Welcome, Guest. Please login or register.
Did you miss your activation email?
September 08, 2010, 07:30:05 AM
Home Sinhala Chat Base Local News Web Hosting Fantasy Nimnaya Fun City Creations
Home Help Search Calendar Login Register

National Forum - Sinhala culture, tradition, history, arts, folks in Sri Lanka  |  SRI LANKAN HISTORY  |  Archives  |  Topic: එදා අපි යාපනේ ගිය හැටි 0 Members and 1 Guest are viewing this topic. « previous next »
Pages: [1] Go Down Print
Author Topic: එදා අපි යාපනේ ගිය හැටි  (Read 681 times)
WEBMASTER®
Administrator
Madduma
*****
Offline Offline

Gender: Male
Posts: 191


My sTyLe For My People,,, My Country,,,

SinhalayaDotCom@Hotmail.Com Channa_Aiya@Yahoo.Com
View Profile WWW
« on: March 28, 2010, 03:44:29 PM »

තුන්වැනි වේදිකාවේ නවතා ඇත්තේ පෙරවරු 5.45 ට කන්කසන්තුරේ බලා පිටත්වන යාල්දේවී සීග්‍රගාමී දුම්රියයි. එම දුම්රිය නවත්වන්නේ ..... රාගම, වේයන්ගොඩ, පොල්ගහවෙල, කුරුණෑගල, මහව හංදිය, ගල්ගමුව, තඹුත්තේගම, තලාව, අනුරාධපුරය, මැදවච්චිය, වව්නියාව, පුලියන්කුලම්, මාන්කුලම්, කිලිනොච්චි, පරන්තන්, පලෙයි, කොඩිකාමම්, චාවකච්ෙච්රි, යාපනය, .... යාපනයේ සිට කන්කසන්තුරේ දක්‌වා ඇති සෑම දුම්රිය ස්‌ථානයකම මෙය නවත්වනවා ඇත.

අසූව දශකයේ අගභාගය නිමවන්නට පෙර කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් මෙම හඬ දිaනපතාම වාගේ දිනකට කීපවරක්‌ උදේ දහවල් රාත්‍රියේ ශ්‍රවණය වූයේය. ශ්‍රී ලංකාවේ ධාවනය කළ සීග්‍රගාමී දුම්රියයන් අතරින් දුරම දුම්රිය කොළඹ - කන්කසන්තුරේ දුම්රියයි. ඒ වාගේම වැඩිම දුරක්‌ අඩුම වේලාවකින් ගමන් කළ දුම්රියයි. සැතපුම් 256 ක දුරක්‌ (කි.මී. 410) යැමට මෙම දුම්රියට ගතවූයේ පැය අටකටත් අඩු කාලයකි.

අලුයම 5.45 ට යාල්දේවී, සවස 2.05 ට උත්තර දේවී රාත්‍රි 7. 15 ට තැපැල් දුම්රිය වශයෙන් සීග්‍රගාමී දුම්රියන් තුනක්‌ දිනපතා උතුරුකරයට ධාවනය වූ අතර උදැසන 6.45 ට මන්දගාමී දුම්රියක්‌ද ධාවනය වූයේය. දිනකට කොළඹින් යාපනය බලා දුම්රිය හතරක්‌ ධාවනය වෙද්දී කන්කසන්තුරේ සිට කොළඹ දක්‌වා දිනකට දුම්රිය පහක්‌ ධාවනය වූයේය. සවස 6.10 ට තැපැල් දුම්රිය කන්කසන්තුරයෙන් පිටත්ව පසු නැවත රාත්‍රි 8. 25 ටත් සිග්‍රගාමී දුම්රියක්‌ කොළඹට පිටත්විය. මේ සෑම දුම්රියකම දකින්නට තිබූ විශේෂත්වය නම් මේ සෑම දුම්රියක්‌ම ගමන් කළේ මගීන්ගෙන් පිරී ඉතිරී යන තරමටය.

අලුයම 5.45 ට පිටත්වූ "යාල්දේවී" දුම්රිය සැතපුම් 126 ක්‌ ( කි. මී. 201) ගෙවා උදැසන 9.00 වන විට අනුරාධපුරයට ළඟාවන්නේය. සාමාන්‍යයෙන් මෙතන විනාඩි දහයක්‌ පහළොවක්‌ පමණ දුම්රිය නතර වන්නේ දුම්රියට ගොඩවීමටත්, බැසයැමටත් විශාල පිරිසක්‌ මෙහි සිටින නිසාය. දුම්රිය මැදවච්චිය දුම්රිය ස්‌ථානයට ළඟාවන්නේ උදැසන නමයාමාර පමණ වෙද්දීය. අලුයම 5.35 ට කන්කසන්තුරෙන් පිටත්වූ "උත්තර දේවී" දුම්රියත් "යාල්දේවී " දුම්රියත් මුහුණට මුහුණලා මාරු වෙන්නේ මැදවච්චිය දුම්රියපළේදීය.

යාල්දේවී ඉස්‌සර වුවොත් උත්තරදේවී එනතුරු මග බලා සිටින අතර උත්තරදේවී ඉස්‌සර වුවොත් යාල්දේවී එනතුරු මග බලා සිටින්නීය.

කෙසේ වුවද කිසිම දිනෙක මෙතන විනාඩි දහයකට, පහළොවකට වඩා රස්‌තියාදුවක්‌ නැත. දේවිලා දෙදෙනා මගීන්ට අපහසුවක්‌ නොවන ලෙසට මාරුවී යන්නීය. මැදවච්චියේ සිට වව්නියාවට දුර සැතපුම් 14 කි. (කි.මී 22) උදැසන 10.00 පසුවෙද්දීම වාගේ දුම්රිය "වව්නියාවට" ළඟා වන්නේය. වව්නියාවේ සිට කන්කසන්තුරේට හරියටම සැතපුම් 100 කි. (කි.මී 160) මෙතැන් සිට දුම්රිය මාර්ගයේ වංගු ඇදකුද අඩුය. ඊගස මෙන් උතුරු දුම්රිය මග වැටී ඇත. කැනඩාවේ යුනයිටඩ් ඉලෙක්‌ටි්‍රකල්ස්‌ සමාගම 1953 දී පමණ සාදන ලද. ප. 4 පංතියට අයත් කැනේඩියන් ලොකෝමෝටිව් ඩීසල් එන්ජිම කිසිම අපහසුවක්‌ නොමැතිව දුම්රිය මැදිරි (රුමේනියාවේ නිපදවූ) දහයක්‌ පමණ ඇදගෙන මහා හඬින් මුළු වනාන්තරයම දෙවනත් කරමින් නලා හඬ නංවාගෙන, විශාල දූවිලි වලාවක්‌ද අවුස්‌සාගෙන පිම්මේ දිව්වේ උතුරු කරයටය. මේ මහා වනාන්තරයේ සිටි රුදුරු සතා සිව්පාවන් පවා මේ යකඩ යකාට තිබුණෙ විශාල බියකි. වන සත්තු මෙම දුම්රිය පෙනෙනතෙක්‌ මානයකටවත් ළඟාවූයේ නැත. පුලියන්කුලම්, මාන්කුලම්, දුම්රිය ස්‌ථානවල මදක්‌ නැවතී ගිමන් හැර නැවත ගමන් අරඹා උදැසන 11.15 පමණ වන විට වව්නියාව දිස්‌ත්‍රික්‌කය පසුකොට "ඉරනමඩු" අසලදී කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන වෙළඳ පුරය වූ කිලිනොච්චිය නගරයට දුම්රිය ලඟාවෙන්නේය. අද මහා පාළු කතරක ස්‌භාවයක්‌ ගෙන තිබුණත් ඒ දිනවල කිලිනොච්චිය විශාල වෙළෙඳ නගරයකි. උතුරට ඉන්ධන බෙදාහරින ප්‍රධාන ඉන්ධන ගබඩාව තිබුණේද, කිලිනොච්චියේය. කිලිනොච්චියේ සිට පරන්තන් වලට ඇත්තේ සැතපුම් 4 කි. (6.4 කි.මී) එහෙත් සියලුම සීග්‍රගාමී දුම්රිය පරන්තන් දුම්රිය ස්‌ථානයේද නවත්වති. එයට ප්‍රධාන හේතුව වූයේ පරන්තන් වල තිබූ රසායනික කර්මාන්ත ශාලාවයි. ශ්‍රී ලංකාවේ තිබූ එකම රසායනික කර්මාන්ත ශාලාව තිබුණේ මෙතැනය. දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි පිරිස්‌ මෙහි රැකියාව කළහ. ඔවුන් බොහෝ දෙනෙක්‌ රාජකාරි සඳහා ආව ගියේ දුම්රියෙනි. යාපනය මුලතිව් ප්‍රධාන මාර්ගයේ ( ඒ 35) මංසන්ධිය වූයේද පරන්තන් නගරයයි. පරන්තන් පසුකරනවාත් සමගම දුම්රිය ගමන් කරන්නේ යාපනය කලපුව මැදිකරගෙන අලිමංකඩ ඔස්‌සේය. යාපනය අර්ධද්වීපයට දුම්රිය ඇතුළු වූ බව කවුරු කවුරුත් දැනගන්නේ මෙතනදීය. පලෙයි, කොඩිකාමම්, චාවකච්ෙච්රිය දුම්රිය ස්‌ථානවල මදක්‌ නැවතී දවල් 12.30 පමණ වෙද්දී යාපනය නගරයට දුම්රිය ළඟා වෙන්නේය. යාපනය දුම්රිය ස්‌ථානයේ විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ පමණ දුම්රිය නවත්වයි. එයට හේතුව මගීන් විශාල පිරිසක්‌ දුම්රියෙන් බැසයන නිසාය. කෙටි වචනයෙන් කියනවානම් දුම්රියේ පැමිණි මගීන්ගෙන් සියයට අනූ පහක්‌ම යාපනයේ දුම්රිය ස්‌ථානයෙන් බැස යති. කොකාවිල්, කොන්ඩාවිල්, චුන්නාකම්, තෙලිප්පලෙයි, යන දුම්රිය ස්‌ථානවල නතර කරමින් හරියටම දවල් 1.35 පමණ වෙද්දී, සැතපුම් 256 ක (410 කි.මී) මග ගෙවමින් එක පිම්මේ පැමිණි යාල්දේවිය උතුරුකරයේ මහ සයුර අද්දරින්ම වාගේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරු මාර්ගයේ අවසාන දුම්රිය සථානය වූ කන්කසන්තුරයට සැපත් වන්නේය.

ඒ දිනවල ධාවනය වූ සීග්‍රගාමී දුම්රිය අතරින් සුවිශේෂ වූ ලක්‍ෂණ කිහිපයක්‌ උතුරු මාර්ගයේ දුම්රිය වල තිබුණේය. වඩාත් සුවපහසු මැදිරි, අංග සම්පූර්ණ ආපනශාලා, මේ අතරේ විශේෂ විය. පිරිසිදු ඇඳ ඇතිරිලි වලින් සමන්විත පළමු පංතියේ සහ දෙවන පංතිය වශයෙන් වෙන්කළ නිදන මැදිරි, කීපයක්‌ රාත්‍රි තැපැල් දුම්රියේ තිබිණි. දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ම පවත්වාගෙන ගිය භෝජනශාලව කෑම බීම වලන් පිරී පැවතුනි. රාත්‍රි ආහාර, දිවා ආහාර, උදැසන ආහාර පමණක්‌ නොව අලුයම තේ කෝප්පය පවා මෙහිදී ලබාගත හැකිවිය. ඉතා පිරිසිදුවට සැකසූ බත් පාර්සල් අඩු මිලකට ආපන ශාලාවෙන් ගත හැකිවිය. යාපනය දුම්රියේ ගමන් ගත් මගීහු කෑමට බීමට හරි රුසියෝ වූහ. ඕනෑම වේලාවක ආපනශාලාව මගීන්ගෙන් පිරී පැවතුනි. ක්‍ෂණික කෙටි ආහාර පිසීමට දක්‍ෂ කෝකි මහත්වරු මෙහි සිටියහ. බීර වීදුරුවක්‌ තොලගාන අතරේ උණු උණු ඔම්ලට්‌ එකක රස බැලීමේ වාසනාව එදා උතුරු දුම්රියේ මගීන්ට ලැබුණේය. කුඩා මත්පැන් සලකින්ද (ඊAR) එය සමන්විත විය. මහනුවර අනුරාධපුරය මෙන් ඉතාමත් සුව පහසු විවේකාගාරයක්‌ යාපනය දුම්රිය ස්‌ථානයේද තිබුණේය. තනි කාමර සහ ජෝඩු කාමර වශයෙන් ඒවා වෙන් වෙන්ව ලබාගත හැකිවිය. යාපනය අර්ධද්වීපයේ සංචාරය කළ දකුණේ උදවිය බොහෝ දෙනෙක්‌ ඉතාමත් අඩුමුදලට තිබූ මේ නවාතැනේ නවාතැන් ගත්හ.

ශාපලත් වර්ගවාදී යුද්ධයේ අතුරු ඵලයක්‌ ලෙස 1912 මාර්තු 15 වැනිදා පටන් ගත් කොළඹ යාපනය ඓතිහාසික දුම්රිය සේවය 1991 දී රටට අහිමි විය. මේ කාලපරාසය තුළ මේ දුම්රිය තුළ ගමන් කළ අය බොහෝය. මේ රට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් උතුරුකරයට ආවගියෙ මේ දුම්රිය මාර්ගයේය. අප දේශයට ගොඩ බට සංචාරකයන් උතුරට ගියේ මේ මාර්ගයේය. ඒ විතරක්‌ නොව සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ වැනි ජාතීන්ට අයත් අපගේ සහෝදර ජනතාවද උතුරට ආව ගියේ මේ දුම්රිය මාර්ගයේය. අද අපේ බාල පරපුරට දකින්නට ඇත්තේ මේ දුම්රිය මාර්ගයේ නටබුන්ය. එහෙත් අපගේ හදවත් තුළ සදා මතකයන්සේ රැව් පිළිරැව් දෙන ඒ ඓතිහාසික දුම්රිය චාරිකාව කෙදිනක හෝ යළි අරඹනතුරු අපි බලා සිටින්නෙමු.

යාල්දේවිලා, උත්තරදේවිලා, එදා අපගේ රටට වටිනා සම්පත් වූහ. ජාති, ආගම්, කුල, භේද නොසලකා අපේ පුරවැසියන් මේ දේවිලාගෙන් නිසි ප්‍රයෝජන ලබා ගත්හ.

සිවරාජලා හා සරෝජලා, එක්‌ක දකුණේ සිරිමල්ලා, කුමාරිලා එකට බත් කෑහ. ධම්මසේනලා සෝමවතීලා සමග උතුරේ නඩරාඡ්ලා, තංගවේලුලා එකට වාඩිවී තේ, කෝපි පානය කළේ උත්තර දේවි දුම්රියේදීය. උතුරේ තංගම්මලා, පුෂ්පරානිලා එක්‌ක දකුණේ සිරියලතාලා, ආරියවතීලා, හැකි අයුරින් අසුන බෙදාගෙන නිදා වැටි වැටී ගමන් ගත්තේ යාපනය රාත්‍රි තැපැල් දුම්රියේය. එවැනි මනරම් අවස්‌ථාව නැවත එළැඹෙනතුරු ඇඟිලි ගැන ගැන අපි බලා සිටින්නෙමු.

හැත්තෑව දශකයේ මිල දර්ශනය.
අලුයම තේ (ඡදඑ) 1 රු. 1.25
උදැසන කෑම 1 රු. 2.50
දවල් කෑම 1 රු. 3.00
සවස තේ 1 ශත .75
බත් පාර්සල් 1 මස්‌, මාළු රු. 1.50
බත් පාර්සල් 1 එළවළු රු. 1.25
නිදන මැදිරි 1 පංතිය රු. 8. 00
නිදන මැදිරි 2 පංතිය රු. 4.00
යාපනය දුම්රිය ස්‌ථානයේ
විවේකාගාරයේ ගාස්‌තු.
තනි කාමරය රු. 8.00 පැය 24 කට
යුගල කාමරය රු. 16.00 පැය 24 කට


කැපුන්ගොඩ ආනන්ද රණවීර


Original Source:
Divaina (28/03/2010)

 
Logged

WEBMASTER®,
SINHALAYA WORLDWIDE.
Pages: [1] Go Up Print 
National Forum - Sinhala culture, tradition, history, arts, folks in Sri Lanka  |  SRI LANKAN HISTORY  |  Archives  |  Topic: එදා අපි යාපනේ ගිය හැටි « previous next »
Jump to:  


Login with username, password and session length

sinhalaya, songs, poems, jokes, lanka, sl, sinhala, sindu, articles, books, novels, reading, writing, education, colombo, general, school, chat, sinhalachat, kasukusu, mp3, srilanka
 


SINHALAYA UNIVERSAL BROADCASTING SERVICE [SUBS]

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.11 | SMF © 2006-2009, Simple Machines LLC Valid XHTML 1.0! Valid CSS!
Page created in 0.069 seconds with 17 queries.