Author Topic: ගමේ අවුරුද්ද  (Read 7122 times)

0 Members and 1 Guest are viewing this topic.

Asha Nanayakkara

  • Guest
ගමේ අවුරුද්ද
« on: April 20, 2011, 07:03:40 PM »
Advertisement
පැරැණි සිංහල සමාජයේ පටන් පැවත එන විශිෂ්ට සංස්‌කෘතික උත්සවය වන්නේ සිංහල අවුරුදු උත්සවයයි. සූර්යයා පෘථිවිය වටා වටයක්‌ ගොස්‌ මාස දොළහක්‌ අවසානයේ මීන රාශියේ සිට නැවත මේෂ රාශියට පැමිණීම සිංහල ක්‍රමය අනුව නව වසරක්‌ ආරම්භ වීමයි. මෙම සිදුවීම සිදු වන්නේ බක්‌ මාසයේ නොහොත් භාග්‍යවන්ත මාසය වශයෙන් අප හඳුන්වන ඉංග්‍රීසි ක්‍රමයට අනුව අප්‍රේල් මාසයේය. එය සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ 12 සිට 14 අතරතුර සිදුවන බව නක්‌ශාස්‌ත්‍රඥයන්ගේ විශ්වාසයයි. අප්‍රේල් මාසය භාග්‍යවන්ත මාසයක්‌ ලෙස අප හඳුන්වන්නේ කෘෂිකාර්මික ජීවන රටාවකට උරුමකම් කියන සමාජයක නිෂ්පාදනවල බවභෝග වර්ගයන්හි අස්‌වැන්න කපා එක්‌ රැස්‌කොට අටුකොටුවල පිරවීම ආරම්භ වීම නිසයි. වි ගොවිතැනට මුල්තැන දෙන සියයට හැටක්‌ ඉක්‌මවා වෙසෙන ගොවි ජනතාවගේ භාග්‍යවන්ත මෙන්ම සිත් සතුටින් පිරි කාල පරිච්ඡේදයක ආරම්භයද අප දකින්නේ සිංහල අවුරුදු සමයෙහිය. අනතුරුව එළඹෙන වෙසක්‌ මස මෙන්ම පොසොන් මසද බොහෝ ලෙස ගත කෙරුණේ දනට පිනට මෙන්ම වන්දනා ගමන්වල යෙදීමටය. එදා පැරැණි ගම්වල සිටි නඩේ ගුරන්, අටමස්‌ථාන වන්දනාවට, සේරුවිල තිරියාය ආදී සිද්ධස්‌ථාන දැකබලා වන්දනා කිරීම පිණිස ගැමියන් සංවිධානය කොට එදා තිබූ විවෘත බස්‌වලින් සංචාර ආරම්භ කළෝය. එකල තිබුණේ "නෙල්සන් බොඩි" යනුවෙන් ජනතාව හැඳින්වූ හරස්‌ අතට වාඩිවීමට පහසුකම් තිබූ පාපුවරුවේ පවා ගමන් කළ හැකිවූ බස්‌රථය. අතරමගදී උයා පිහා කෑමට අවශ්‍ය වූ හාල්, එළවළු, පොල් වැනි දෑ සමහර අවස්‌ථාවල දර මිටි කීපයක්‌ද බසයේ වහලය උඩ දමා ඉටි රෙද්දකින් වසාගෙන යැම එකල සිරිත විය. මෙම ගමන් ක්‍රමය නිසා ගැමියා එකිනෙකා සමගින් විශ්වාසයෙන් හා ආදරයෙන් බැඳී සිටියෝය. ගමේ සමගිය, සමානාත්මතාව, අනෝන්‍ය විශ්වාසය තහවුරු විය. ආපසු ගමට ආ විට ඔවුන් විසිර ගියේ "නඩේ ගුරාට" වැඳ කළගුණ සැලකීමෙනි. නැවත ගැමියා එක්‌වන්නේ ඇසල සමයේ දළදා පෙරහැර බැලීමට සෙංකඩගල නුවර ඒමටය. බක්‌ මාසයෙන් පටන් ගන්නා ගමේ උත්සවාකාර පරිසරය නිමා වන්නේ අගෝස්‌තු මාසයේ දළදා පෙරහැර සමගය. සෑම ගමකම පිහිටි විවිධ දෙවිවරුන්ට කැපවූ දේවාලවල පෙරහැරද මේ මාසයේ පැවැත්වේ. අවුරුදු උදාවට ගම පිබිදෙන්නේ ද ස්‌වභාවධර්මයාගේ චමත්කාර මැවීම් සමගය. ගස්‌වැල් දළුලා මල් ඵල බරවී යයි. පේර, ජම්බු, නාරන්, දොඩම්, අඹ, කජු, රඹුටන් ආදී නොයෙක්‌ පලතුරුවලින් ගස්‌ බරවෙයි. කෝකිල නාදයෙන් අවුරුදු එන බව කල්තියා දන්වයි. ගහකොළ මලින් බරව ගම සුවඳවත් වේ. නොයෙක්‌ කුරුළු වර්ග මෙන්ම සංක්‍රමණික කුරුළු වර්ගද කලඑළි බැස මල්පැණි රොණින් මත් වේ. කුරුළු ගී නාදය ගම කුල්මත් කරයි. දිය කඩිති මෙන්ම ඇලදොළ ජලයෙන් පිරී යයි.

අවුරුද්දට සැරසීම

එකල සෑම ගෙයකම පාහේ බිත්තිවල හුණු ගා ගෙබිම ගොම ඇමදීම සිදු වේ. බොහෝ ගෙවල වහලයේ පිදුරු හෝ පොල් අතු අලුතින් බැඳේ. මෙම කටයුතුවලදී ශ්‍රමය ලබා දෙන්නේ අත්තමටය. කිසිවක්‌ කර කියාගත නොහැකි අසරණයන්ටද සිය කැමැත්තෙන්ම උදව් උපකාර කිරීමට ඉදිරිපත් වීම ගැමි දිවියෙහි දේව ගතියකි. අවුරුද්දට ගොයම් කැපූ පසු මුළු වෙල් යායම පිට්‌ටනියකි. අවුරුදු ක්‍රීඩා පැවැත්වීමටද පුරන් කුඹුරු යොදා ගනී, ගමේ වැවුන කොස්‌, දෙල්, බෙලි, පැපොල්, වට්‌ටක්‌කා, පුහුල් මෙන්ම වෙනත් එළවළු වර්ග ද රැගෙන උඩිස්‌පත්තුවේ ඉරිදා පොළට ගෙන යන පිරිස්‌ විය. එදා ගමේ බොහෝ ගෙවල කිතුල් පැණි, හකුරු මෙන්ම වැලි හකුරුද තිබුණි. ඩිංගිරි බණ්‌ඩාගේ ගොන් කරත්තය, බාස්‌ගේ ගොන් කරත්තය, අටුගොඩ බරබාගේ ආදී වාහන මෙම ද්‍රව්‍ය ප්‍රවාහනය කරයි. මෙම කරත්ත ප්‍රවාහන සේවය පිළිබඳව එදා මුස්‌ලිම් ජාතිකයෙක්‌ කිවූ කරත්ත කවියක්‌ මෙසේය.

අටිය වඩන අටුගොඩලගෙ කරත්තේ
නාටු ගොන්බාන බැඳලා දෙපැත්තේ
හාලූත් පිටිත් පටවා එම කරත්තේ
මරුපය දිදී අදිනවා ගංඉම පැත්තේ

සෙනසුරාදා රෑ මෙම කරත්ත පිටවෙන විට නැගෙන ගෙඡ්ජි හඬ අපට දැන්වූයේ ගමේ නිෂ්පාදන වෙළඳපොළට යන බවය. එදා මේ සියලු නිෂ්පාදනයන්ට මුදල් ලැබුණේ ශත පනහ, හැත්තෑපහ ආදී වශයෙනි. කලාතුරකින් රුපියල්වලින්ද ගෙවීම් කරයි. පොලේ පැවති මිල ගණන් අනුව ගෙවීම් කෙරේ. සවස්‌ වන විට ගමේ සිටි අලි හය දෙනෙක්‌ හුළු ගඟෙන් දිය නාවාගෙන එන්නේ එකිනෙකා පසු පසය. අලින්ට බැඳි මිණි ගෙඩිවල ශබ්දය මෙන්ම ඇත් ගොව්වන්ගේ බටලී වාදනය ගම කලාත්මක සන්ධ්‍යාවකට ගෙන යයි. මේ අලි වූයේ වේරපිටියේ අලියා, ගමගෙදර අලියා, බණ්‌ඩක්‌කා අලියා, කන්ද පහල අලියා, මොලමුරේ ඇතින්න, ලේනව ඇතින්න ආදීන්ය. එකම ගමේ හීලෑ අලි හයදෙනෙකු උදේ සවස ගමින් පිටව ගොස්‌ හවසට යළි ගමට ආපසු ඒම මොනතරම් මනස්‌කාන්ත දර්ශනයක්‌ද? එදා ගමේ හැම ගොවියකුටම පාහේ කිරි එළදෙනුන් මෙන්ම මී හරකුන්ද සිටි බව මතකය. අද තෙල්දෙණිය නව නගරය ඉදිවූ පසු ගම සම්පූර්ණයෙන්ම වෙනස්‌ නාගරීකරණයට අසුව ඇත. කුඹුරුවල ඇඟළුම් කර්මාන්ත ශාලා, රජයේ දෙපාර්තමේන්තු ගොඩනැගිලි, ඉන්ධනහල් ආදිය ඉදිව ගමේ මුහුණුවර වෙනුවට අද දක්‌නට ඇත්තේ අර්ධනාගරික සංවර්ධනයක්‌ය. ජෙľaරි පවල් ඔහුගේ "කැන්ඩියන් වෝර්ස්‌" (Kandyan wars) සහ එස්‌. ජී. පෙරේරා ඔහුගේ "හිස්‌ට්‍රි ඔෆ් සිලෝන් ෆොර්ස්‌ ස්‌කූල්ස්‌" (History of Ceylon for Schools) යන පොත්වල සඳහන් කර ඇති පරිදි 1802 ඉංගී්‍රසින්ට විරුද්ධව කළ යුද්ධයෙහි දී මේජර් ඩේවීගේ හමුදාවන්ට මුහුණදී සටන් වැදුන මේ ගමේ ආදී මුතුන් මිත්තන්ගේ පරම්පරාවලින් පැවත ආ සිංහලයන් අද ගම හැරගොස්‌ මහවැලි නව ජනපද වූ ගිරාඳුරුකෝට්‌ටේ, මැදගම, දෙහිඅත්තකණ්‌ඩිය ආදී ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇත. "ලුඡ්ජති පලුඡ්ජති විනස්‌සති පතිඨතීති ලොකො" යන ධර්මතාවට අපේ ගම ද යටත් විය. අපේ ගමේ එදා සිටියේ මුස්‌ලිම් පවුල් තුනක්‌ සහ දමිළ පවුල් දෙකකි. මෙම දමිළ පවුලක්‌ දැනට කොළඹ හෙට්‌ටිවීදියේ ප්‍රසිද්ධ රන් භාණ්‌ඩ වෙළඳ මධ්‍යස්‌ථානයක හිමිකරුවන්ය.

අවුරුදු චාරිත්‍ර

කමතේ ගොඩගසා ඇති බැතය ගෙට ගැනීමට පෙර පත්තිනි දේවාලයට වී කුරුණියක්‌ හෝ ලාහක්‌ දීම සිරිතය. පසුව වී අස්‌වැන්න කුඹුරු හිමියා හා ගොවියා අතර බෙදේ. එදා ගොවියාට අඳ ගොවියා, ඉඩම් හිමි ගොවියා කියා වචන භාවිතා නොවීය. ගොවිතැන සිදුවූයේ විශ්වාසය හා අෙන්‍යාන්‍ය බැඳීම මතය. අස්‌වැන්න වංචා කිරීම් ගැමි සමාජයේ අසන්නට පවා නොතිබුණි. අලුත් අවුරුද්දට පිසගන්නා කැවුම් කොකිස්‌, අලුවා, ආස්‌මී, වැලිතලප වැනි දේශීය රස කිවිලි මෙන්ම ගෙවත්තේ ඉදුන කෙසෙල් කැන්ද රැස්‌කර තිබේ. මේ සියල්ලම තම අසල්වැසි ඥති හිතමිතුරන් සමඟ බෙදා ගැනීම සිරිතය. කිසිම ගෙදරකට අඩුපාඩුවක්‌ නොදැනෙන සමය සිංහල අවුරුදු සමයයි. අවුද්ද ලැබීමට පෙර පරණ අවුරුද්දේ දියනෑම සිරිතය. ගැමියාගේ පළමු ගණුදෙනුවද ළිඳ සමඟය. ළිඳට පඬුරක්‌ දමා භාජනයකට ගන්නා ජලය ඊළඟ අවුරුද්ද තෙක්‌ ආරක්‌ෂා කරගෙන තැබීම සිරිතය. අද මෙන් විවිධ ශැම්පු වර්ග නොතිබූ එකල කාන්තාවන් තැම්බු දෙහි යුෂ යොදා හිස්‌ සෝදා ගනී. අලුත් ඇඳුමින් සැරසී සිටීම තවත් සිරිතකි. තම දෙමාපියන්ට අලුත් ඇඳුම් පැළඳුම් ගෙනදීම දරුවන්ගෙන් ඉටුවන චාරිත්‍රයකි. අවුරුදු ක්‍රීඩාවල අරමුණ ද ගමේ සමගිය සහ අෙන්‍යාන්‍ය විශ්වාසය තහවුරු කරගැනීමය. එළුවන් කෑම, මේවර සැඟවීම, ලුණු පැනීම ආදිය එවැනි ක්‍රීඩාය. ඔළිඳ කෙලිය, පංචි දැමීම වැනි දෙවියන් වෙනුවෙන් පවත්වන ක්‍රීඩාවන්ද ඇත. බුලත් දී දෙමාපිය, ගුරුවරු, වැඩිහිටියන්ට වැඳීමටද ගැමියා අමතක කළේ නැත. බොහෝවිට මෙය සිදුවූයේ ගමේ පන්සලට ගොස්‌ පැමිණි පසුය. පැරණි ගමේ එදා පැවති තවත් සිරිතක්‌ නම් තම ඥති මිත්‍රයින්ට කෑම වේලක්‌ ලබාදීමය. මෙය අත්තම් ක්‍රමයට එදා ගමේ සිදුවිය. සතියත් පමණ මෙසේ සිය ඥති මිත්‍රයින්ට ආගන්තුක සත්කාර කිරීම ද, එමෙන්ම තමා වෙත ආපසු එවැනි සංග්‍රහයක්‌ ලැබීම ද සිදුවේ. මේ සියල්ල එදා ගමේ පැවති ගුණ ධර්මයන්ය. සිඝ්‍රයෙන් යාන්ත්‍රීයකරණය වන සමාජයකින් චාරිත්‍ර වාරිත්‍ර ද අමතක කරදැමීමට සිදුවීම වැළැක්‌විය නොහැකි බව පෙනී යයි.





ඇස්‌.බී. කරල්ලියද්ද
Divaina 10-04-2011