Author Topic: වැසි පොදක්‌වත් පල නොගෙන මුහුදට නොයේවා !  (Read 5364 times)

0 Members and 1 Guest are viewing this topic.

Asha Nanayakkara

  • Guest
Advertisement
සොළී අධිරාජ්‍යයට යටත් වුණු ලක්‌දිව එයින් මුදා ගැනීමට අවුරුදු පනහකට වැඩි කලක්‌ කරන ලද සටන් හමුවේත් එවකට රට අභ්‍යන්තරයේ පැන නැගි අවුල් වියවුල් තත්ත්වයන් හමුවේත් වී ගොවිතැන ප්‍රධාන කොටගත් කෘෂි ආර්ථිකය පසු බැසීමට ලක්‌විය. සොළීහු ශිව භක්‌තිකයන් වූ බැවින් බුදු දහමට ඔවුන්ගෙන් පිහිටක්‌ නොවූවා පමණක්‌ නොව බුදු දහම ආශ්‍රිතව පැවැති කෘෂි ශිෂ්ටාචාරයට ද සෙතක්‌ සිදු නොවී ය. ලක්‌දිව විහාරස්‌ථාන වලට රාජා දී උතුමන් විසින් නොයෙක්‌ වර පුදන ලද විශාල ගම්බිම් දේපළවල ආදායමින් කොටසක්‌ සොළීන් අත්පත් කර ගත්හ. පොළොන්නරුව ඇතුළු මුළු ලක්‌දිව ජයගෙන විජයබාහු රජු රජරට වාරිමාර්ග විනාශ වීමෙන් හා එයින් කෙත්වතු පාළුවීමෙන් රට ධන හානියට පත්ව තිබෙනු දැක ඒ වාරි මාර්ග ප්‍රකෘතිමත් කරවා ගොවිතැන යථා ස්‌ථානයට පැමිණවීමෙන් මහත් මෙහෙයක්‌ කෙළේය.

විජයබාහු රජුගෙන් පසු රාජ්‍ය උරුමය පිළිබඳ අවුල් වියවුල් තත්ත්වයක්‌ පැන නැගිණි. ලක්‌ රජය මායා රට ද, දොළොස්‌දහස්‌ රට ද, අට දහස්‌ රට ද යනුවෙන් කොටස්‌ වලට බෙදා ගන්නා ලදී. ප්‍රබල වූ එක්‌සත් පාලනයක්‌ නැතිවීම නිසා රටේ අරාජික තත්ත්වයක්‌ හට ගැනණේ ය.

ඒ ඒ ප්‍රදේශ මායිම් අතර නිරතුරු සටන් සිදුවිය. එක්‌ එක්‌ ප්‍රදේශාධිපතියාට පක්‍ෂ වූ මැරවර දාමරිකයෝ නිතර නිතර උනුන් හා සටන් කළෝය. වටිනා ගස්‌ කොළන් කපා දමා ගම් නියම්ගම් ගිනි ලෑවෝ ය. විහාරස්‌ථානවල වස්‌තුව හා දේපළ කොල්ලකෑවෝ ය. රට වැසියාගේ ජීවිත හා දේපළ අනාරක්‍ෂිත විය. ධන උපයන්නෝ අධික ලෙස අය ගනිමින් ලක්‌දිව උක්‌යතකින් උක්‌ දණ්‌ඩක්‌ සේ මිරිකාලූහ. දිය පිරුණු වැව් ද සිඳිමින් සියලු ඇළ අමුණු ද නසමින් රට වැනසූහ.

මානාභරණ කුමරු නිසා රත්නාවලී දේවියට ලැබුණු පුත්‍රයා වූ පරාක්‍රමබාහු නමැති කුමාරයා මේ අරාජිත අවස්‌ථාවෙහි මහත් යසසින් වැඩෙන්නට වන්නේ ය. ඔහු මුළු රට එක්‌සත් කොට මෙරට බලයත් කීර්තියත් පතළ කිරීමෙහි සමත් විය. මේ වනාහි ලක්‌දිව පහළ වූ රජුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු වශයෙන් සැලකිය යුතු නරපතියෙකි. පැරකුම්බා රජු නොයෙක්‌ ශිල්පයෙහි මනා කොට පිහිටියේ ය. ධාරණ ශක්‌ති ඇත්තෙකි. මොහු අතීතයෙහි දඹදිව චන්ද්‍රගුප්ත රජුට පුරෝහිත කම් කළ චාණක්‍ය පඬිවරයාගේ දේශපාලන උපදේශ ඇතුළත් අර්ථ ශාස්‌ත්‍රීය ග්‍රන්ථය අනුගමනය කළ කෙනෙකු සේ පෙනී යයි.

සිය පියා ඇවෑමෙන් සුළු පියා ශ්‍රී වල්ලභ සමීපයෙහි ඇති දැඩි වූ පරාක්‍රම කුමරුගේ දේශපාලන ගමන් මග අති දූරදර්ශී විය. ලක්‌ රජය එක්‌සත් කිරීමේ බලවත් අපේක්‍ෂාවෙන් සිටි කුමරු තෙම සුළු පියාගේ රාජ්‍යය ඇඳා ගැනීමට ද රජරට අත්පත් කර ගැනීමට ද සැලසුම් කළේය. පසුව කීර්ති ශ්‍රී මේඝ සුළු පියා වෙතට පැමිණි පරාක්‍රමබාහු කුමරු කීර්ති ශ්‍රී මේඝ රජු පරලෝ සැපත් වුයෙන් දක්‍ෂිණ දේශයෙහි හෙවත් මායා රටෙහි රජ බවට පත්විය. මෙතැන් සිට හෙතෙම රජරට දිනා ගැනීම සඳහා යුහුව කටයුතු සම්පාදනය කෙළේය.

යුද්ධයක්‌ කිරීමට පළමු ආහාර ද්‍රව්‍ය රැස්‌කර ගත යුතු බව වටහා ගත් පරාක්‍රම කුමාරයා පස්‌ යොදුන් රට වගුරු බිම්වල ජලය බස්‌වා හැර ඒවා අස්‌වද්දන ලදී. උතුරු දිග තැනිතලාවේ එක්‌ මායිමක්‌ වන දැදුරු ඔයේ ජලය හරවා නිකවැරටිය අසල කරවූ මාගල්ලා වැව ජලයෙන් පිරවීය. මේ මගින් වන්නි හත්පත්තුව අස්‌වැද්දීමට ඔහු සමත් විය. මේ හැර අනුරාධපුර පශ්චාත් අවධියේ දක්‌නට තිබූ ගම්බද වැව් අමුණු සියල්ල ප්‍රතිසංස්‌කරණ කරවා තම විජිතයෙහි බත බුලත සුලභ කරවීය.

බත බුලත සුලභ කරවීමෙන් රට වාසීන් සුත මුදිත වනු දුටු පරාක්‍රමබාහු කුමරා රත්නපුර පෙදෙසේ මැණික්‌ පතල් කප්පවා ඒ මගින් ධනය ද රැස්‌ කර ගත්තේය. අද මෙන් එදත් යුද වියදම් සඳහා මුදල් ද අවශ්‍ය වූ හෙයිනි. පොළොන්නරුව රජකළ ගජබා රජුට සිය සොහොයුරිය විවාහ කර දී දේශපාලනමය මිත්‍රත්වයක්‌ ඇති කර ගත් පරාක්‍රම කුමරා ගජබා රජු ඇවෑමෙන් පොළොන්නරුව රාජධානිය කර ගනිමින් මුළු ලක්‌දිවට අගරජ විය.

රටේ සමෘද්ධිය හාත්පසින් ම රඳා තිබුණේ වී ගොවිතැන මත බව අනුරාධපුර අවධියේ පෙර සඳහන් කළෙමි. රජුගේ ආදායම ද ගොවිතැනින් ම ලබා ගත යුතු විය. භූමිය පිළිබඳ අයිතිය රජු සන්තක වූ හෙයින් විශේෂ ගම්වර වශයෙන් දෙන ලද ඉඩම් වලින් හැර අනිකුත් ඉඩම් වලින් බදු ගනනා ලදි. අභ්‍යන්තර යුද්ධ කෙළවර වීමත් සමග විදේශීය යුද්ධ කීපයකටම ලක්‌දිව සම්බන්ධ වූ නමුත් පරාක්‍රමබාහු රජ කල, වී ගොවිතැන අතින් මහත් දියුණුවක්‌ ඇති විය. රටෙහි බලය දියුණුවීම පිණිස ස්‌වයංපෝෂිත සුත ජනතාවක්‌ අවශ්‍ය බව පැරකුම්බා රජ තරයේ ම විශ්වාස කළේය. එහෙයින් තමා දකුණු දෙස රජ බවට පැමිණි වහාම ඒ පෙදෙසෙහි වී ගොවිතැන දියුණු කිරීම ප්‍රධාන උත්සාහය විය.

මුළු ලක්‌දිව එක්‌සත් කළ කෙණෙහිම රජුගේ ප්‍රධාන කාර්යය වුයේ අභ්‍යන්තර වියවුල් නිසා ජරාවට පත් වැව් හා වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණය කරවීමයි. ඒ සමග ජලය හිග වූ තමන්කඩ ප්‍රදේශය අස්‌වැද්දීම සඳහා අභිනව මහා වාරි කර්මාන්තයක්‌ කරවුයේ ය. ප්‍රථමයෙන් උතුරු දිග තැනිතලාව මායිම් වන දැදුරු ඔයෙන් මුහුදට ගලා ගිය ජල කඳ වී ගොවිතැන සඳහා ප්‍රයෝජනයට ගත් පැරකුම් රජු අනිත් මායිම සටහන් කරන මහවැලි ගඟෙන් මුහුදට ගලා යන ජලකඳ දිටීය.

මහවැලි ගඟේ ප්‍රධාන ශාඛාවක්‌ වු අඹන් ගඟ ඔස්‌සේ ගලා බස්‌නා ජලය වී ගොවිතැන සඳහා යෙදවීමට අදහස්‌ කොට කළුගල් තලාවලින් වැසුණු අඟමැදිල්ල නමැති තොටුපළ අසල විශාල වේල්ලක්‌ කරවා ගඟේ ජලය ආකාශ ගංගා නම් වු මහ ඇළක්‌ ඔස්‌සේ පොළොන්නරුවේ තෝපා වැවට ගලා එමට සැළැස්‌වුයේ ය. තෝපා වැව විශාල කොට දුඹුටුලු වැව හා වෙනත් වැව් කීපයකට සම්බන්ධ කළ එතුමා මේ විශාල ජලාශ සමූහයට පරාක්‍රම සමුද්‍රයෑයි නම් කෙළේ ය. මෙහි ජලය මින්නේරි වැවට බෙදා හැරීමත් අවට ප්‍රදේශයේ කෙත් වතුවලට බෙදා හැරීමත් සඳහා තවත් මහ ඇළවල් රාශියක්‌ ද රජු විසින් කරවන ලද්දේය.

මහවැලි ගඟේ ජලය එය දෙපස පිහිටි වියළි සාරවත් ප්‍රදේශයට බෙදා හැරීමත් අවට වැව්වලට ජලය සැපයීමත් පිණිස වූ මිණිපේ ඇළ නම් වූ මහා වාරි කර්මාන්තය ද පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයකි. සැතපුම් සැත්තෑවකටත් වඩා දික්‌ වූ මේ මහා ඇළ මහා කෙත් යායකට දියවර සැපයී ය. මේ හැර ඇළහැර ඇළ ඔස්‌සේ ගලා එන ජලය ඊසාන දිගින් පිහිටි කන්තලා වැව දක්‌වා බෙදා හැරීම සඳහා තවත් විශාල ඇළක්‌ ද මේ සමයෙහි කරවන ලද්දේය.

ධාතුසේන රජු විසින් කරවන ලදුව කලක්‌ මුළුල්ලේ වල්බිහිවි තිබුණු ජය ගඟ නම් වු මහ ඇළ යළිත් ප්‍රකෘතිමත් කොට කලා වැවේ ජලය අනුරාධපුරයට ලැබෙන්නට සලස්‌වා දෙපස පිහිටි බිම් පෙදෙස්‌ ද මෙකල අස්‌වද්දන ලදී. මේ මහා කර්මාන්තය හැරුණු විට ලක්‌දිව වියළි ප්‍රදේශය මුළුල්ලේ විසිර තිබුණු ලොකු කුඩා වැව් ද, ඇළවල් ද බොහෝ ගණනක්‌ පැරකුම්බා මහ රජු විසින් අලුත්වැඩියා කරවන ලද්දේය.

මායා රටේ රජු වශයෙන් සිටිය දී දැදුරුඔය හා කිඹුල්වානාඹය යන ගංගාවල ජලය හරස්‌ කොට එය රැස්‌ කරවීම පිණිස තනන ලද මාගල්ලා වැව විශේෂයෙන් සඳහන් විය යුතුය. පුත්තලමට නුදුරු තබ්බෝව වැව ද මේ සමයෙහි වඩා විශාල කොට එහි ජලයෙන් විශාල භූමි ප්‍රදේශයක්‌ අස්‌වැද්දූ බව සඳහන් වේ.

මේ මහා වාරි කර්මාන්ත හේතු කොට ගෙන රටේ සමෘද්ධිය වැඩි දියුණු වූ බව පැහැදිලි ය. එය පොදු ජනයාගේ ප්‍රධාන ජීවනෝපායත්, ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ වී ගොවිතැන වූ හෙයින් රටේ ජාතික ධනය දියුණු කරලීමෙහිලා වාරි කර්මාන්ත බොහෝ සෙයින් අදාළ වූ බව සිතාගත හැක. මේ මහා වාරි කර්මාන්ත ඉතා ලෙහෙසියෙන් විනාශ විය හැකිය. නිරතුරු ඒවායේ නඩත්තුව සඳහා කම්කරුවන් හා උපදේශකයන් ද විශාල ගණනක්‌ වුවමනා ය. පරසතුරන් විසින් මේ වාරි කර්මාන්ත විනාශ කරනු ලැබීම සුළභ සිද්ධියක්‌ වුයේ ය. වරක්‌ විනාශ කරනු ලැබූ පසු ඒවා ලෙහෙසියෙන් අලුත්වැඩියා කළ හැකි නොවීය.

දුර දක්‌නා නුවණින් යුත් ප්‍රබල රජුන් නැති වු පසු වාරි කර්මාන්තය ද විනාශයට භාජන විය. පරාක්‍රමබාහු රජුගෙන් පසු ප්‍රබල නරවරයෙකු නොවූ හෙයින් මේ මහා කර්මාන්ත ජරාවට පත්විය. එහෙයින් කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසු මේසා සමෘද්ධියට පත්ව තිබුණු තමන්කඩ හා නුවර කලාවිය යන පෙදෙස්‌ මුඩුබිම් බවට පත්ව මහ වනයෙන් වැසී ගියේය. රජරට මහා කෙත්යාය මහ වනයෙන් වැසී යැම අතිශයින් අභාග්‍ය වෘතාන්තයකි.




එස්‌.ඩී. කන්නන්ගර
Divaina 24-04-2011