Author Topic: ආදි සිරිලක ආහාර පාන -1  (Read 8898 times)

0 Members and 1 Guest are viewing this topic.

Asha Nanayakkara

  • Guest
ආදි සිරිලක ආහාර පාන -1
« on: November 23, 2010, 09:34:52 PM »
Advertisement
ආහාර මිනිස්‌ දිවිය හැඩගැසීම සඳහා වූ මූලික අවශ්‍යතාවන්ගෙන් එකකි. දිවි පෙවෙත පවත්වාගෙන යැමට මෙන්ම ශාරීරික වර්ධනය හා සෞඛ්‍ය සම්පන්න බවටද ආහාරවලින් ලැබෙන්නේ මනා පිටිවහලකි. ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය "බත" බව අපි දනිමු. නමුත් අද වන විට ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර පාන විවිධාංගීකරණයට ලක්‌වී ඇත. කෘෂිකාර්මික කටයුතු අතින් ගත් කල එදා සිරිලක "පෙරදිග ධාන්‍යාගාරයක්‌" විය. මෙරටින් සහල් පිටරටවලට පවා අපනයනය කරන ලදී. කෘෂිකර්මාන්තයෙන් යෑපුණු ලාංකීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගයද එයම විය. අද මෙන් කාර්ය බහුල නොවූ එදා ජනයාහට කැලෑ කපා කුඹුරු අස්‌වද්දා බීජ රෝපණය කිරීමෙන් පසු ඒවායේ අස්‌වැන්න නෙළාගන්නා තුරු වූ කාලය නිදහසේ ගත කිරීමට අවස්‌ථාව ලැබිණි. එවන් අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගෙන රටේ සංවර්ධන ක්‍රියාමාර්ග දියත් කරන්නට ඇත. එදා මිනිසුන් ආහාර ගත්තේ ජීවත් වීමට එය අත්‍යවශ්‍යම සාධකයක්‌ වූ නිසා පමණි. නමුත් වත්මන් ලාංකිකයා ජීවත් වන්නේ ආහාර අනුභවය සඳහා පමණි. පිටරටින් ආනයනය කරන දේවලට දක්‌වන ගිජුකම නිසාම එදිනෙදා ආදායමට වඩා වැඩි ප්‍රමාණයක්‌ ආහාර සඳහා වියදම් කරති. ඔවුනට බත අමතක වී ඇත. මෙය ගෝලීයකරණය යටතේ මිනිසා විවිධාංගීකරණය වීමේ එක්‌ අයහපත් ප්‍රතිඵලයකි. නැවත ශ්‍රී ලංකාද්වීපය බතින් සරු කිරීම නම් හුදෙක්‌ පෙරදිග ධාන්‍යාගාරයක්‌ බවට පත්කිරීමට නම් සියලු ලක්‌වාසීන් තුළ ජාත්‍යාලය මෙන්ම ජාතිකාභිමානය ඇතිවිය යුතුය. අපේ දේ අගයන සමාජයක්‌ බිහිවිය යුතුය. එමගින් නැවත මෙරට පැරකුම් යුගයක්‌ බිහිකළ හැකිවේ.

පවතින දියුණු ආර්ථික තත්ත්වයක්‌ හමුවේ දිව පිනන රස ආහාර පසුපස දිවයනවා මිස ඒවායේ ඇති ගුණාත්මක බව, සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳව එතරම් තැකීමක්‌ නොකෙරේ. එදා හෙළදිව වැසියා ඇල් හාලේ බත්, කුරක්‌කන් තලප, දඩමස්‌, මුං, මෑ, මෙනේරි ආදී වූ පෝෂ්‍යදායී ආහාර අනුභව කළ අතර ජව සම්පන්න මෙන්ම, සෞඛ්‍ය සම්පන්න මිනිසුන් කොටසක්‌ බිහිකිරීමට එම ස්‌වදේශීය ආහාර බෙහෙවින් උපයෝගි වූ බවට සැකයක්‌ නොමැත. අහස උසට බැඳි දාගැබ, ආගමික සිද්ධස්‌ථාන, මහා පරිමාණ වාරි කර්මාන්ත, සීගිරිය වැනි ලෝ ප්‍රකට ඓතිහාසික ස්‌ථාන ගොඩනැගුනේ එවන් ජවසම්පන්න මිනිසුන් අතිනි. එදා මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය රැකුණේ වස විසෙන් තොර දේශීය ආහාර පමණක්‌ ම අනුභව කිරීම නිසාවෙන් යෑයි සිතීම වරදක්‌ නොවේ.

ගමේ වැවෙන බත්, කොස්‌, පොළොස්‌, කුරක්‌කන්, මෙනේරි ආදී වූ පෝෂ්‍යදායී ආහාර අනුභව කළ අතීතයේ අම්මාවරුන් තම දරුවන්ට මවුකිරි ටික යහමින් ලැබිණි. එළිකිරි ද එදා දරුවන්ගේ බඩකට පිරවීමට මහත් සේ දායක විය. නමුත් අද මව්කිරට තිත තබා අම්මාවරුන් දරුවන්ට ලබා දෙන්නේ පිටිකිරිය.

පිට දීප දේශ ජයගත්තා
ආදී සිංහලුන්...........
.......... හෙරලි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා
කිරි නැති හින්දා රට කිරි දීලා
සිංහල දරුවො මරන්නා

යන සරල ගීතයෙන් කියවෙන්නේ වර්තමාන සිංහලයාගේ පිරිහුණු සභ්‍යත්වය පිළිබඳව නොවේද? අපට උරුම "හෙළ බත" අතහැර ලංකිකයා දිවයන්නේ යුරෝපීයයන්ගේ තිරිගු පිටි (පාන් පිටි) පසුපසය. සිංහල රාජධානියේ අවසාන සමයේ ලංකාවට එල්ල වූ යුරෝපා ජාතීන්ගේ බලපෑම් හමුවේ ලාංකිකයන්ගේ ආහාර පාන යුරෝපීකරණයට ලක්‌ වන්නට පටන් ගත් බව පෙනේ. එදා පෘතුගීසීන් ලක්‌දිවට ගොඩබැසි මුල් අවස්‌ථාවේ ලංකිකයන් ඒ බව කෝට්‌ටේ රජුට දන්වා සිටියේ කිරිගල් කමින් ලේ බොන යකුන් පිරිසක්‌ මෙරටට පැමිණ සිටින බවයි. එහි දී ඔවුන් කිරිගල් යනුවෙන් දක්‌වා ඇත්තේ පාන්ය. ලේ යනු වයින්ය.

නමුත් සිංහලයන්ගේ ආහාර පාන හෙළ ඌරුවට නැඹුරු ව දේශීය නිෂ්පාදන ඇසුරින් සකස්‌ කරගත් ඒවාය. ඒ අනුව මෙරට මුල් කාලීන වැසියාගේ ආහාරපාන පිළිබඳව තොරතුරු විමසීමේ දී ඒ පිළිබඳ ව සවිස්‌තරාත්මක තොරතුරු වංසකතා ඇතුළු සාහිත්‍යමය මූලාශ්‍රයන්ගෙන් හෝ පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් හෝ අනාවරණය නොවේ. විශේෂයෙන් මෙරට ප්‍රධාන වංසකතාව වන මහාවංසය පිළිබඳව අවධානය යොමුකිරීමේ දී අනුරාධපුර යුගයට අදාළව ආගමික තොරතුරු බහුල ව දක්‌නට ලැබුණ ද ආර්ථික හා සාමාජීය වශයෙන් වැදගත් වූ බොහෝ තොරතුරු විරලය. මහානාම කතු හිමිට නොවැදගත් කරුණු වූ හෙයින් බැහැර කරන ලද කරුණු අතර මෙවන් සමාජීය තොරතුරු ද තිබුණා විය හැකිය. එම නිසා ම පැරණි ශ්‍රී ලංකාවේ ආහාර පාන පිළිබඳව තොරතුරු විමසීමේදී වංසකතා මෙන්ම වෙනත් සාහිත්‍යය මූලාශ්‍රයන්ගෙන් හා සෙල්ලිපිවල ද තැන තැන විසිරී පවතින තොරතුරු සුළු ප්‍රමාණයක්‌ මෙසේ ගොනුකර දැක්‌වීමට හැකිවීම මෙරට වැසියන්ගේ ආහාරපානයන්ගේ ඉතිහාසය හා එහි වටිනාකම යළි මතක්‌ කර දීමක්‌ වැනිය.

විශේෂයෙන්ම මහාවංසාදී වංසකතා කතුවරුන්ගේ අවධානයට ලක්‌ නොවූ මෙවන් කරුණු පිළිබඳව වත්මන් උගතුන් අතර පවා ඇත්තේ අඩු අවධානයකි. එම නිසාම මේ පිළිබඳ ව තොරතුරු පොතපතෙහි පවා විරලය. එහෙයින් ප්‍රාථමික මූලාශ්‍රයන් අනුව යමින් මෙරට භාවිත වූ ආහාරපාන වර්ගයන් පිළිබඳ ව තොරතුරු බිඳක්‌ මෙසේ අනාවරණය කරමි.

ආර්යාගමනයට පෙර ලංකාව අමනුෂ්‍යයන් වාසය කළ පාලු දිවයිනක්‌ වූ බවත් එහි වේදාර (යාල්පානවයිපයමාලය) යක්‍ෂ (මහාවංසය) පිසාච (දීපවංසය) ආදී වූ ජන කොටස්‌ වාසය කළ බව මූලාශ්‍රයන් මගින් අනාවරණය වේ. විජයාගමණයට පෙර මෙරට සිටි යක්‍ෂයන් මිනී මස්‌ අනුභව කළ බව කුවේණිය විජය කුමරුගේ පිරිස උමගක සඟවා තැබීමෙන් පැහැදිලි වේ. (ම.ව. පරි. 7.15 ගාථාව) නමුත් ආර්යාගමනයට පෙර මෙරට සිටි ජනයා ශිෂ්ට සම්පන්න මිනිසුන් කොටසක්‌ විය හැකි යෑයි අනුමාන කළ හැකිය.

මෙරට සිටි දේශීය කළු මිනිසුන් දුටු විදේශීය සුදු ජාතිකයන් හට ඔවුන් යකුන් සේ පෙනුනා විය හැකිය. දැනට හමුවී ඇති පුරාවිද්‍යාත්මක සාධකවලින් ද ප්‍රාග් ඓතිහාසික මානවයා ආහාර පිස අනුභව කළ බවට තොරතුරු හමුවී තිබීමෙන් විජයාගමනයට පෙර මෙරට ශිෂ්ට සම්පන්න ජනකොටසක්‌ වාසය කළ බව අනුමාන කළ හැකිය. අනුරාධපුර ඇතුළු නුවර සිදුකරනු ලැබූ කැණීම් මගින් සොයාගත් මැටි බඳුන් කැබලි පිළිබඳව මෙතෙක්‌ නිශ්චිත දින නියමයක්‌ කර නොමැති වුවද ඒවා මෙරට වාසය කළ මුල් කාලීන මිනිසා ශිෂ්ටත්වයට පත් වූ මුල් ම කාලවකවානුවේ භාවිත කළ ඒවා ලෙස අනුමාන කළ හැකිය. (රජරට ශිෂ්ටාචාරය හා නිරත දිග රාජධානි, (2002), 222 පිටුව) ක්‍රි. පූ. හයවන සියවසට අවුරුදු දෙසීයයකට පමණ පෙර මෙරට සිටි ජනතාව වී හඳුනාගෙන සිටි බවට පුරාවිද්‍යාත්මක ව සනාථ වී ඇත. නමුත් වංසකතා තුළින් මේ පිළිබඳව කිසිදු තොරතුරක්‌ අනාවරණය නොවේ.

මිනිස්‌ ජීවිතයේ මූලික අවශ්‍යතාවක්‌ වූ ආහාර පිළිබඳ ව විමසා බැලීමේ දී මූලික වශයෙන් අපගේ අවධානය යොමුවිය යුත්තේ එදා මෙන්ම අදත් ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන "බත" පිළිබඳවය.

ඒ අනුව මහාවංසයට අනුව බත් ආහාරය සඳහා යොදාගත් මුල්ම අවස්‌ථාවක්‌ පිළිබඳව තොරතුරු ලැබෙන්නේ විජය කුමරු ලංකාවට පැමිණි අවස්‌ථාවේදීය. විජය කුමරුගේ 700 ක්‌ පිරිස තමාගේ මායමින් රවටා සැඟවීමෙන් අනතුරුව, කුමරුගේ අණට අවනත වූ කුවණ්‌ණ එම පිරිස ආපසු ලබා දීමෙන් පසු සාපිසාවෙන් සිටින කුමරු ඇතුළු පිරිසට තමන් විසින් ආහාරයට ගනු ලැබූ වෙළෙඳුන්ගේ නැව්වල පැවැති සහල් ඇතුළු බොහෝ දැ කුමරු ඇතුළු පිරිසට ලබාදී ඇත. රජ කුමරුගේ පිරිස ඒවායින් බත් හා සූපයන් (හොදි) පිසගෙන රජකුමරුට ද දී ඔවුන් ද අනුභව කළ බව මහාවංසයේ සඳහන් වේ.

භච්චා තෙ සාධයිත්වාන - භත්තානි ඛ්‍යඤජනානිච
රාජපුත්තං භොංයිත්වා - සබ්බේචාපි අභුඤජිසුං
(ම.ව. පරි( 7, 25 ගාථාව)

මෙහි දී පැහැදිලිවන එක්‌ කරුණක්‌ වන්නේ විජයාගමනයට පෙර මෙරට ස්‌වදේශිකයන් විදේශයන්ගෙන් වෙළෙඳුන් මෙරටට පැමිණ ඇති බවයි. තවත් කරුණක්‌ වන්නේ ඒ වන විට ලාංකිකයන් සහල් පරිභෝජනය පිළිබඳ ව දැන සිටින්නට ඇති බවයි.

මුල්කාලීන ව මෙරට ආහාරපාන කෙරෙහි ඉන්දියානු ආභාසය ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. ඇතැම්විට මෙරට කෘෂිකර්මාන්තය ස්‌ථාපිත වන තුරු විජය කුමරු ඇතුළු පිරිස අනුභව කරන ලද්දේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ආහාර විය හැකිය.

විජය රජු සමඟ පැමිණි උපතිස්‌ස ඇමැතියන් විසින් පිහිටුවන ලද උපතිස්‌ස ග්‍රාමයෙහි (නගරයෙහි) ආපනශාලා පැවැති බව දීපවංසයේ සඳහන් වේ.

අච්චුතගාමියො නාම - උ-ජෙනිං නන්ථ මාපයි
උපතිස්‌සො උපතිස්‌සං (නගරං) - සුවිභත්තරාපණං
(දි.ව. පරි. 9, 36 ගාථාව)

එහි භාවිත වූ ආහාර වර්ග පිළිබඳ ව පැහැදිලි තොරතුරක්‌ නොවූවද ඇතැම්විට ඉන්දියාවෙන් මෙරටට ගෙන එන ලද ආහාරපාන මෙහි විකුණන්නට ඇත. මෙමගින් පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ ආර්ය ජනපද ව්‍යාප්ත වන අවධියේ මෙරට ආහාර වෙළෙඳාම් කටයුතු ද සිදුවූ බවයි. ඇතැම් විට මෙරට කෘෂි කටයුතු ආරම්භ කරන තුරු ඉන්දියාවෙන් පැමිණි පිරිසගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම උදෙසා මෙසේ ආපනශාලා පිහිටු වූවා ද විය හැකිය.




අග්‍රා දමයන්ති‍
දිවයින 31-10-2010

Asha Nanayakkara

  • Guest
Re: ආදි සිරිලක ආහාර පාන -2
« Reply #1 on: November 23, 2010, 09:43:25 PM »
ආර්යාගමනයෙන් පසු මෙරට කෘෂිකර්මාන්ත කටයුතු ආරම්භ වීමත් සමඟ එය මෙරට වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගය බවට ද පත්විය. ආර්යන් සිය දැනුම උපයෝගි කරගෙන මෙරට කෘෂිකාර්මික කටයුතු ආරම්භ කළ බව පෙනේ. මුල් කාලීනව පැවැති ගංගා ආශ්‍රිතව ද පසුව වාරිකර්මාන්ත ඉදිකරමින් ද කෘෂිකර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධාන ස්‌ථානයකට පත් කිරීමට සමත්විය. අනුරාධපුර රාජධානි සමයේ දී මෙරට කෘෂිකර්මාන්තය ඉතා දියුණු තත්ත්වයකට පත්වූ බව පැහැදිලිව තහවුරු වන කරුණකි. එදිනෙදා ආහාරය සඳහා තත්ත්වයකට පත්වූ බව පැහැදිලිව තහවුරු වන කරුණකි. එදිනෙදා ආහාරය සඳහා අවශ්‍ය සහල් ලබා ගැනීම උදෙසා ගොවීන් ප්‍රධාන වශයෙන් වසරකට කන්න දෙකක්‌ කුඹුරු ගොවිතැන් කළ බවට තොරතුරු ලැබේ. නමුත් තෝණිගල පර්වත ලිපියෙන් අනාවරණය වන පරිදි වසරකට කන්න තුනක්‌ ගොවිතැන් කළ බව තහවුරු වේ. "පිටදඩහස" "මදෙහස" හා "අකලහස" යනු එම කන්න තුනයි.

"............ මණක වී පිට දඩ හස්‌හි වෙඩ අකල හිසින් වෙළුම....." (E, Z, Vol 03, (1933), p, 177)

".... මාස්‌ කන්නයේ අස්‌වැන්නෙන් ලැබෙන පොළිය ද යල් අස්‌වැන්නෙන් ලැබෙන පොළිය ද මැද අස්‌වැන්නෙන් ලැබෙන පොලිය ද (වන) පන්විසි අමුණක්‌ වී ද මේ සාමුණක උදුවල පොළිය........" (ලක්‌දිව සෙල්ලිපි, 139 පිටුව) ආදී වශයෙන් එහි සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ වී වලට අමතරව උඳු ද වගාකළ බවයි. ඒ අනුව මෙකල කෘෂිකාර්මික අතින් සමෘද්ධිමත් වූ නිසා ම ආහාර පරිභෝජනය ද උසස්‌ තත්ත්වයකට පවතින්නට ඇතැයි සිතිය හැකිය.

වංසකතා මගින් හෙළිවන තොරතුරු අනුව ඊළඟට බත් ආහාරයට ගත් පුවතක්‌ පණ්‌ඩුකාභය රාජ්‍ය සමය පිළිබඳව සඳහන් තොරතුරුවලින් අනාවරණය වේ. පණ්‌ඩුල ඇදුරු සමීපයේ සිට ආපසු එන පණ්‌ඩුකාභය කුමරුට අතර මගදී හමුවන ඔහුගේ මාමා කෙනෙකුන් වන සිවගේ දියණිය වූ පාලි කුමරිය ඇතුළු පිරිස කුඹුරෙහි වැඩෙහි නියුතු වන්නන්ට බත් ගෙනයමින් සිටියාය.

සො කරිස සත පක්‌කං - තදා ලාවෙති ඛත්තියො
තස්‌ස ධීතා රූපවතී - පාලි නමාසි ඛත්තියා

සා මහාපරිවාරෙන - යානමාරුය්හ සොභනං
පිතුභත්තං ගාහයිත්වා - ලාවකානඤ්ච ගච්ඡති

(ම.ව. පරි. 10.30, 31 ගාථා)

ඇයගේ පියා වූ ගිරිකණ්‌ඩශිව ඒ වන විට සියක්‌ කිරියක පැසුණු ගොයම් කප්පවමින් සිටියේය. ඒ අනුව මෙම කාලය වන විට වී ගොවිතැන ඉතා දියුණු තත්ත්වයක පැවැති බව පෙනේ.

දේවානම්පියතිස්‌ස රාජ්‍ය සමය පිළිබඳව තොරතුරු සඳහන් වන මහාවංස පුවතෙහි ද බත් පිළිබඳ ව සඳහන් වේ. මිහිඳු හිමියන් විසින් සුමන සාමනේරයන් හට ධර්ම දේශනා කරන වේලාව අන් අයට දැනගැනීමට ඝෝෂා කරවයි දේශනා කළ කල්හි සාමණේරයන් වහන්සේ විසින් කරන ලද ඝෝෂාව ඇසෙන අවස්‌ථාවේ දෙවනපෑතිස්‌ රජු සිටියේ නාග චතුක්‌ක නම් ස්‌ථානයේ බත් අනුභව කරමින් බව සඳහන් වේ. (ම.ව. පරි 14, 36 ගාථාව)

ධාතුවංසයට අනුව මෙරට ආහාරපාන පිළිබඳව තොරතුරු බුදුරදුන් දවස දක්‌වා ඈතට දිවයයි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබීමට පෙර කාවන්තිස්‌ස රජු ලංකාවේ මලය රට දනව්වක ඉපිද සිටින කාලයේ දී තමන් වාසය කළ නිවෙසෙහි අල, කෙසෙල්, පොල්, කොස්‌ ආදිය වගා කළ බව සඳහන් වේ.

"....... තමන් වසන්නා වූ ගෙදොර අල කෙසෙල් පොල් කොස්‌ ආදිය ඇති කළේය....." (ධා.ව. දඹගස්‌ආරේ ශ්‍රී සුමේධංකර මහා ස්‌ථවර, පරි. 4, 60 පිටුව)

මෙකල කොස්‌ ප්‍රධාන ආහාරයක්‌ වූ බව මෙන්ම ඉදුණු කොස්‌ (වැල) ප්‍රණීත ආහාරයක්‌ වූ බවත් එහි සඳහන් වේ.

මෙම තොරතුරු පිළිබඳ ව විමසීමේදී කාවන්තිස්‌ස රජුගේ පෙර ආත්මභවය පිළිබඳව පුවත මන(කල්පිත, අතිශයෝක්‌තියට බර සිදුවීමක්‌ වූවද මෙහි සඳහන් ආහාර බෝග පිළිබඳ ව යම් සත්‍යතාවක්‌ ඇති බව අනුමාන කළ හැකිය. ඒ මන්ද යත් ධාතුවංසය රචනා වී ඇත්තේ රෝහණයේ පාලකයන්ගේ පුඤaඤ පොත්ථක හා එතෙක්‌ සුරක්‍ෂිතව පැවැති පාරම්පරික වෘත්තාන්ත අනුව බව පෙනේ. ඒ අනුව මෙමගින් කියවෙනුයේ අනුරාධපුර රාජධානි සමයට සමකාලීනව රෝහණයේ භාවිත වූ ආහාර බෝග වර්ග යෑයි සිතිය හැකිය.

විශේෂයෙන් මෙරට භාවිත වූ ආහාර පිළිබඳව විමසීමේදී වෙනම ම ඒ පිළිබඳ ව තොරතුරු කිසිදු මූලාශ්‍රයක සඳහන් වී නොමැති බව මා ඉහතින් සඳහන් කළෙමි. හුදෙක්‌ ආහාරපාන වර්ග පිළිබඳ ව තොරතුරු අනාවරණය කරගත හැක්‌කේ භික්‍ෂූන් වහන්සේලා හට කළ දානමානාදිය පිළිබඳව සඳහන් තොරතුරු වලිනි. ප්‍රභූ ජනයා භාවිත කළ ආහාර, සාමාන්‍ය ජනයා භාවිත කළ ආහාර ආදී වශයෙන් වෙන්කොට හඳුනා ගැනීමට තරම් මූලාශ්‍රමය සාධක විරලය. භික්‍ෂූන් වහන්සේලා විෂයෙහි පිදූ දානයන්හි දී යොදාගන්නා ආහාර වර්ග එදා ජනයා ද භාවිත කළ ආහාරයන් ම විය හැකි යෑයි සිතිය හැකිය. ඒ මන්ද යත් වර්තමානයේ දී සිදුවන්නේ ද සාමාන්‍ය ජන ජීවිතයේ භාවිත වන බොහෝ ආහාර පාන භික්‍ෂූන් වහන්සේලා උදෙසා ද පිරිනැමීමයි. ඒ නිසා ම සාහිත්‍යමය මූලාශ්‍ර මගින් වූවද අනාවරණය කරගැනීමට හැකි බොහෝ තොරතුරු මෙසේ භික්‍ෂූන්ට පිදූ ආහාර වර්ග පිළිබඳ තොරතුරු වීම මෙහිදී වැදගත්ය.

මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වන පරිදි පිසින ලද බත් වර්ග දෙකකි. එනම් "පායාස" (කිරිබත්) හා "යාගු" (කැඳ) ය. රපායාස යනුවෙන් පාලි භාෂාවෙන් හඳුන්වනුයේ කිරිබත්ය. (අනුරාධපුර යුගය 310 පිටුව)

පාලි සාහිත්‍යයේ සඳහන් වන පරිදි ආහාරය "පුබ්බණ්‌ණ" හා "අපරත්න" වශයෙන් කොටස්‌ දෙකකි. මෙහි පුබ්බණ්‌ණ කොටසට ගැනෙන ආහාර භෝග 7 ක්‌ පිළිබඳව සඳහන් වේ. එනම් සාලි (හැල්), විහි (වී) කුeස (කොල්ලු), වරාක (වරා), ගෝධුම (තිරිඟු) ආදියයි. මේවා එදිනෙදා ජීවිතයේදී බොහෝවිට සාමාන්‍ය ජනයා ප්‍රධාන ආහාර වේල සඳහා බහුලව යොදාගත් ආහාර වර්ග වේ. අපරන්ත යනු මුං, මෑ ආදී ධාන්‍ය වර්ගයන් වන අතර ඒවා අප්‍රධාන ආහාරයන් විය.

සීහලවත්ථුප්පකරණයට අනුව මහාදේව උපාසක තෙම "හැම කල්හි පූර්වාන්ත අපරාන්ත නම් ශස්‍යයන් කරවනයි" යනුවෙන් සඳහන් වීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. (සීහපවත්ථුප්පකරණය (සිංහල අනුවාදය) පැරණි සිංහල බණ කථා, පොල්වත්තේ බුද්ධධත්ත හිමි (2002) පිටුව

"බත" ආහාරයට සුදුසු පරිදි විවිධාකාරයෙන් සකසා ගත් බවට තොරතුරු ලැබේ. පිසින ලද බත්, මස්‌, මාංශ හා එළවළු ව්‍යංජන සමඟ ආහාරයට ගන්නා ලදී. මුල්කාලීන ව බත් ආහාරයට ගැනීමේ දී සුපයන් සමඟ අනුභව කළ බවට තොරතුරු ලැබේ. "සූපය" යනු හොද්දයි. හොදි (සූප) හා බත් අනුභවය සාමාන්‍ය ජනයාගේ ආහාරය වූ අතර සූප හා ව්‍යංජන සමග බත් ප්‍රභූන්ගේ ආහාර වේල සඳහා පිළියෙල කෙරුණු බව පාලි සාහිත්‍යයෙන් අනාවරණය වේ.

විශේෂයෙන් ආහාර පාන වර්ග වර්තමානයේ මෙන්ම අතීතයේ ද එක්‌ එක්‌ අයගේ ආර්ථික තත්ත්වය මත ර පැවැතුණු බව සිතිය හැකිය. සැමට ම ඒකාකාරව ප්‍රණීත ආහාර වේලක්‌ රස විඳීමට නොහැකි වන්නට ඇත. සද්ධර්මාලංකාරයට අනුව දුප්පතුන්ගේ ආහාරය නිවුඩු හාලේ බත් හා කුඩමැස්‌සන්ගෙන් යුක්‌ත වූ බව කියෑවේ. දැසි දස්‌සන්ට භෝජනය වශයෙන් ලැබුණේද නිවුඩු හාලේ බත් බව පූජාවලියේ සඳහන් වේ. (පූජාවලිය, 642 පිටුව)

"බත" යන්න පාලි මූලාශ්‍රයන් හි "භත්ත" යනුවෙන් හැඳින්වේ. බත් පිළිබඳව තොරතුරු සෙල්ලිපි මගින් ද තහවුරු වී ඇත. මහරත්මලේ ලිපියට අනුව කිරිබත් (පායාස) හා "යාකු" යනුවෙන් හැඳින්වූ කැඳ වර්ගයක්‌ පිළිබඳව තොරතුරු සඳහන් වේ.

"සහ පරිවතක........ විහරති භකුසගහ විසිනි හමණ (ය) යාකුච බතව වස වසික හාඨික (ච)..... න කටු දිනෙ (උති) රික..... ර(ප) ට..... වානක කටු දිනෙ......" (E.Z, Vol - 1p.58)

මීට අමතරව තෝණිගල පර්වත ලිපියෙහිද බත් පිළිබඳ ව සඳහන් වේ. සංඝයා වහන්සේලාට පිදූ ආහාර අතර ගැල් 3 1/2 බත් වූ බව සඳහන් වේ.




අග්‍රා දමයන්ති‍
දිවයින  07-11-2010

Asha Nanayakkara

  • Guest
Re: ආදි සිරිලක ආහාර පාන -3
« Reply #2 on: November 23, 2010, 09:52:19 PM »
ප්‍රධාන ආහාරවේලක්‌ සඳහා පිළියෙල කරගත් ආහාර වර්ග පහක්‌ පිළිබඳව මූලාශ්‍රයන් හි සඳහන් වේ. ඕදන (බත්), කම්මාස (කොමපිඩු), මංස (මස්‌), සත්තු (අග්ගලා), මච්ඡ (මාළු) යනාදියයි. ඒ අනුව අනුරාධපුර යුගයේ ජනයා මුං, මෑ ආදී නොයෙක්‌ වර්ගයේ මාංශ භෝගයන් සිය ඉඩම්වල වගා කළ බවත් එවැනි ධාන්‍යවලින් පිළියෙල කරණ ලද ආහාර "කුම්මාස" ලෙස හැඳින් වූ බවත් සඳහන් වේ. එසේ පිළියෙල කරගත් ආහාරය බොහෝ විට සාමාන්‍ය ජනයාගේ රාත්‍රි ආහාරය වූ අතර මෙවැනි ධාන්‍ය තම්බා සකසා ගත් කැඳ උදැසන ආහාරය සඳහා යොදා ගන්නා ලදී. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1 කොටස 211 පිටුව)

ප්‍රධාන ආහාර වේලක්‌ සඳහා බත් ආහාරයට ගැනීමේදී වර්තමානයේ මෙන් ම අතීතයේ ද ඒ හා ගැලපෙන එළවළු, මස්‌, මාංශ, හොදි, සකසා ගෙන ඇත. ප්‍රභූන් මෙන් ම භික්‍ෂුන් වහන්සේ හට ද හොඳ තත්ත්වයේ ආහාර වේලක්‌ ලැබුණු බව පෙනේ. ප්‍රණීත ආහාර වේලක්‌ සකස්‌ කරගත් ආකාරය පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවලින් විවිධ වූ තොරතුරු අනාවරණය වේ.

කාවන්තිස්‌ස රජු භික්‍ෂුන් උදෙසා සුවඳ ඇල් හාලේ බත් රසවත් වෑංජන සමඟ දන් දී ඇත. (ධා. ව. පරි(4, 66 පිට)

අනුරාධපුර යුගයේ දී මෙරට ගැමි ජනයා විසින් ආහාර සඳහා අවශ්‍ය එළවළු වර්ග තම තමන්ගේ ගෙවතුවල වගා කරන්නට ඇත. එසේම මෙකල හේන් ගොවිතැන ද දියුණු තත්ත්වයෙන් පවතින්නට ඇත. ඒ අනුව කැකිරි, පුහුල්, දෙල්, රත්තම්පලා, තියඹරා, තිබ්බටු, (පූජාවලිය, 165 පිටුව) ලබු (සද්ධර්ම රත්නාකරය. 391 පිට) වැටකොළු, අලු පුහුල් ආදිය මෙකල වෑංජන ලෙස සකස්‌ කරගන්නට ඇත. මෙම වෑංජන පිසීමේ දී තෙම්පරාදු කළ බව "දුවාපු" යනුවෙන් සඳහන් වීමෙන් පැහැදිලි වේ. ප්‍රමාණවත් තරම් ලුණු, ඇඹුල්, යොදා ඒවා පිළියෙල කරගත් අතර ඒ සඳහා විවිධ කුළුබඩු වර්ග ද භාවිත කළ බවට තොරතුරු ලැබේ. ඒ අනුව ආහාර රසවත් කිරීම සඳහා යොදා ගත් කුළුබඩු වර්ග අතර මිරිස්‌, දුරු, අබ, සිද්ධිඟුරු, වහපුල් ආදිය වූ බව සඳහන් වේ. (පූජාවලිය, 407 පිටුව)

විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල (මලය රට) මේ සඳහා අවශ්‍ය කහ, ඉඟුරු, ගම්මිරිස්‌ ආදිය වගා කරන්නට ඇති බව සිතිය හැකිය. රුවන්මැලි සෑය ඉදිකිරීමට අවශ්‍ය රිදී ලැබුණු ආකාරය පිළිබව දක්‌වන මහාවංස විස්‌තරයෙහි අනුරපුර එක්‌ වෙළෙන්දෙකු හිඟුරු ගෙන ඒමට මලය රටට ගිය බව සඳහන් වීමෙන් අපට එසේ අනුමාන කළ හැකිය. (ම. ව. පරි( 28, 20-21) එසේම දුටුගැමුණු රජුගේ දානාදී කටයුතු පිළිබඳව තොරතුරු දක්‌වන සද්ධර්මාලංකාරයේ එතුමන් විසින් ගර්භනී ගැහැනුන්ට දුරු, මිරිස්‌. ද ලුණු ද දුන් බව සඳහන් කරයි. (සද්ධර්මාලංකාරය, 450 පිටුව)

තුන්වන මිහිඳු රජු විසින් පාංශුකූලික භික්‍ෂුන් වහන්සේ හට බෙහෙත් පිණිස ගම්මිරිස්‌, තිප්පලි, හිඟුරු, තිපල් ආදිය පාත්‍රයන් පුරවා දන් දුන් බව සඳහන් වේ. (ම. ව. පරි( 54, 22-26 ගාථා) මෙවන් කුළුබඩු භෝගයන් ආහාර රසවත් කිරීම සඳහා මෙන්ම ඖෂධ සඳහා භාවිත කර ඇති බව මෙමගින් පැහැදිලි වේ.

සාහිත්‍ය මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වන පරිදි පුරාණ ලංකාවේ භාවිත වූ තවත් උසස්‌ ආහාරයක්‌ වන්නේ "ක්‍ෂීර පායාස" හෙවත් කිරිබත් ය. බොහෝ අවස්‌ථාවලදී සඟුන් උදෙසා කළ දානමාන කටයුතුවලදී කිරිබත් පිදූ බවට තොරතුරු ලැබේ.

කිරිබත් සකසා ගැනීමේදී එය ආකාර කීපයකට සකස්‌ කරගත් බවට තොරතුරු හමුවේ. ක්‍ෂීර පායාසය බොහෝ විට උදැසන ආහාරයක්‌ ලෙස යොදා ගත්තා විය හැකිය.

දුටුගැමුණු කුමරුට නම් තැබීමේ උත්සවයේදී කාවන්තිස්‌ස රජු විසින් වැඩම කළ සංඝයා වහන්සේ හට කිරිබත් පිදූ බව මහාවංසයේ සඳහන් වේ.

"සියලු නිමිති දැක තුටු සිත් ඇති මිහිපල් තෙමේ සංඝයාට කිරිබත් දන් දී පුතුට නම් තබන්නේ......" (ම. ව. (සිංහල) පරි. 22,70 ගාථාව)

එසේම ගැමුණු හා තිස්‌ස යන කුමාරවරුන් දෙදෙනාට බත් කවන උළෙලේදී ද කාවන්තිස්‌ස රජු විසින් භික්‍ෂුන්ට කිරිබත් පිදූ බවත් උන්වහන්සේලා අඩක්‌ අනුභව කළ විට ඉන් ටික ටික ගෙන කුමාරවරුන්ට ද ඒවා කැවූ පුවතක්‌ මහාවංසයේ සඳහන් වේ. (ම. ව. පරි( 22, 72-85) මෙමගින් පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ මහා සංඝයා විෂයෙහි පිදූ ආහාර පාන ම රජ පවුලේ අයගෙත් ආහාරයක්‌ වූ බවයි. කිරිබත් පිළියෙල කිරීමේදී අක්‌ සකුරු හා ගිතෙල් එක්‌ කොට පිස ගත් බව පෙනේ. සලමෙවන් රජු එසේ සකසා ගත් කිරිබත් සංඝයා වහන්සේට පිදූ බව සඳහන් වේ. (ම. ව. පරි( 42, 66-63)

පාලි සාහිත්‍යයේ සඳහන් වන අම්බිල යාගු හා අම්බිල පායාස ඇඹුල් රසට පිළියෙල කරගත් ආහාරයන් ය. අම්බිල පායාස යනු ඇඹුල් රසට පිළියෙල කරගත් කිරිබත් ය. මෙම කිරිබත් සාදා ගැනීමේදී ඇඹුල් රස ඇතිවීම පිණිස ගිතෙල් යොදා ගන්නට ඇත. පැසිබත් (ඇඹුල් බත්) (සද්ධරාමාලංකාරය, 754 පිටුව) යනුවෙන් ද හඳුන්වා ඇත්තේ මෙම අම්බිල පායාසය විය හැකිය.

දුටුගැමුණු රජු විසින් කරන ලද පිංකම් අතර කොළඹ නම් මලය රට බුළු කෑ සායේහි දී පන්සියයක්‌ මහ තෙරුන් හට ඇඹුල් සහිත තණ සාලේ බත් පිණ්‌ඩපාතය ලෙස පිළිගන්වා ඇත.

"දිනෙනො පසන්න විත්තෙන

කංගු අම්බිල පිණ්‌ඩකො " (ම.ව. පරි( 32, 30 ගාථාව)

එසේම මෙම රජු විසින් ගිලනුන්ට ගිලන් බත් හා බෙහෙත් බත් පිදූ බව ද සඳහන් වේ. (ම. ව. පරි( 32, 38 ගාථාව) මෙම ගිලන් බත් හා බෙහෙත් බත් රෝගීන්ට සුදුසු ආකාරයෙන් සකසා ගත් ඒවා විය හැකිය. ඇතැම් විට බෙහෙත් බත් සඳහා ඒ ඒ රෝගියාට නියමිත බෙහෙත් වර්ගද මුසු කොට පිස ගත්තා විය හැකිය. මීට අමතරව (සඬඛතං මධු පායාස) නම් වූ කිරිබත් ද ලබාදුන් බව සඳහන් වේ. මෙම සඬඛත මධුපායාසය සකස්‌ කර ගන්නා ලද්දේ සීනි, මී පැණි, වෙඬරු හා තෙල් සංයෝග කිරීමෙන් බව පැවසේ. (Culture of Ceylon in Medeval Times (1960) චග 41)

එසේම තැඹිලි ගෙඩියෙන් ලබාගත් කිරි හා වෙඬරු තුනපහ මිශ්‍රකර බත් සකසා ගත් බවට තොරතුරු ලැබේ. බත් පිසීමේදී සහල්, ගිතෙල්, පැණි, මී පැණි හා සකුරු එක්‌ කොට පිසගත් බවත් එසේ සකස්‌ කළ ආහාරය භික්‍ෂුන් වහන්සේට පිදූ බවත් සීහලවත්ථුප්පකරණයේ හරිතාලතිස්‌සගේ කතා වස්‌තුවේ සඳහන් වේ. (සීහලවත්ථුප්පකරණය, (සි. අනු.) 5 පිට)

සීහලවත්ථුප්පකරණයේ මහානාග තෙරුන්ගේ කතා වස්‌තුවෙන්ද ආහාරය සඳහා සුදුසු පරිදි බත සකස්‌ කරගත් ආකාර කිහිපයක්‌ පිළිබඳව සඳහන් වේ. එහිදී භික්‍ෂුන් වහන්සේ උදෙසා දන් දීම සඳහා ඇල් සහලෙන් බත් උයා මස්‌ මාළු ද පිලියෙල කර ගිතෙල් වත්කර පිළිගන්වා ඇත. එසේම සාමාන්‍ය ජනයා බත් කොස්‌ හා මුසුකොට අනුභව කළ බවත්, රාත්‍රියේ අනුභව කොට ඉතිරි වූ බත් (හීල් බත්) උදැසන ආහාරයට ගැනීමට ගැමියා පුරුදුව සිටි බව ද මෙමගින් පැහැදිලි වේ. (සීහලවත්ථුප්පකරණය, (සි.අනු.) 75 පිටුව)

උසස්‌ කුලවතුන් භික්‍ෂුන් සඳහා දානය පිරිනැමීමේ දී ගිතෙල් උක්‌ සකුරු වැනි දැ සමඟ පිරිනැමුව ද සාමාන්‍ය ජනතාව හට එවැනි දැ සඳහා වත්කමක්‌ නොවූ නිසා තමන්ට ඇති හැකි පමණින් භික්‍ෂුන් වහන්සේට දන් පිරිනමා ඇත. සීහලවත්ථුප්පකරණයට අනුව හරිතාලතිස්‌සගේ කතා වස්‌තුවෙහි සුමනාව විසින් ලුණුවිල කොළ සමඟ බත් සකස්‌ කර භික්‍ෂු දානයක්‌ පිදූ බව සඳහන් වේ. (සීහලවත්ථුප්පකරණය, (සි. අනු) 5 පිටුව)

මීට අමතරව විසුද්ධිමග්ගයේ කුළුපග තිස්‌ස තෙරුන්ගේ කථා පුවතේ අනුරාධපුර යුගයේ සාමාන්‍ය ජනයා භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි ආකාරයේ ආහාර වේලක්‌ පිළිබඳව තොරතුරු සඳහන් වේ.

එසේම සද්ධර්මාලංකාරයේ පූවපබ්බතවාසී තිස්‌ස තෙරුන්ගේ කතා වස්‌තුවේ පූගලුතිස්‌ස තෙරුන් වහන්සේ හට එක්‌ අමාත්‍ය පුත්‍රයෙක්‌ විසින් දුන් දානයක්‌ පිළිබඳව සඳහන් වේ. එයට අනුව එම අමාත්‍යවරයා විසින් සිය බිරිඳට පවසා සිටින්නේ,

"තෙරුන් වහන්සේ මෙතැනට වැඩි කල්හි. නිමුඩු (නිවුඩු) සාලින් කුඩුමුසු කැඳ පිස වළඳවා වේලා ආසන්න වූ කල්හි පලා මාලුවක්‌ හා කාඩි ඇඹුල් දෙවනු කොට නිමුඩුසාලේ බත් වළඳවාලව....." (සද්ධර්මාලංකාරය, 415 පිටුව) යනුවෙනි. මෙමගින් ද මෙරට මුල් කාලීනව සාමාන්‍ය ආහාර වේලක්‌ සකස්‌ කර ගත් ආකාරය පිළිබඳව පැහැදිලි තොරතුරුක්‌ අනාවරණය වේ.



අග්‍රා දමයන්ති‍
දිවයින  14-11-2010

Asha Nanayakkara

  • Guest
Re: ආදි සිරිලක ආහාර පාන -4
« Reply #3 on: November 23, 2010, 09:54:07 PM »
කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ (මහසෙන මහරජහ පුත සරිමෙකවණ අබ මහරජ) මෙම තෝණිගල ලිපිය මෙරට ආහාර වර්ග පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වන අභිලේඛනමය මූලාශ්‍රයකි. මෙම සෙල් ලිපියෙහි අන්තර්ගත කරුණුවල මූලික අදහස වන්නේ එක්‌තරා ඇමැතියෙකු විසින් ධාන්‍ය, උඳු ආදිය සමාගමක තැන්පත් කර එයට පොලිය වශයෙන් ලැබෙන ආදායමෙන් "සහිසපවත" ආරාමයේ "අරියවස කරන" භික්‍ෂුන් වහන්සේගේ සැප පහසුව සඳහා දුන් බවයි. මෙහිදී පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ එකල කෘෂිකාර්මික අතින් වඩාත් සමෘද්ධිමත්ව පැවති බවකි. එම නිසාම එදිනෙදා පරිභෝජනය සඳහා අවශ්‍ය කොටස හැරුණු කොට පැවති අතිරික්‌ත අස්‌වැන්නෙන් කොටසක්‌ සමාගමක තැන්පත් කර තිබූ බවයි. එමගින් එකල මෙරට ආහාර අතින් ස්‌වයංපෝෂිත වන්නට ඇති බව සිතිය හැකිය. වී වලට අමතරව උඳු හා මුං වගා කළ බව ද මෙමගින් පැහැදිලි වේ. ඒවා හේන්වල වගා කොට ඇත.

"........... උදි ඉච බයලි දස අමණ ඉච මෙ දෙ හඩක දස අ-......." (ලක්‌දිව සෙල්ලිපි, (1969, 209 පිටුව)

දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර නම් යෝධයා පිළිබඳව එන තොරතුරුවලට අනුව ඔහුගේ සොයුරන් පස්‌දෙනකු එකතුව වනයක්‌ හෙළිකර, කණු මුල් උදුරා උඳු වැපිරීම සඳහා හේනක්‌ සකස්‌ කළ බව මහාවංසයේ සඳහන් වේ. මෙමගින් අනුරාධපුර යුගයේ මුල් භාගයේදී හේන් ගොවිතැන්ද සාර්ථකව සිදු කළ බව පැහැදිලි වේ.

තෙ ගනත්වා මාසඛෙත්තත්ථං - කොට්‌ටයිත්වා මහාවනං
තස්‌ස භාග ඨපෙත්වාන - ගනත්වා තස්‌ස නිවෙදයුං

සො ගනත්වා තං බණං - යෙව රුකෙඛ ඉම්බරසඤඤිකෙ
ලුඤචිවොනසමං කත්වා - භූමි ගත්ත්වා නිවෙදයි

(ම. ව. පරි( 23, 51,52 ගාථා)

අනුරාධපුර යුගයේ මුල් භාගයේදී හේන් වගා කොට ගොවියන් විසින් හැල් වී සහ උඳු, මුං, මෑ. ආදී වූ ධාන්‍ය වර්ග බොහෝ ප්‍රමාණයක්‌ ලබා ගත් බව සඳහන් වන තොරතුරු බොහොමයක්‌ සීහලවත්ථුප්පකරණයෙන් මෙන්ම සහස්‌සවත්ථුප්පකරණයෙන් ද අනාවරණය වේ. සිඛවළඳ විනිසෙහි සඳහන් වන ආහාරයට මෙරට ගොඩ ඉඩම්වල වගා කළ ධාන්‍ය පස්‌ වර්ගයක්‌ වූයේ ගොධුම (තිරිඟු), යව (බාර්ලි), තණහාල්, වරා හා හමු ය. (සිඛවළඳ හා සිඛවළඳ විනිස, මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි, (1955), 68 පිටුව) සුමංගල විලාසිනියෙහි ද මෙරට හේන්වල වගා කරන ලද ධාන්‍ය වර්ග ලෙස දක්‌වා ඇත්තේ ගොධුම, යව, කංගු, වරක හා කුද්‍රeසක ආදියයි. මෙවැනි ආහාර භෝග මෙකල ජනතාවගේ එදිනෙදා පරිභෝජනය සඳහා යොදා ගන්නට ඇත.

හේන සෙල් ලිපිවල හඳුන්වා ඇතතේ "සේණ" යනුවෙනි. විශේෂයෙන් වියළි කලාපයේ හේන් ගොවිතැන් කටයුතු සඳහා මුල් කාලීනව ජලය සපයා ගත්තේ අහස්‌ දියෙනි. ජලය ලබා ගැනීමට වාරිමාර්ග පහසුකම් නොමැති හෝ අඩතැනි හෝ මුඩු බිම්වල මෙසේ හේන් සකස්‌කර ඇත. එමගින් ලබාගන්නා බොහෝ ආහාර භෝගයන් මෙරට ජනතාවගේ ආහාරවේල සඳහා යොදා ගත් බවට තොරතුරු ලැබේ.

එසේම භික්‍ෂුන් වහන්සේ උදෙසා ප්‍රණීත ආහාර වර්ග පිදූ බවට ද තෝණිගල පර්වත ලිපිය සාක්‍ෂි දරයි. ආහාර වේලක්‌ සඳහා යොදාගත් විවිධ ආහාර වර්ගයන් රැසක්‌ මෙහි සඳහන් වේ.

"....පිණ්‌ඩ හකට දනවට ඉක්චද අතරකජක වට ඉච අකරකජක (පරිකර) යපෙනි ඉච දී මිය වටපෙනි පිල ඉච බුන තෙල ඉච ලොන ඉCචද පලහ වට ඉච වෙටයල ඉCචද වහෙර..... ග සර..... ප. පචනගි......." (E.Z Vol III, p. 198)

මෙහි සඳහන් ආකාරයට දනවට (බත්). මියවට (මී පැණි). පෙනි (උක්‌ සකුරු). තිල (තල), බුනතෙල (දුන්තෙල්) පලහවට (පලා වර්ග) ලොණ (ලුණු) ආදිය ආහාර වට්‌ටෝරුවට ඇතුළත් වී ඇත.

මෙසේ භික්‍ෂුන් වහන්සේ උදෙසා පිදූ බව සඳහන් වන එවැනි ප්‍රණීත ආහාර පාන එකල උසස්‌ කුලවතුන්ගේ ආහාර සඳහා යොදා ගත් ඒවා විය හැකිය. එසේම තමන් අනුභව කරන රසවත් ආහාර වර්ග වැඩ කරන සාමාන්‍ය ජනතාවට ද ලබා දීමට ඇතැම් පාලකයන් කටයුතු කළ බව පෙනේ. ඒ අනුව දුටුගැමුණු රජු ලෝවාමහාපායෙහි ඉදිකිරීම් ආරම්භ කරන ලද කාලයේ එහි දොරක්‌ දොරක්‌ පාසා සීනි, තල, සකුරු, මී පිරූ සැලි ද තැබ්බවිය.

"එහි දොරක්‌ පාසා දහස්‌ ගණන් පිලී පොදි ද සීනි තල තෙල් සකුරු මී පිරූ නොයෙක්‌ සැළි ද තැබ්බවීය......." (ම.ව. පරි( 27, 22 ගාථාව (සිංහල අනුවාදය)

බත් හැරුණු විට මෙරට භාවිත වූ තවත් ප්‍රධාන ආහාරයක්‌ ලෙසද "කැඳ" (යාගු/ සෙල්ලිපිවල "යාකු") දැක්‌විය හැකිය. මෙය අද පවා ජනප්‍රිය ආහාරයකි. කොළ කැඳ. කිරි කැඳ, ඇල් හාල් කැඳ, ලුණු කැඳ ආදී වශයෙන් කැඳ වර්ග විවිධ වෙති. ඈත අතීතයේ සිටම භික්‍ෂුන් වහන්සේ ලුණු කැඳ වැළ බවට තොරතුරු ලැබේ. "අම්බිල යාගු" වශයෙන් ද කැඳ වර්ගයක්‌ පිළිබඳ ව සාහිත්‍ය මූලාශ්‍රයන්ගේ සඳහන් වේ. එය ඇඹුල් රස එක්‌ කොට සාදා ගත් කැඳ විශේෂයක්‌ වන්නට ඇත. සාමාන්‍ය ජනයා ධාන්‍ය වර්ග වලින් උදැසන ආහාරය සඳහා කැඳ සකසා පානය කළ බව සඳහන් වේ. විශේෂයෙන් කිරිබත් (ක්‍ෂීර පායාස) මෙන්ම කැඳ ද (යාකු) උදැසන ආහාර වේල සඳහා සකස්‌කර ගත් ආහාරයන් වේ.

දේවානම්පියතිස්‌ස රජුගේ අන්තඃපුරයට ධර්මය දේශනා කිරීමට මිහිඳු හිමියන් වැඩම කළ අවස්‌ථාවේ උන්වහන්සේ උදෙසා පිදූ දානය කැඳ අවුළු හා භෝජනයෙන් යුක්‌ත වූ බව සඳහන් වේ. (ම. ව. පරි( 14, 55 ගාථාව) අවුළු යනු කැඳ සමඟ ආහාරයට ගන්නා කැවිලි වර්ගයන් ය. (සද්ධර්මාලංකාරය, 736 පිටුව)

ධාතුවංසයට අනුව කාවන්තිස්‌ස රජු විසින් මස්‌ මාළු රස එක්‌කොට සුවඳ ඇල් හාලෙන් පිළියෙල කරන ලද කැඳ හා අවුල්පත් උදැසන ආහාරයක්‌ ලෙස භික්‍ෂූන්ට පිළිගන්වා ඇත.

"....... මත්ස්‍යමාංස රස හා සමඟ සුවඳ ඇල්සාලෙන් පිළියෙල කළා වූ කැඳ අවුලුපත් ද උදෑසනක්‌ සේ දන් දුන්නේය. ......" (ධා.ව. පරි. 4, 60 පිටුව)

එළවළු ව්‍යංජන හැරුණුකොට අනුරාධපුර යුගයේ මුල් කාලයේ පටන්ම ලාංකිකයා මස්‌, මාංශ ද අනුභව කිරීමට නැඹුරු වී සිටි බවට තොරතුරු ලැබේ.

දෙවනපෑතිස්‌ රජු මුව දඩයමෙහි යාම පිළිබඳව සඳහන් වන මහාවංස පුවතින් අපට පැහැදිලි වනුයේ බුදුදහම මෙරටට ලැබීමට පෙර ලාංකිකයන් මස්‌ අනුභව කිරීමට පෙළඹී සිටි බවකි. (ම.ව. පරි( 14, 1 ගාථාව)

නමුත් බුදුදහමෙන් ලද මනා ශික්‍ෂණයත් සමඟ බොහෝදුරට ලක්‌වැසියා මාංශ අනුභවයෙන් තරමක්‌දුරට හෝ වැලකී සිටින්නට ඇතැයි සිතිය හැකිය. නමුත් විවිධ අවස්‌ථාවන්හිදී මස්‌ මාංශ අනුභව කළ බවට මූලාශ්‍රයන්ගෙන් තොරතුරු හෙළිදරව් වේ.

මස්‌ අනුභවය සඳහා සකස්‌ කළ ආකාර කීපයකි. ගින්නෙන් පුළුස්‌සා ගැනීම මෙන්ම ව්‍යංජනයක්‌ ලෙස පිසගැනීම සිදුකර ඇත. එසේම කැඳ ආදිය රස ගැන්වීමට ද මස්‌ මාංශ භාවිත කර ඇත.

පණ්‌ඩුකාභය කුමරු දොරමඩලාවේ ජීවත්වන අවදියේ එහි ගොපල්ලන් "අඟුරෙහි පැළහු මස්‌" (අඩ්ගාර මංස) අනුභව කළ බව සඳහන්වේ. (ම.ව. පරි. 10,15 - 16 ගාථා)

අංගුත්තරනිකාය අට්‌ඨකථාවට අනුව මොනර මස්‌ (මයුර මාංස), මුව හා ඌරු මස්‌ (මිග සූකර මද්දව) හා මස්‌ (සස මාංස), කුකුළු මස්‌ (කුක්‌කුට මාංස) අනුභවය සඳහා යොදා ගත් බවට තොරතුරු ලැබේ. සීහලවත්ථුප්පකරණයෙහි මනෝරමංස කථා පුවතට අනුව භික්‍ෂූන් වහන්සේලා පවා මොනර මස්‌ ආහාරයට ගත් බව සඳහන්වේ. (සීහලවත්ථුප්පකරණය, (සි. අනු.) 14 පිටුව) සද්ධර්මාලංකාරයෙහි පූවපබ්බත වාසී තිස්‌ස ස්‌ථවිර වස්‌තුවෙහි පූගලුතිස්‌ස මහ තෙරුන්වහන්සේ හට සැමවිටම සුවඳ ගිතෙල් මුසු මොනර මස්‌ හා සමඟ රත් හැල් සාලේ බත් ලැබුණු බව සඳහන්වේ.

"...... මේ තෙරුන් වහන්සේට ඇම දවස්‌ම සුවඳගිතෙල් මුසු මොනර මස්‌ හා සමඟ රත්හැල්සාලේ බත උපදෙන්නේය ...." (සද්ධර්මාලංකාරය, 415 පිටුව)

භික්‍ෂූන් වහන්සේලාද මාංශ අනුභව කළ බවට මේ අනුව සාහිත්‍යය මූලාශ්‍රයන් මගින් පැහැදිලිවේ. සද්ධර්මාලංකාරයෙහි සාලිරාජ වස්‌තුවෙහි ඌරු මස්‌ පිළිබඳවත් ඒවා ආහාරය සඳහා සකස්‌ කරගත් ආකාර පහක්‌ පිළිබඳවත් තොරතුරු ලැබේ.

"..... තෙල්මස, මධුසම, පෙණමස, අඟුරුමස, දුරුමිරිස්‌ ආදිය බහාලන ලද සම්භාර සංයුක්‌ත යි මෙසේ පස්‌ ප්‍රකාරයකින් මාංස පිස ........" (සද්ධර්මාලංකාරය, 520 පිටුව)

මෙසේ පිළියෙල කරගත් මාංශ රහතුන් වහන්සේලා උදෙසා පිදූ බව සඳහන්වේ. මෙමගින් කි.පූ. 2 වන සියවසේදී පමණ භික්‍ෂූන්වහන්සේලා මාංශ අනුභව කළ බව පැහැදිලිවේ. එසේම 10 වන සියවසට අයත් මැදිරිගිරි ටැම් ලිපියේ සඳහන් ආකාරයට මළ එළුවන් හා කුකුළන් විහාරයට අයත් ආරෝග්‍ය ශාලාවට ලබාදිය යුතු විය.

"..... මළ එළු කුකුළන් වෙහෙර් බෙද්හලට්‌ බහාලනු කොට්‌ ......"



අග්‍රා දමයන්ති
දිවයින  21-11-2010