපිත, මානව දයාවෙන් පිරිපුන් බුද්ධිමත් පාලන තාන්ත්‍රිකයාගේ ස්‌වරූපය යි.

වේදේහ රජු මිථිලා නගරයේ රාජ්‍ය පාලනය මහෞෂධ පණ්‌ඩිතයන්ට භාර දෙයි. එසඳ පණ්‌ඩිතයෝද රජුට ධවල ඡත්‍රයන් සේම දූරදර්ශීව රාජ්‍යාරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කරති. ඒ අනුව, හෙතෙම තදාසන්න රාජ්‍යයන්ට යවන චර පුරුෂයන්ට වරෙක ප්‍රකාශ කරන්නේ ඔවුන් රාජකාර්යයට නික්‌ම ගිය පසු ඔවුන්ගේ අඹු දරුවන්ව රැකබලා ගන්නා බවයි. සැබෑ පාලකයන්ගේ හැටි එසේය. එහෙත් අද අපේ සමහර දේශපාලකයෝ උස්‌ තැන් දැක හැකිළෙති. මිටි තැන් දැක පුම්බති. ඇස්‌. මහින්ද හිමියන්ගේ කවි ඇසට එවැන්නන් හසුවූයේ නිවටුන් ලෙසය. එසේ නම්, ආශ්චර්යයක්‌, පතන්නා වූ අපට, එවැනි නිවටයන්ගෙන් අත්වෙන ප්‍රගතියක්‌ නැත. නූතන දේශාපේක්‍ෂණය වන්නේ ලිච්ඡවී රජවරුන් වැනි යහපත් පාලන තාන්ත්‍රිකයන්ය. එවැන්නෝ බුදුගුණ අලංකාරයට අනුව දිලෙන සිරුරු ඇති, භාෂාවෙන් සභ්‍ය වූ, ඓස්‌වර්යයෙන් භාග්‍ය සහිත වූ, සභාවන්ට අවශ්‍යම අය වෙති.

"ගත උන් සබා මය
බස උන්ගේ සබා මය
ඉසුරෙන් සබා මය
සබා නම් උන්, උන් සබා මය"

එබඳු වූ සභා සම්මත රාජ්‍යත්වය රටකට වඩාත් ආශිර්වාදාත්මක වන්නේ දසරාජ ධර්මයෙන් සුවඳවත් වීමෙනි.

"දානං සීලං පරිච්චාගං - අඡ්ජවං මඡ්ජවං තපං

අක්‌කොධො අවිහිංසාච - ඛන්තීච අවිරෝධතා" යනුවෙන් පාළියෙහි දැක්‌වෙන දසරාජ ධර්මය යනු දානය, ශීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, අවිරුද්ධතාව යන පිළිවෙත් මාලාවයි. එම පිළිවෙත් දැරූ රජුන් හා සමතැන් ගැනීමට මෙලොව කිසිවකු සමත් නොවන්නේය. එවැනි රජවරුන් ලොවට ගරුවූ, රූප ශ්‍රියාවෙන් පවා දේවප්‍රතිමා රූප වැනි විශිෂ්ට පුද්ගලයෝ වෙති.

"රුසිරෙන් ලොව ගරූ
අයුරු සුරිඳුන් පිළිරූ
දසරජ දම් දැරූ
ඔවුන් සරිවෙති මෙලොව කවුරූ"

යට සඳහන් වන උපමාන්විත කවියද නූතන දේශපාලනඥයන්ට ඇඟිල්ලෙන් ඇන ආදර්ශයක්‌ දෙයි.

"සක බිම පෙරළෙමින්
ගැල බඩු නිසල කෙරෙමින්
පවතින මෙන් නොමින්
තුමු දුක්‌ විඳිති සත රකිමින්"

රටේ ජනතාව ගැලක ඇසුරූ භාණ්‌ඩ වැනිය. පාලකයන් ගැලෙහි රෝද වැනිය. ඒවා බිම පෙරළෙමින් ඉදිරියට ඇදෙන්නේ තම ගැල්හි පටවා ඇති බඩු බාහිරාදිය නිසල කෙරෙමිනි. යහපත් පාලකයෝද තමන් රකිනා ජනතාව වෙනුවෙන් සක සඟල් මෙන් ඔවුන්ගේ බර පැන දරති. දුක්‌ මහන්සි වෙති. කැප කිරීම්වල යෙදෙති. ඔවුන් රට වැසියාගෙන් අයබදු ලබා ගන්නේද මලට නො රිදවමින් හෙමි හෙමින් රොන්ගන්නා භෘංගාවලින් මෙනි. එයට නිදසුන් සපයන්නා වූ පද්‍යයක්‌ සමඟ බුදුගුණ අලංකාරයේ තවත් කවි කිහිපයක්‌ද මතු සඳහන් වේ. ඒවා අපගේ ඇතැම් පාලකාරකාදීන්ට බෙහෙවින්ම වැදගත් වනු ඇත.

"රොන් ඇරගෙන සෙමින්
යන බිඟු ලෙසින් කුසුමින්
ලොවට දුක්‌ නො දෙමින්
ගනිති අය පඬුරු පෙර නියමින්
පලගත් අතු නසා
පල කන්නවුන් විලසා
දන ගැනුමක්‌ නිසා
දහම් නො නසති දනන් වනසා

පුතු වෙත සෙනෙහසේ
පසව දුක්‌ ඉවසන සේ
ලොව රැකුමදහ සේ
විඳිති දුක්‌ සරු නොකොට සැප සේ

වතුරු වැලි බිම් පෙත
නොහැර ම කරන මෙන් තෙත
දුප්පත් සතුන් වෙත
කෙරෙති නිති මහ කුලුණු මෙත් සිත

දත් මැදලා දමන
දැහැටි දඬුමෙන් දින දින
මෙහෙ ගෙන දනන් ගෙන
පසුව නොදමති නොදන්නන් මෙන

මල් නොගෙන පල දෙන
දිඹුල් තුරුසේ ඇම තැන
කිසි කරුණක්‌ නො ගෙන
දනන් සුවපත් කෙරෙති නිතියෙන"

එදා, සප්ත අපරිහානීය ධර්මයට අනුව මෙහෙකළ ලිච්ඡවී රාජකීය ප්‍රතිපත්ති රාජාණ්‌ඩු ක්‍රමයක්‌ තුළම සිරගත කළ යුතු නොවේ. ඒවා වර්තමාන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී පාලන ප්‍රතිපත්ති අදහස්‌ සමඟ ගළපා ගත හැකිය. එසේ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ද යහපත් වෙයි.




තබ්බෝවේ - ඡේ. ඡේ. වික්‍රමසේන
Divaina 22-04-2012
10

"මට හරියට නිදාගන්න පුළුවන් පක්‍ෂය ගොඩගත්තු දාටයි.."

1970 මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කර මැතිනියගේ සමගි පෙරමුණ ජයග්‍රහණය කරවීමට ජවිපෙ සහෝදරවරු ඒකමතිකව තීරණය කළහ. විජේවීර හැර සෙසු නායකයෝ සමගි පෙරමුණේ වේදිකාවලට නැග අධිරාජ්‍යවාදී යූ.එන්.පි. ය පරාජය කිරීමට අත්වැල් බැඳගන්නැයි ජනතාව ඉදිරියේ කෑ මොර දුන්හ. ඒ මැතිවරණයේදී සමගි පෙරමුණ ජයග්‍රහණය කරවීමට නව සාමාජිකයෙක්‌ ද ජවිපෙට එකතු වූයේය. ඒ ඩී. අයි. ජී. ධර්මසේකර ය.

"ධර්මසේකර කළුතර දිස්‌ත්‍රික්‌කයේ ජනතා විමුක්‌ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ වුණා. අලුත්ගම නගරයට ආසන්න සහෝදරයකුගේ නිවසකට ජවිපෙ සාමාජිකයන් එකතු වෙලා සාකච්ඡාවක්‌ පැවැත්වූවා. ඒක සංවිධානය කරලා තිබුණේ ධර්මසේකර. එදා විජේවීර සහෝදරයත් ඒ සාකච්ඡාවට ඇවිත් තිබුණා. විජේවීර සහෝදරයා එතැනින් ඉවත් වෙලා ගියාට පස්‌සේ ධර්මසේකර එතැන හිටිය සහෝදරවරුන්ගෙන් මෙහෙම අහලා තියෙනවා."

"කොහොමද මං හදපු ගෝලයා. මටත් වඩා හොඳට කරුණු පැහැදිලි කළා නේද?"

එතැන හිටිය සහෝදරවරු විජේවීර සහෝදරයා මුණගැසුණු වෙලාවක ධර්මසේකර කියපු දේවල් අකුරක්‌ නෑරම කියලා තිබුණා. පස්‌සේ විජේවීර සහෝදරයා ධර්මසේකර ගෙන්වලා මෙන්න මෙහෙම කියලා තියෙනවා.

"සහෝදරයා... මේ පක්‍ෂය ගොඩනැගුවේ ජනතාවට නායකත්වය දීලා නිර්ධන පන්තිය එකරාශී කර විප්ලවවාදී ආණ්‌ඩුවක්‌ ගොඩනගන්නයි. සහෝදරයා පක්‍ෂය ඇතුළේ ඉඳගෙන කැපී පෙනෙන පෞද්ගලිකවාදය ගොඩනඟන්න යන්න එපා."


ජවිපෙ අතීතය දයා මෙසේ ආවර්ජනය කරමින් සිටියි......

දින සති හිමි හිමින් ගෙවී ගියේය. ධර්මසේකර කළුතර දිස්‌ත්‍රික්‌කයේ ක්‍රියාකාරී සාමාජිකත්වයෙන් ඉවත් කර අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට මාරු කර යෑව්වේය. එහෙත් ඔහුගේ ප්‍රතිපත්ති වෙනස්‌ වූයේ නැත. අනුරාධපුරට ගිය ධර්මසේකර කළුතර දිස්‌ත්‍රික්‌කයේදී මෙන්ම ජවිපෙ ප්‍රතිපත්ති යට කරමින් ඔහුගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනැඟීමට ප්‍රයත්න දැරූ බවට චෝදනා නැගෙයි. ධර්මසේකර දෙබිඩි ක්‍රියාපිළිවෙතක්‌ අනුගමනය කරන බව ජවිපෙ සහෝදරවරුන්ට අවබෝධ විය. ඔවුහු ධර්මසේකරට එරෙහිව නැගී සිටියහ. නන්දන මාරසිංහ සහෝදරයා ධර්මසේකර ගෙන යන වැඩපිළිවෙළ ගැන විජේවීර සහෝදරයා දැනුවත් කළේය. ධර්මසේකරගේ ක්‍රියාපිළිවෙත ගැන පෙර සිටම හොඳින් අවබෝධ කරගෙන සිටින විජේවීර සහෝදරයා ධර්මසේකරව මාස දෙක තුනකට පක්‍ෂ ක්‍රියාකාරිත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළේය. අවසානයේ විජේවීර ධර්මසේකර සහෝදරයාව ජවිපෙ සාමාජිකත්වයෙන් සම්පූර්ණයෙන්ම නෙරපා හැරියේය.

ජවිපෙන් ඉවත් කළ ධර්මසේකර ඔහුගේ නායකත්වයෙන් සංවිධානයක්‌ ගොඩනඟා ගත්තේය. ඇමරිකාව විසින් වියට්‌නාමයට බෝම්බ දමා ජනතාව ඝාතනය කරනවාට විරුද්ධව අපේ රටේ ඇමරිකා තානාපති කාර්යාලය ළඟ 1971 මාර්තු 6 වැනිදා උද්ඝෝෂණ කළේ ධර්මසේකරගේ ඒ සංවිධානයයි. එදා පොලිසියේ ඉහළ නිලධාරියෙක්‌ සමග ඇති වූ බහින් බස්‌වීමක්‌ දුරදිග යැමක්‌ නිසා ධර්මසේකර කණ්‌ඩායමේ එක්‌ සමාජිකයකුට පිහි ඇනුම් පහරක්‌ කෑමට ද සිදු විය. ඒ වන විට මැතිනියගේ සමගි පෙරමුණ ආණ්‌ඩුව බලයට පත් වී අවුරුද්දක්‌ ගත වූවා පමණි. සමගි පෙරමුණ ආණ්‌ඩුවට විරුද්ධව ජවිපෙ ගෙන ගිය විප්ලවකාරී වැඩපිළිවෙළ ද ප්‍රචණ්‌ඩකාරී ස්‌වරූපයක්‌ ගත්තේය.

මැතිනියගේ රජයට එරෙහිව නැගී සිටින ප්‍රධාන සතුරා ජවිපෙ බව ඔවුන්ට හැඟිණි. තව තවත් ලෙඩේ උඩු දුවන්නට පෙර ප්‍රතිකාර කිරීම සුදුසු යෑයි සිතූ එවකට රජයේ ප්‍රධානීහු රජයට එරෙහිව නැඟී සිටින ප්‍රධාන හතුරා වන ජනතා විමුක්‌ති පෙරමුණ මර්දනය කරන්න යෑයි ආරක්‍ෂක අංශවලට නියෝග කළහ. ජවිපෙ ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමට ඒ අනුව ආරක්‍ෂක අංශ විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය. ජවිපෙට එළව එළවා පහර දුන්නේය. ජවිපෙ විප්ලවවාදී පක්‍ෂයක්‌ ලෙස අප්‍රේල් මස 05 වැනිදා උදෑසන ප්‍රථම වරට වැල්ලවත්ත පොලිසියට පහරදී ආයුධ අතට ගැනීමට තීරණය කර තිබුණද, අවසානයේ ඒ තීරණය වෙනස්‌ කරමින් වැල්ලවාය පොලිසියට ජවිපෙ පළමු වෙඩි මුරය මුදාහැරියේය.

"ඒ දවස්‌වල පොලිසිවලට පහර දුන්නේ නොම්බර 12 තුවක්‌කු කිහිපයකින්. කෑගල්ලේ පොලිසියට රතිඤaCදා පත්තු කරලා විසි කළාම පොලිස්‌ රාළහාමිලා පණ එපා කියලා දිව්වලු. එදා කෑගල්ල පොලිසියේ තුවක්‌කු සේරම අපේ සහෝදරවරු අරගෙන තිබුණා. එදා තමයි (අප්‍රේල් 08 වැනිදා) රට පුරාම ඇඳිරි නිතීය දාලා ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන්ට දිසාපති කාර්යාල, පන්සල්වලට ගිහින් පොලිසියට භාර වෙන්න කියලා මැතිනිය හෙලිකොප්ටර්වලින් පත්‍රිකා බෙදුවේ. ඒත් අපේ සාමාජිකයෝ පොලිසියට භාර වුණේ නැහැ. ඊට පස්‌සේ තමයි මැතිනිය ටයර් සෑය ගෙනාවේ. අපේ සහෝදරවරුන්ව පණ පිටින් ටයර් දමා පිච්චුවා. තවත් සාමාජිකයන්ව වධකාගාරවල තියාගෙන දස වධ දුන්නා. බද්දේගම කමලබන්දු සහෝදරයාගේ දකුණු අත විදුලි කියතකින් කපන කොට ඒ සහෝදරයා මෙහෙම කිව්වාලු."

"ලාංකීය විප්ලවය දිනේවා! ජනතා විමුක්‌ති පෙරමුණ දිනේවා! මේ අතින් පිට වන රතු ලේවලින් රතු ආණ්‌ඩුවක්‌ ඇති වේවා!"

ඒ එක්‌ සහෝදරයකුගේ ඉල්ලීමක්‌ විතරයි. මේ වගේ සහෝදරවරු විසිදාහක්‌ විතර එදා කෲර විදිහට ඝාතනය කළා. යටියන්තොට ඇන්තනී සහෝදරයා විදුලි කියතකින් පපුව පළා කකුල් දෙක කපන්න කලින් ඒ සහෝදරයත් පොලිසියෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක්‌ කර තිබුණා.

"මාව මරන්න ඉස්‌සෙල්ලා ඉතිහාසයට එකතු කරන්න කවියක්‌ කියන්න ඉඩ දෙන්න"

කාකි කෝට්‌ ඇඳගත්තු පොලිස්‌ නිලධාරීන් අතර මිනිස්‌කම තිබුණු පොලිස්‌ නිලධාරියෙක්‌ "දැන් අපි උඹව කොහොමත් මරනවා. අපට දැනගන්නත් එක්‌ක උඹේ කවිය කියපන්" කියලා ඒ සහෝදරයාගේ අවසන් ඉල්ලීමට අවසර දීලා තිබුණා.

ඔබ මියගිය සොහොන මත්තේ පුදන්නට
නෙක විසිතුරු මල් මාලා නැත අපට
ඇත්තේ සටන් කාමය නිති අවදි කොට
පුද දෙමි සොහොයුරාණෙනි ඔබගේ විරුනමට

යටියන්තොට සහෝදරයා ඒ කවිය කිව්වට පස්‌සේ ඔහුගේ බඩ කපා, අත් දෙක කපා යටියන්තොට නගරයට ගෙනත් ටයර් දමා ගිනි තියලා තිබුණා.

කෑගල්ලේ කණ්‌ණාඩි අබේ සහෝදරයාගේ මල්ලිව අත්අඩංගුවට ගෙන ඝාතනය කරන්න හදනකොට ඒ සහෝදරයා මෙහෙම කියලා තිබුණා.

"තොපි මරන මරන කෙනෙක්‌ පාසා, තොපි පලන පලන පලුවක්‌ පාසා, තොපි අපව විනාශ කළත් අපි නඟපු හඬ කවදා හෝ මේ රටේ රතු ආණ්‌ඩුවක්‌ ගොඩනඟනවා." මේ දේවල් විජේවීර සහෝදරයා අපට කිව්වේ සිරගත වෙලා ඉන්නකොට.

විජේවීර සහෝදරයා 1977 සිරගෙදරින් නිදහස්‌ වුණාට පස්‌සේ ප්‍රථම සම්මේලනය තිබ්බේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ. ඒ සම්මේලනයට ආපු මම එදා ගෙදර ගියේ නැහැ. ආමර් විදීයේ පිහිටි අපේ ප්‍රධාන කාර්යාලයේ නතර වෙලා රතු ආණ්‌ඩුවක්‌ ගොඩනඟන්න කැප වුණා. කකුල් දෙකට වළල්ලක්‌ හදාගෙන ලයිට්‌ කණුවල නැගලා සැරසීම් කළේ අපි. පක්‍ෂයේ කවුරු හරි දෙන ෂර්ට්‌ එකක්‌, කලිසමක්‌ තමයි එදා අපි ඇන්දෙ. ඇඳුම්-පැළඳුම්, කෑම් බීම් ගැන එදා අපේ සහෝදරයෝ හිතුවේ නැහැ. තියෙන දෙයක්‌ කාලා පක්‍ෂය ජයග්‍රහණය කරවීමට කැප වුණා." දයාගේ මතකය එසේ වචනවලට පෙරළිණි.



මැතිනියගේ ආණ්‌ඩුව ජවිපෙ සහෝදරවරුන් මර්දනය කිරීමට නොගත් උත්සාහයක්‌ නැත. ජවිපෙ සහෝදරවරු මඟ තොටේ ටයර් දමා පුච්චා දැමූහ. වධකාගාරවල රඳවාගෙන දස වධ දුන්හ. ඉනිදු නොනැවතුණු සමගි පෙරමුණ ජවිපෙ මර්දනය කරන්නැයි කියා විදේශ රටවල් දහහතක ආධාර පැතුවේය. අනුර බණ්‌ඩාරනායක රුසියාවට ගොස්‌ එරට රජයට මෙසේ දුක්‌ගැනවිල්ලක්‌ ඉදිරිපත් කර තිබිණි. "අපේ ආණ්‌ඩුව පෙරළා චීන ලයින්කාරයෝ වගයක්‌ බලය ගන්න හදනවා. අපට ආධාර දෙන්න මේ කැරලිකාරයන්ගෙන් රට බේරාගන්න." රුසියාවෙන් එසේ ආධාර පතන අනුර චීනේ ගිහින් පැවසුවේ මෙවැන්නකි. "රුසියන් ලයින්කාරයෝ වගයක්‌ අපේ ආණ්‌ඩුව පෙරළන්න කැරැල්ලක්‌ ගෙන යනවා. කැරැල්ල මර්දනය කරන්න අපට ආධාර දෙන්න." මාක්‌ස්‌ ලෙනින්වාදී දර්ශනයන් හොඳින් අවබෝධ කරගෙන සිටි කියුබාවේ පිදෙල් කැස්‌ත්‍රොaගෙන් ද ජවිපෙ මර්දනය කිරීමට අනුර ආධාර පැතුවේය. එහෙත් සමගි පෙරමුණට ජවිපෙ මර්දනය කිරීමට කියුබාවේ නම් ආධාර ලැබුණේ නැත.

"කැරැල්ලේ මහ නඩුවෙන් නිදහස්‌ වුණාට පස්‌සේ රෝහණ විජේවීර, කෙලී සේනානායක, ලයනල් බෝපගේ ඇතුළු තවත් සහෝදරවරුන් කිහිපදෙනකුට කියුබාවේ හවානා නගරයේ පැවැත්වෙන සම්මේලනයට සහභාගි වන ලෙස කියුබන් ජනාධිපති පිදෙල් කැස්‌ත්‍රොa ලංකාවේ කියුබන් තානාපති මාර්ගයෙන් රෝහණ සහෝදරයාට ආරාධනා කරලා තිබුණා. රෝහණ සහෝදරයා පිදෙල්ගේ ආරාධනාව පිළිගෙන තවත් සහෝදරවරුන් කිහිප දෙනකු සමග ඒ සම්මේලනයට සහභාගි වෙලා තිබුණා. සමසමාජ පක්‍ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන්ද ඒ සම්මේලනයට සහභාගි වුණාලු. සම්මේලනය පවත්වන භූමිය තුළ ජනතා විමුක්‌ති පෙරමුණේ ධජය ද ඔසවා තිබිලා තියෙනවා. මහා රෑ ජාමේ අතාවුද සෙනෙවිරත්න හොරෙන් හොරෙන් ඇවිත් ජවිපෙ කොඩිය කපනවා විජේවීර සහෝදරයා ඇස්‌ දෙකෙන්ම දැකලා තිබෙනවා. විජේවීර සහෝදරයා ඒ කතාව මට කිව්වේ වර්තමාන ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ විවාහ උත්සවයට යන අතරතුරදී. සෝමවංශ සහෝදරයාගේ විවාහ උත්සවය ඔහු පදිංචිව සිටි පයාගල නිවසේදී චාම් විදිහට පැවැත්වුණා. විජේවීර සහෝදරයා මංගල උත්සවයට සහභාගි වෙලා හිටපු පිරිස අමතා පුංචි කතාවක්‌ කරලා අපි දෙන්නා මඟුල් ගෙදරින් පිට වෙන්න හදනකොට සෝමවංශ සහෝදරයාගේ වැඩිමහල් සොහොයුරා එයාගේ කාර් එකෙන්ම අපව කළුතර නගරයට ගෙනත් ඇරලුවා. කළුතරින් කොළඹ බස්‌ එකක නැගලා අපි කෙළින්ම කොළඹ ආවා." දයා එසේ කීවේය.

ගිගුම් දෙන අහස වෙනදාටත් වඩා අඳුරුය. අතු ඉති සොලවන සුළඟ කෙමෙන් කෙමෙන් ප්‍රචණ්‌ඩ විය. පොලිස්‌ ජීප් රථ ද ඉඳහිට මඟ තොටේ නොගියාම නොවේ. පොලිස්‌ නිලධාරීහු කිසිදු අයුරිකින් විශ්වාස කළ නොහැකි සත්වයෙක්‌ ලෙස එදා ජවිපෙ සහෝදරයා හැඳින්වූහ. "සහෝදරයා... පෑවිල්ල ඉවරයි වගේ. අද නම් වහින ලකුණු නේද තියෙන්නෙ. අපි ටිකක්‌ ඉක්‌මනට අඩි උස්‌සමුද?" කෑලි කැපිය හැකි අඳුර මැදින් දයා රෝහණ සහෝදරයාගේ මුහුණ දෙස බැලීය. විජේවීර සහෝදරයා ද දයා කියූ දේ පිළිගෙන ගමන වේගවත් කළේය. පිටකොටුව බස්‌ නැවතුම්පළේ සිට ආමර්වීදියේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයට ඒමට ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක්‌ ගත වූයේ නැත. අහස පෙරළන්නාක්‌ සේ පුපුරා ගිය හෙණ ගෙඩි කෙමෙන් පහව ගියේය. නියඟයට බියෙන් මෙන් වැස්‌ස ඈතින් ඈතට ගියේය.

"එදා අපි කාර්යාලයට එනකොට ලයියා හෙවත් ලයනල් බෝපගේ සහෝදරයයි තවත් සහෝදරවරුන් කිහිප දෙනෙකුයි කාර්යාලයේ සිටියා. කළු මල්ලි මහ රෑම අපි දෙන්නට කෑම පැකට්‌ දෙකකුත් ගෙනත් දුන්නා. රෝහණ සහෝදරයා ඇඳගෙන හිටිය සුදු ෂර්ට්‌ එක ගලවලා මට කිව්වා "දයා නාන්න යනවා නම් මෙන්න මේකත් පොඩ්ඩක්‌ හෝදගෙන එන්න" කියලා. එදා රෑ රෝහණ සහෝදරයා මට ඇඳුම් හෝදන්න දුන්නාහම මම හිනාවෙලා කිව්වා.. "සහෝදරයා සතියකට පාරක්‌වත් නාන්න කෝ" කියලා. එතකොට විජේවීර සහෝදරයා මෙහෙම කිව්වා. "දයා මේ පක්‍ෂය ගොඩගන්න නම් වැඩිපුර ඇවිදින්න ඕනෑ. මහන්සි වෙන්න ඕනෑ. වැඩියෙන් මහන්සි වුණු දවස්‌වලට මම පුරුදු වෙලා තියෙන්නේ මූණකට විතරක්‌ හෝඳගෙන, තියෙන දෙයක්‌ කාලා පොඩ්ඩක්‌ ඇහැ පියාගන්නයි. ඉතිං බලන්න හැමදාම මහන්සි වෙනවා. මගේ වැඩවලට රැයක්‌ දහවලක්‌ නැහැ. මට හරියට නිදාගන්න පුළුවන් මේ පක්‍ෂය ගොඩගත්ත දාටයි." රෝහණ සහෝදරයා එදා කියූ ඒ වචන ටික මගේ හදවතේ තවමත් දෝංකාර දෙනවා.

තරංග රත්නවීර



(irida divaina - 29/01/2012)
Pages: [1] 2 3 ... 10