Author Topic: ඇසු නොඇසු ජනකවි දුටුනොදුටු ඇසින්  (Read 13936 times)

0 Members and 1 Guest are viewing this topic.

Asha Nanayakkara

  • Guest
Advertisement
මලේ රුවට මලවට කෙළින බමරියේ - සිව්පද උපත අහපන් භූම දේවියේ

ජනකවිය අප රටේ ඉතා ජනප්‍රිය ජනශ්‍රැතිය වේ. අප අතර දැනට භාවිත වන ජනකවිවල ආරම්භය කවදා කෙසේ ඇති වූවක්‌ දැයි ස්‌ථිර වශයෙන් කිව නොහැකිය. එබැවින් ජනශ්‍රැතිවේදීහු මේ පිළිබඳව නිහඬතාවක්‌ දැක්‌වූහ.

සිංහල කවියේ ආරම්භය දෙස විමසා බලනවිට ශාස්‌ත්‍රීය ග්‍රන්ථකාරණයෙන් නොහොත් ලේඛනයෙන් නිමවුණු පණ්‌ඩිත කවියට වඩා ජනකවිය ඉපැරණි යයි විශ්වාස කරනු ලැබේ. උගත් සාහිත්‍යයක්‌ පහළවීමට පෙර ජනකවිය සහ ජනකතා පහළවීම ස්‌වභාවික බවට විචාරකයෝ ඒකමතිකව වෙති.

විශේෂයෙන් සිංහල කවියේ ඉතිහාසය විමසන්නෙකුට පෙනී යන්නේ පොත පතේ ලේඛන ගතව ආ ශාස්‌ත්‍රීය කවියට වඩා කටින් කට ජනශ්‍රැතියේ ආ ජනකවිය පුරාණවන බවය. උගතුන්ගේ නිර්මාණයක්‌ වූ ශාස්‌ත්‍රිය කවි, පොත පතේම රැඳිණ. ජනකවිය රැදුණේ සහ රැකුණේ පිටිසර පාරම්පරික ගැමියන්ගේ මුඛ වහරෙහිය. අප විසින් එය ජනශ්‍රැතිය නමින් හඳුන්වනු ලැබේ.

එළිසම සිව් පදයේ ආරම්භකයා ජනකවියා වෙයි. සිව්පද (ජනකවිය) උපත දෙවියන්ගෙන් ලැබුණු වරමක්‌ද දී සියල්ලම දෙවියන් විසින් මවන ලදැයි යන පාරම්පරික උපන් කතා ජනකවියටද ආදේශ වී ඇත්තේය.

1. ඉරේ කොනට වැන්දා ඔන්න ගිරවියේ
සඳේ කොනට වැන්දා ඔන්න සාවියේ
මලේ කොනට වැන්දා ඔන්න බමරියේ
සිව්පද උපත අහපන් භූම දේවියේ

ඒ ජනකවියා සිව්පද වරම් අපේක්‌ෂා කරන්නේ මිහිකත් දෙවියන් (භූමදේවී) ගෙනි. එසේ වරම් ලබන ජනකවියා සිව්පද ඉදිරිපත් කරන්නේ මිහිකත් දෙවියන්ටමය.

2 ඉරේ රුවට ඉරවට කෙළින ගිරවියේ
සඳේ රුවට සඳවට කෙළින සාවියේ
මලේ රුවට මලවට කෙළින බමරියේ
සිව්පද උපත අහපන් භූම දේවියේ

සිව්පද උපත යන වදන ජනකවියා ගේ මුවින්ම ගිලිහුණු අවස්‌ථාවකි මේ. සිව්පද උපත නොහොත් ජනකවි උපත සොයන්නටත් ජනකවියා විසින්ම සමච්චලයට ලක්‌කළ අවස්‌ථා ජනකවියෙන්ම හෙළිවේ.

3. අහස උපන් තැන සකි නුඹ දන්නවද
පොළව උපන් තැන සකි නුඹ දන්නවද
මුහුද උපන් තැන සකි නුඹ දන්නවද
සිව්පද උපන් තැන සකි නුඹ දන්නවද

ජනකවියකු විසින්ම නගනු ලැබූ පැනයට තවත් ජනකවියෙකුගෙන් ලැබුණු පිළිතුරක්‌ වූයේ ජනකවිය වීණාවෙන් උපන් බවයි.

4. අහස උපන් නේ අස්‌විදයෙන් නොවෙද
පොළව උපන්නේ පුවපුට නොවෙද
මුහුද උපන්නේ මුව සිරියෙන් නොවෙද
සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද

වීණාව පන්සිළු (පඤචසිඛ) ගේ නිර්මාණයක්‌ ලෙස සැලකේ. වීණාවෙන් සත්සර නද පැතිරෙන බැවින් ගීත රාවයෙන් යුත් සිව්පදයද වීණාවෙන්ම උපදින්නට ඇතැයි ඒ ජනකවියා විශ්වාස කළේය. ඒ අනුව ජනකවිය ද පන්සිළු සේම නිර්මාණක්‌ වූයෙන් සිව්පද උපතට දේවත්වය ආරෝපණය විය. තවත් ජනකවියෙකුගේ විශ්වාසය ද එයම විය.

5. ගාල සක්‌වලේ වැසි පවනේ දෙවිදා
දහසක්‌ විලේ හැම දෙවියෝ එක්‌ වුනදා
නාද කෙළේ පන්සික වීණාව සදා
සීපද මුලේ වීණාවෙන් උපනි එදා

මෙසේ ජන කවියෙන්ම අනාවරණය වන ආකාරයට ජනකවියේ උපත දෙවියන්ටම භාරකොට නිහඬ වී සිටිය හැකිද?

ජනකවිය පොදු ජන නිර්මාණයකි. එහි උපත සියවස්‌ කිහිපයකට පෙර ජනතාව අතින්ම සිදුවූවකි.

බොහෝ විට එක්‌ කෙනෙක්‌, දෙදෙනෙක්‌, තිදෙනෙක්‌, සිව් දෙනෙක්‌ හෝ පිරිසක්‌ මුල්වී ජනකවියේ උපත පිණිස හවුල් වූ ආකාරය, ජනකවියෙන්ම හඳුනාගැනීමට එතරම් අසීරු නොවේ.

හේනේ පැලේ පැල් රකින්නෙක්‌ අසළ පැලේ පැල් රකින්නා සමග සමීප සබඳතාව තහවුරුකරගත් මාධ්‍යය වූයේ ජනකවියයි.

පද සතරක්‌ ගොතා ගතහැකි තැනැත්තා සිව්පද කියන්නට සමතෙක්‌ වරෙල්ලා යනුවෙන් අනෙකාට ආරාධනා කළේ තමන්ගේ මහන්තත්ත්වය පෙන්වීමටද? අනෙකාටද අභිප්‍රේරණය පිණිස පොළඹවා ගැනීම පිණිසය.

6. ඉර වරිවරි ඉර වරිවරි වලල්ලා
සඳ වරිවරි සඳ වරිවරි වලල්ලා
මල වරිවරි මල වරිවරි වලල්ලා
සිව්පද කියන්නට සමතෙක්‌ වරෙල්ලා

මුල් පද කිහිපයේ අරුතට වඩා ඇත්තේ ජනකවියාට ආවේණික සාම්ප්‍රදායික රිද්මය නොහොත් නාද රටාවයි. සන්නිවේදනාර්ථය සහ අභිප්‍රෙAරණය රැදුණේ අවසාන පදය තුළය. ඒ අනෙකාට කෙරෙන ආරාධනාවයි. අසන්නාද ඊට සාම්ප්‍රදායික රිද්මය ම යොදාගනිමින් ඔහුගේ සිතිවිලි අවදි කළේ මෙසේය. මුල් කවියේ වචන කිsහිපයම යොදාගනිමින් ඊට පිළිතුරු සැපයීමට අවස්‌ථා සමත් වේ.

7. ඉර වරිවරි ඉර වරිවරි වළලු නැතී
සඳ වරිවරි සඳ වරිවරි වළලු නැතී
මල වරිවරි මල වරිවරි වළලු නැතී
සිව්පද කියන්නට සමතෙක්‌ මෙහේ නැතී

සිව්පද කියන්නට සමතෙක්‌ නැති බව ඔහු සිව්පදයකින්ම ප්‍රකාශ කළේ, තමන්ගේ පුළුවන්කම අනෙකාට ද වනිත කරවමිනි.

තමන් ඇසූ දුටු පුවතක්‌ අනෙකා ඇසූ නොඇසු ආකාරයෙන් සන්නිවේදනය කිරීමේ අරුතිත් එක්‌ පුද්ගලයකු අතින් මෙවැනි ජනකවියක්‌ නිර්මාණය විය හැකිය.

8. අම්බලමේ පිනා
වළං කඳක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
ඒකට මට හිනා

මේ ඒ සඳහා ඉතා සරල නිදසුනකි. ජනකවියා ඉතා කෙටි සරළ වදන් කිහිපයකින් දිගු කතාවක්‌ අපට කියයි. ජනකවියා කියන කතාව රූපවාචකය දෘෂ්ටි ගෝචරය. ඇසෙන දෙය සමග පෙනෙන දෙයක්‌ ද ඇත. එය අපට පෙනෙන සේ, අප ඉදිරියේ දීම සිදුවූවක්‌ බවට අද්දැකීමක්‌ද අප තුළ ඇතිකරවයි. එය චිත්‍රයට නැගුණු අවස්‌ථාද අප දැක තිබේ. පද කීපය ඇසූ පමණින්ම අපටද එය චිත්‍රණය කළ හැකි සේය.

මේ සිද්ධිය ජනකවි ඉදිරිපත් කරන්නේ ජංගම ස්‌වරයකිනි. නාෙට්‍යාaචිත අවස්‌ථා මවමින්. එකම මොහොතේදී සියල්ලම සජීවී ලෙස සිදුවන ආකාරය අපට පෙනෙන සේය. ඒ සඳහා කවියා උපයෝගිකරගත්තේ කදිම රිද්මයකි.

එළිසමයේ එන "පිනා ගොනා ගොනා හිනා යන වචන සතර දිත්ව කිරීමෙන් ඒ රිද්මය නැගේ. අර්ථය සමග

රැඳුණු ශ්‍රැතිය වස්‌තුවට උචිතය. අර්ථ රසය, ශබ්ද රසයෙන් උද්දීපනය වන ආකාරය පිළිබඳ හැඟීමක්‌ ජනකවියා තුළ තිබුණිද?

අම්බලමේ පිනා පිනා
වළං කදක්‌ ගෙනා ගෙනා
ඒක බිඳපු ගොනා ගොනා
එකට මට හිනා හිනා

ජනකවියාට මෙන්ම අසන්නාටද විශේෂයෙන් මෙය අසන කුඩා දරුවන්ටද මේ සිද්ධිය සිනා පහළ වන පුවතකි.

එහෙත් මේ ජනකවියා සංසාරය දෙස බලා ඇත්තේ බෞද්ධ මනෝවිද්‍යාත්මක චින්තාවකිනි.

වළං කදක්‌ උසුලාගෙන ආ පිනා මඳ විවේකයක්‌ සඳහා අම්බලමක රැඳේ. ඔහු බලාපොරොත්තු නොවූ පරිදි අසල සිටි ගොනෙක්‌ වළං කද වෙත දිවවිත් ඒ වළං පොඩිකර බිඳ දැමුවේ උගේ ගොංකමටය. පිනා ගේ පවටය. මේ අවස්‌ථාවේදී පිනාට ඉමහත් දුක්‌ වේදනාවක්‌ ඇති වුවත් ඒ සිද්ධිය දුටු තැනැත්තා ඉන් ලැබුවේ සතුටකි.

කෙනකුට විපතක්‌ සිදුවූ විට ඒ දෙස බලා සිටින්නා සතුටට පත්විය යුතුද ජන කවියා අනුන්ගේ විපතේදී සතුටුවන්නෙත් පත් නොවේ. දුක ඇතිවූ පුද්ගලයා සමග ඒ දුක බෙදා හදා ගන්නා තැනැත්තෙකි.

ඉහත කී පැනය ජනකවියාගෙන් ඇසිය යුතු එකකි. ජනකවියාට එය සාධාරණීකරණය කළ නොහැකිය. එහෙත් ජනකවියා එම කවිපදයෙන් අර්ථ දෙකක්‌ ගෙනහැර දැක්‌වීමට සමත්විය.

වාච්‍යාර්ථය ඉක්‌මවූ වනිතාර්ථයක්‌ද එහි ඇත. එය වනිතාර්ථය යනුවෙන් හැඳින්වීමට වඩා එහි අර්ථ දෙකක්‌ම දැක්‌වෙන බැවින් උභය භාෂා අලංකාරය යනුවෙන් හැඳින්වීම වඩාත් සාධාරණය.

සිදත් සඟරාවේ ඉෂ්ටානිෂ්ට අධිකාරියේ උභය භාෂා අටකාරය යටතේ දැක්‌වෙන්නේ එක්‌ කවියක දැක්‌වෙන වචන මගින් අර්ථ දෙකක්‌ දැක්‌වෙන ආකාරයයි. ජනකවියා ඒ දැනුම ලැබුවේ සිදත් සඟරා අධ්‍යාපනයෙන් නොවේ. ජීවන තක්‌සලාවෙන් ලත් පාරම්පරික ඥනයෙනි. ජනකවියාගේ පාරම්පරික ඥනය දහම් ගැටයක්‌ දක්‌වා උභය භාෂා අලංකාරයෙන් පෝෂණය වන ආකාරය ඉහත කී (9) ජනකවියෙන් හෙළිවේ.

එහි කියෑවෙන අම්බලම යනු අනෙකක්‌ නොව (එක්‌ අර්ථයකින්) ලෝක සත්වයා සසර දුක ගෙවන මේ කාමලෝකය පිළිබඳ සංකේතයකි. පිනා - යනු ඒ දුකට පාත්‍ර වූ සියලු සත්ත්වයන් නියෝජනය කරන සංකේතයයි. වළං කඳ යනු සත්වයා විසින් සසරපුරා ගෙන ඇවිදිනු ලබන රාග- දේස - මෝහ යනාදි දුක්‌ කරදර පිsළිබඳ සංකේතයයි. චතුරාර්ය සත්‍යය මගින් මේ දුක්‌ ගිනි සියල්ල නිවා නිවන් මඟ අවබෝධකරගනු පිණිස මාර්ගය පෙන්වා දුන් ගො} ගෞතම, නා} නායක වූ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ බව උභය භාෂා අලංකාරයෙන් යුත් දහම් ගැටයක්‌ ලෙසද මෙය හඳුනාගැනීම අපහසු නොවේ.




කලාසූරී නෝමන් සිරිපාල
Divaina 22-05-2011

Asha Nanayakkara

  • Guest
දස අත පිලය කීවේ රඹ ගස නොවෙද - කඳ මැද බදා ඉන්නේ රඹ කැනනොවෙද

ජන කවියේ උපත පිළිබඳව සඳහන් කළ අවස්‌ථාවේදී එක්‌ කෙනකුගේ දෙදෙනකුගේ තිදෙනකුගේ හෝ සිව්දෙනකුගේ එකතුවෙන් ද නැතහොත් කිසියම් පිරිසකගේ එකතුවෙන් ද ජන කවියක්‌ නිර්මාණය විය හැකි බව කලින් සඳහන් කළෙමි. තනි පුද්ගලයකු අතින් ජන කවියක්‌ නිර්මාණය වන්නේ මෙලෙසිනි.

මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කවිකාර මඩුව භාරව සිටි ඇමැතිවරයා, දක්‍ෂ කවියෙක්‌ නොවීය. කවිකාර මඩුවේ සෙසු අය අතර ඉතා දක්‍ෂයෝ වූහ. දක්‍ෂ කවියෝ ඇමැතිගේ නොදැනුවත්කම පෙන්වා, රාජ උදහසට ලක්‌ කිරීම පිණිස කුමන්ත්‍රණය කළහ. මෙම ඇමැතියා ලවා රජතුමාගේ ගුණ වර්ණනා කොට, ඒකස්‌වර සිව්පදයක්‌ පද බන්දවා, රාජ සභාව ඉදිරියේදී ඔහු ලවාම ගායනා කරවීමට සැලැස්‌වීම එම කුමන්ත්‍රණයේ අරමුණයි. කවිකාර මඩුවේ කිහිපදෙනෙක්‌ එක්‌ වී කෙසේ හෝ මේ කාරණයට රජතුමාගේ අවධානය යොමුකරවා ගත්හ.

ඒකස්‌වර කවියක්‌ පද බැඳ, රාජ සභාවේදී ගායනා කරන ලෙස ඇමැතිවරයාට රජතුමාගෙන් අණ ලැබිණ. මෙම නියෝගයෙන් බියට පත් වූ ඇමැතිවරයා එදිනම තල්පතක්‌ හා පන්හිඳක්‌ රැගෙන රාජකීය වෙල්යායට ගොස්‌ කවියක්‌ පද බැඳීමට වෙහෙස දැරුවේය.

ගොයම් කපා, ඉපනැල්ල පමණක්‌ ඉතිරිව තිබූ, වෙල්යාය දෙස බලා සිටීමෙන් ඔහුට කවි සිතිවිලි කිසිවක්‌ පහළ නොවීය. ඇමැතිවරයා ගේ නෙත ගැටුණේ වෙල් යාය මැද පිහිටි ගලකට ළං වී එහි කර අතුල්ල අතුල්ලා සිටි ගවයෙක්‌ දෙස පමණි. වෙල්යාය පුරාම විශේෂත්වයකට දුටුවේ එපමණකි.

ඔහු පන්හිඳ හා තල්පත අතැතිව නියර මත හිඳ ගත්තේය. දණ හිස මත තල්පත තබා, වෙල්ලයාය පුරා ඇති අවට පරිසරයේ සිරි නැරැඹුවේය. එහි කිසි චමත්කාරයක්‌ හෝ අපූර්වත්වයක්‌ නොදුටු ඔහුගේ සිත ගවයාගේ කාර්යය දෙසටම යොමුවිය.

"කරගල ගගා එනවා මම නොදනිම්ද" යන පදය තල්පතේ ලියා ගත්තේය. එදින ඇඳිරි වැටීගෙන එන තෙක්‌ම ඔහු අතින් ලියෑවුණේ එපමණකි.

ඇමැතිවරයා පසුදින රාජ සභාවට පිවිසියේ ඉමහත් භීතියකිනි. සිය ඒකස්‌වර පබැඳුම රාජ සභාවට ඉදිරිපත් කරන ලෙස රජතුමා ඇමැතිවරයාට අණ කළේය.

ඔහු වෙල්යායේදී තල්පතේ ලියා ගත් පදය බලා එකම පදය සිව්වරක්‌ ගායනා කිරීමෙන් සිව්පදය සම්පූර්ණ කළේය. ඉතා නිසොල්මන් රාජ සභාව තුළදී, ඇමැතිවරයාගේ මුවින් ගිලිහුණු ඉතා උස්‌ මිහිරි ස්‌වරයෙන් මුළු රාජ සභාවම කුල්මත් විය. කවිකාර මඩුව සහ රජතුමා නිරුත්තර වූහ. ගායනය අවසන් වීමෙන් පසුව නැගුණ විශාල අත්පොළසන් නදට රජතුමා ද එක්‌වූහ. එහි අරුත් විමසීමට කිsසිවෙක්‌ ඉදිරිපත් නොවීය.

ඇමැතිවරයාගෙන් නිර්මාණය වුණු ජන කවිය මෙසේය.

කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද?

ගායනය අවසානයේදී ඔහුට මහ ඇමැති ධුරය ද, ගම්වර කිහිපයක්‌ ද ලැබී කවිකාර මඩුවේ කුමන්ත්‍රණය පරාජයට පත්විය. මෙසේ තනි පුද්ගලයකු අතින් නිර්මාණය වන ජන කවියක්‌, ජනශ්‍රැතියට එක්‌වන්නේ එය කටින් කට පැතිර යැමෙනි. එය කටින් කට ගොස්‌ සුදුසු පරිදි නැවත නැවත සකස්‌ වෙමින් ගැමියන්ගේ මතකයේ රැඳෙයි.

එකී ජන කවිය අර්ථ රසයෙන් තොර ය. ශබ්ද රසයෙන් තරය. (විස්‌තර සඳහා - ජනකවි ආශ්‍රිත ජනකතා - නෝමන් සිරිපාල, 2006 - දෙවන මුද්‍රණය)

දෙදෙනෙක්‌ අතින් බොහෝ විට නිර්මාණය වන්නේ තේරවිලි කවියකි. (විස්‌තර සඳහා - සිංහල තේරවිලි සිව්පද - නෝමන් සිරිපාල - 2000) ඉන් හෙළිවන්නේ බොහෝ විට තම පරිසරය හා බද්ධ වූ දෙයකි. පළමුව තේරවිල්ලය, දෙවැනිව පිළිතුරය.

සිය සගයා සමඟ බුලත් විටක්‌ හපමින් තම ගෙවත්තේ කෙසෙල් පඳුර දෙස බැලූ මේ තැනැත්තාගේ සිතේ පහළ වූයේ කදිම තේරවිල්ලකි. එය කවියට නැගීමට ඔහුට හැකි වූයේ කෙසේද? පරිසරය විසින් ලබාදෙනු ලැබූ පාරම්පරික ඥානයෙනි.

මොනරෙක්‌ සිටී දස අත පිල් විදාගෙන
කොකෙක්‌ සිටී කඳ මැද්දෙන් බදාගෙන
ගෙඩි කති ලෙලි නොකති හැම දෙන බෙදාගෙන
මෙතුන් පදේ තෝරා පවසන් සැණින

ජන කවියා සෞන්දර්යයේ චමත්කාරය විඳගත් ආකාරය ඉන් හෙළිවේ. ඔහු කෙසෙල් ගස දුටුවේ දස අත පිල් විදහාගත් මොනරකු සේ ය. කෙසෙල් කැන දුටුවේ කඳ මැද බදාගෙන සිටින කෙකක්‌ මෙනි. "ගෙඩි කති, ලෙලි නොකති" යන්නෙන් තේරුම මඳක්‌ අනාවරණය වේ. ගැමි සමාජයේ වැදගත් සාරධර්මයක්‌a ද ඉන් හෙළිවෙයි. "ගෙඩි කති හැම දෙන බෙදාගෙන" ගැමි සමාජයේ පවත්නා සැම දෙනා අතර බෙදා හදාගෙන කෑමේ සිරිත අමතක කළ නොහැකි විය.

සගයාට ඊට වාචිකව පිළිතුරු දිය හැකි වුවද, කවියකින් ම පිළිතුරු දීමට උත්සාහ කළ බැවින් තවත් ජන කවියක්‌ නිර්මාණය වූයේ මෙසේය.

දස අත පිලය කීවේ රඹ ගස නොවෙද
කඳ මැද බදා ඉන්නේ රඹ කැන නොවෙද
ලෙලි හැර කෙසෙල් ගෙඩි සැම කනවා නොවෙද
මෙතුන් පදේ තේරුවෙ නැණයෙන් නොවෙද

එය අප අතට පත් වූයේ කටින් කට ගොස්‌ ජනශ්‍රැතියට එක්‌වීමෙනි.

තිදෙනෙක්‌ අතින්ද ජන කවියක්‌ නිර්මාණය විය හැකිය.

දිනක්‌ මිතුරෝ දෙදෙනෙක්‌ තලමලක්‌ දැක කවියක්‌ ගෙතීමට උත්සාහයක්‌ දැරූහ. ඔවුන් දෙදෙනාට ගළපාගත හැකි වූයේ පද දෙකක්‌ පමණි. ඔවුන් කවියට ආධුනිකයන් වූ ආකාරය ඔවුන් කී පද දෙකින්ම අනාවරණය වේ. එම උත්සාහය සාර්ථක වූයේ තුන්වැන්නකුගේ සහායෙනි. ඉතිරි දෙපදය සම්පූර්ණ කරනු ලැබුවේ දෙපදය අසා සිටි තුන්වැන්නා විසිනි. ඔහු ද ආධුනිකයෙකි.

එගොඩ ගොඩේ තලමලකුත් පිපිඡ්ජා
මෙගොඩ ගොඩට ඒ තලමල පෙනෙඡ්ජා
පළමු පදය කිව්වේ අප්පු වඡ්ජා
දෙවන පදය කිව්වේ උගෙ හුවඡ්ජා

තලමල් වරුණේ කවි බොහොමයක්‌ පද බැඳුණේ මෙවැනි උත්සාහයන්ගෙනි. ඒවා බොහොමයක්‌ අර්ථ රසයෙන් තොරය. (විස්‌තර සඳහා තලමල් කවි සමාජය - නෝමන් සිරිපාල - 1997)

සිව්දෙනකුගේ සහායෙන් ද එක්‌ ජන කවියක්‌ නිර්මාණය වන අවස්‌ථා විරල නොවේ.

මේ එක්‌තරා ගැමි ගෙදරක සිදුවීමකි. පියා උදැල්ලේ මිට ගසමින් මිදුලේ සිටියේය. මව ළිප මත තිබූ බත් හැළියේ වතුර සිඳී ඇද්දැයි බලමින් සිටියාය. දියණිය සිටියේ පොල් ගාමිනි. මේ අවස්‌ථාවේදී ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයෙක්‌ ඒ ගෙදරට පැමිණියේය. ඔහු කාත් කවුරුත් නැති ඉඳුම් හිටුම් නැති අසරණ පුද්ගලයෙකි. උදැසනට, දවාලට හා රාත්‍රියට ඔහු ආහාර සපයා ගන්නේ ගෙන් ගෙට යැමෙනි. මේ ගෙදර ඇත්තන්ට ඔහු හොඳට හුරු පුරුදුය. ඔහුට ද එසේය. ඔහු එදා එම නිවසේ මිදුලට ගොඩ උනේ "මුන්නැහෙ උදැල්ලේ මිට ගහනවා වාගෙයි" කියමිනි. නිරුත්තර වූ ගමරාළ තමන්ගේ කාරිය නොනවත්වාම කරගෙන ගියේය.

ගමරාළගෙන් පිළිතුරක්‌ නොලත් වැඩිහිටි තැනැත්තා "ගමමහගෙ බත පිසිනව වාගෙයි" කියමින් ගෙට ගොඩවිය. ඇය ද නිරුත්තරව තමා කරගෙන ගිය කාරිය එලෙසම කරගෙන ගියාය. ඒ දෙදෙනාගෙන්ම කතාබහක්‌ නොලත් මේ තැනැත්තා පසුව දියණිය ළඟට ගොස්‌ "පොඩි දැරිවි පොල් ගානවා වාගෙයි" කීවේය. ඇය ද නිරුත්තර වූවාය. වෙනදා ඒ තැනැත්තා සමඟ කතාබහට එක්‌වන ඒ තිදෙනාම මෙදා නිහඬ වූහ.

දැන් මේ නිවසේ සිව්දෙනෙක්‌ සිටිතත් ඒ සිව්දෙනා අතර කිසිම කතාබහක්‌ නැත. ගෙදර උන් තිදෙනාම තවමත් තම තමන් කරගෙන ගිය කාරියේම නිරත වී සිටිති. වැඩිහිටි පුද්ගලයා තිදෙනාගේම මුහුණු දෙස බලමින්, මඳ වේලාවක්‌ එහි රැඳී සිට, හැරමිටිය අතට ගෙන මිදුලට බැස ආපසු යන්නට ගියේය. ඔහු ගම ගෙදරට පෙනෙන නොපෙනන මානයේ වූ කෙසෙල් පඳුරකට මුවා වී ගම ගෙදර ඇත්තන්ගේ කතාබහට කන් දීගෙන හැංගී සිටියේය.

ඉන්පසු අම්මා සහ දියණිය තාත්තා සිටි තැනට ළං වූහ. තාත්තා පළමුව දොඩමළු විය. ඔහු තම හැඟීම් ප්‍රකාශ කළේ කවි පදයකිනි.

"ගැහුව මිටත් නොගැහු ලෙසට නරකද මං ගැහුවා" යනුවෙන් තාත්තා කවි පදයක්‌ කියා අවසන් වන විටම

"ඉව්ව බතත් නොඉව් ලෙසට නරකද මං ඉව්වා" යනුවෙන් අම්මා දෙවැනි පදය කීවේය.

"ගෑව පොලුත් නොගෑ ලෙසට නරකද මං ගෑවා"

යනුවෙන් දියණිය තෙවැනි පදය කීවාය. ඉන් කෙනෙක්‌ සිව්වන පදය කීමට පෙර ගේ අසල කෙසෙල් පඳුරට මුවා වී උන් වැඩිහිටි තැනැත්තා හැරමිටිය ඇන ඇන ඉතා ඉක්‌මනින් ඔවුන් තිදෙනා ඉදිරියට පැමිණ මෙසේ කීවේය.

"ගිය ගමනත් නොගිය ලෙසට නරකද මං ආවා" යනුවෙන් ඒ අයුරින් ඊට සිව්වැනි පදයක්‌ ද එක්‌විය. මෙසේ සිව්දෙනකුගේ එකතුවෙන් නිර්මාණය වූ ජන කවිය මෙසේය.

ගැහුව මිටත් නොගැහු ලෙසට නරකද මං ගැහුවා
ඉව්ව බතත් නොඉවු ලෙසට නරකද මං ඉවුවා
ගෑව පොලුත් නොගෑ ලෙසට නරකද මම ගෑවා
ගිය ගමනත් නොගිය ලෙසට නරකද මං ආවා

ගැමි නැටුම් ආශ්‍රිත බොහෝ ජන කවි පිරිසක්‌ එක්‌වීමෙන් නිර්මාණය වූ ඒවා වේ.





කලාසූරී
නෝමන් සිරිපාල
Divaina 29-05-2011

Offline Asha_Nanayakkara

  • Kiri-Kodu
  • *
  • Posts: 14
    • View Profile
    • Email
දරු නැළවිලි ගී

දරු නැළවිලි ගී - දරුවා නැළවීමට පමණක්‌ නොව දරුවාගේ සමාජානුයෝජනයට ද රුකුල් දෙන්නකි. සමාජානුයෝජනය යනුවෙන් අදහස්‌ කරන්නේ දරුවා නිවසේදී නිවසේ අනෙක්‌ සාමාජිකයන්ගේ කතාබහට හා ක්‍රියාකාරකම් වලට එක්‌වීමෙන් ලබන පාරම්පරික ඥනයයි.

දැනට ශේෂව තිබෙන බොහෝ දරු නැළවිලි ගී අනාදිමත් කාලයකට පෙර සිට, මුඛ පරම්පරාගතව ජනශ්‍රැතියේ පැවැත එන ඒවා වේ.

දරු නැළවිලි ගීයට නැගුණේ ගැමි ජීවිතයේ සුන්දරත්වයයි. ගැමි ජීවිතය අගගිඟකම් වලින්ද දුක්‌ කම්කටොළු වලින්ද ගහනවේ. සුන්දර පරිසරය තුළ ඒ සියල්ල ජය ගැනීමට ගැමියාට හැකිවිය.

අම්මා ගෙදර නැති විට බාල දරුවා භාරගන්නේ වැඩිහිටි පුතා හෝ දුවය. නැතහොත් පුංචි අම්මා හෝ ලොකු අම්මාය. නැතහොත් මාමාය. මාමාටත් කිරි එරෙනවා. යන පිරුලක්‌ උපන්නේ මාමා ඒ කාර්යයෙහි නිරතවූවකු බැවිනි.

උකුලේ හොවාගත් දරුවාට කුමක්‌ හෝ කවියක්‌ ගොතා කිවයුතුය. ඒ කාරිය ගෙදර ඇත්තන්ට හුරු පුරුදු වූයේ නිරායාසයෙනි. ඒ හැකියාව හැම දෙනා අතරම පැවැතුනි. දරුවාගේ මුහුණ දෙස බලමින්

44. උඹෙ අම්මා කිරට ගියා
කිරි දොගෙන එන්ට ගියා
කිරි මුට්‌ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් ගලා ගියා
ඒ පාරේ කොක්‌කු ගියා
කොක්‌කු කලේ කිරි බිව්වා

(තවත් කවි රැසක්‌ - ජනකවි සරණිය - 1 තෙවන මුද්‍රණය - නෝමන් සිරිපාල - 2004)

තවත් දරු නැළැවිල්ලකදී දරුවාගෙන් පැනයක්‌ අසන අතර ඊට පිළිතුරු දීම දරු නැළැවිල්ලේ සිරිතයි. දරුවාට අම්මා යන වචනය පමණක්‌ පුරුදුය. දර කඩන්න ගියා - පන් උදුරන්ට ගියා, යන කියමන් දරුවාට නොතේරේ. දරුවා ඒ ශබ්ද රටාව ඔස්‌සේ දරු නැළවිලි ගී ගයන්නා සමඟ ඒකාත්ම්ක වේ.

දරුවා ඒකාත්මික වනවිට, දරු නැළවිලි ගීතය, තවත් පියවරකින් දෙකකින් ඉදිරියට ගලා යයි.

45. අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගස කිනේ

දරට ගිය හෝ පනට ගිය අම්මාට දරුවා අමතක නොවන බව නළවන්නා දනී. අම්මා ආපහු එන්නේ දරුවාටත් කුමක්‌ හෝ රැගෙනය. එම ගීයට අනුව ඉදුණු වෙරළු දොaතක්‌ රැගෙනය. නිවසට අවශ්‍ය වෙනත් දේවල්ද ඒ ගමනේ දීම සපයා ගැනේ. දුටු නොදුටු තැනදී නෙළාගත් පලා කොළවලින් ඉන රෙද්ද පිරී ගොසිනි.

අපගේ ස්‌වයංපෝෂිත යෑපුම් මට්‌ටමේ පැවැති ගැමි ආර්ථික රටාව බටහිර ජාතීන්ගේ පාලනයට ලක්‌ වූ වසර හාරසිය පනහක්‌ පමණ වූ කාලය තුළදී විනාශයට පත්විය. පාරම්පරික හේන් සියල්ල තේ, කෝපි, කොකෝවා, රබර් වැනි වගාවන් සඳහා විදේශීන් අත්පත් කර ගත්තේය. කුඹුරු ගොවිතැන නොසලකා හැරියේ ඊට අවශ්‍ය ඇළ මාර්ග හා වැව් අමුණු ප්‍රතිසංස්‌කරණය නොකිරීමෙනි. ගොවියාට වැටුප් සඳහා වෙනත් කම්කරු රැකියාවල නිරත වීමට සිදු වේ. කුරුඳු තැලීම, පතල් කැපීම වැනි කටයුතු වලට යොමුකරවාගත් ගොවියා ධනපතීන්ගේ කුලී කාරයෝ බවට පත් කළේය. කම්කරුවෙක්‌ බවට පත්කළේය. එනිසා ගම තුළ පැවැති ස්‌වයංපෝෂිත යෑපුම් මට්‌ටමේ ගැමි ආර්ථික රටාව බිඳ වැටිණ. මේ සංස්‌කෘතික ගැටුම උකුලේ නිදන දරුවාගේ දෙසවනටත් දැනෙන්ට විය. එය සිතට නොදැනුණා විය හැකිය. මේ ආකාරයෙන් ගෙදර දොරේ පැවැති අගහිඟකම් ද මේ දරුවාට අසන්ට ලැබිණි. දරුවා නින්දට ගියේ මේ අගඟිගකම් සිතේ රඳවා ගෙනයි.

රෑට කන්න මොකුත් නැතී
එගොඩ කොළොං ගසක්‌ ඇතී
මෙගොඩ කොළොං ගසක්‌ ඇතී
හැලි වඳුරෝ ගී කියති
කොතල කොටේ හාල් ඇතී
ඒක කන්ට මාළු නැතී

ගෙදර අව්ව පරිසරය සුන්දරය. එගොඩ හා මෙගොඩ කොළොං ගස්‌ය. හැලි වඳුරෝ ගී ගයමින් ඒ මත නටති. ගෙදර ඇතුළත පරිසරය දුක්‌බරය. අගහිඟ කම්වලින් පිරී ඇත. බතට හාල් මිටක්‌ ඇත. මිටි හාල් මුට්‌ටිය වූ බිඳුණු කොතලයේ හාල් ඇබිත්තක්‌ ඇත. එහෙත් ඒක කන්ට මාලුවට නම් මොකුත් නැත. දරුවාට කියන්නේ මේ දුක්‌බර කතා පුවතයි. දරුවා අසා සිටින්නේ ඒ දුක්‌බර කතාවයි. දරුවාගේ මුහුණ බලමින් මුහුණු සිඹිමින් අත්, පා අතගාමින් පිරිමදිමින් දරුවාට ඇසෙන සේ මේ කියන්නේ ගෙදර සිටි අනෙක්‌ අයයි. නිවස තුළ පැවැති ඒ දුක්‌ගැනවිල්ල දරුවාට නැළවිල්ලක්‌ විය. අසා සිටි පිරිසට දුක්‌බර සන්නිවේදනයක්‌ විය. අනාගතයේ දී තමා පා නගන්නේ එවැනි දුක්‌ගැහැට වලින් පිරුණු ලොවකට බව ඒ අසන සිඟිත්තා නොදනී. ඒ සිඟිත්තා පවුලේ පවතින මේ දුප්පත්කම ජයගත යුතු අනාගත වැඩිහිටියා වේ. කුඩා අවදියේ සිටම සිඟිත්තා ඒ අභියෝගයෙන් වෙලී ඇත.

සිඟිත්තා දියණියක්‌ වූයේ නම් ඇගේ ළදරු කාලය ඇගේ වයසේ සිටි අනෙක්‌ දරුවන්ගේ ළදරු කාලය තරම් සුන්දර නොවේ අනෙක්‌ සිඟිත්තන්ට මෙන් ඇයගේ අතට වළලු නැත. පයට ගිගිරි නැත. ඉනට හවඩිද නැත. ඒ ගැන කිසිවක්‌ නොදන්නා නොතේරෙන සිඟිති දියණිය මේවා කියවන විට අම්මා සමඟ සිනාසේ. ඇය සිනාසෙනු බලාසිටින අම්මාගේ දෙනෙතින් කඳුළු බිඳු කඩා වැටේ. ඇයගේ ආරක්‍ෂාව වූයේ පසු කාලයකදී වත් සිඟිති දියණියට මේවා ලබාදීමය.

47 අතට වළලු කොහෙන් දුවේ
පයට ගිගිරි කොහෙන් දුවේ
ඉනට හවඩි කොහෙන් දුවේ
දැනට නිදාගනින් දුවේ

දැනට නිදා ගනිං දුවේ. යනුවෙන් අම්මා ඇය සනසවයි. එහෙත් ගැටලුව සිඟිත්තා නොදනී. අනෙක්‌ අයට මෙන් ඒ සියල්ල පසුව හෝ ලබාදීමේ උත්සාහයක්‌ හා බලාපොරොත්තුවකින් අම්මාගේ සිත සසල වෙයි. අගහිඟකම තම දරුවාට දක්‌වන ආදරය කෙරෙහිද බලපා ඇති සේය.

මේ සිඟිති පුතුට ඇත්තේ මවගේ ආදරය පමණි. අනෙක්‌ නැදැයන්ගෙන් වෙන්ව වෙසෙන අම්මාට සිහිවන්නේ සත්වලෝකයේ සතාතන ධර්මතාවයි.

48 ඇතින්නියක්‌ ලත් දරු පෙම්බරේයා
ඇතිනි රැළේ හැමටට කිරි එරේයා
අනිත් අතට දුන් මුදුවත් පිරේයා
ඉතින් පුතුට මවගේ ආදරේයා

ඇත් පැටවෙක්‌ බිහිවූ විට ඇත්නි රැළේ හැමටම කිරි එරෙනවලු" යන පිරුල උපන්නේ ඒ සතාතන සත්‍යතාව නිසාය. ඒ සත්‍යය දැන සිටි දරුවා ඇකයේ හොවාගත් අම්මාට නැවතත් එය ආවර්ජනා විය.

පුතුට කාත් කවුරුත් නැති වුවත් මවගේ ආදරය ප්‍රමාණවත්ය. ස්‌වභාව ධර්මය පිළිබඳව ගැමි කතක ගේ පාරම්පරික දැනුම, නාගරික මවකගේ පැසුණු දැනුමට හා බුද්ධියට වඩා සිය දහස්‌ ගුණයෙන් වැඩිය. පැසුණු බුද්ධිමත් නාගරික මවකට දරුවා ඇකයේ හොවාගෙන මෙවැනි ආදර වදන්වලින් දරුවා නැළවීමට ඇති අවකාශය අල්පය. නාගරික මවකගේ පැසුණු බුද්ධිය හා සංස්‌කෘතික හර පද්ධතිය ඇගේ සිඟිත්තාට අසාධාරණයක්‌ නොවන්නේද?

දරු නැළවිලි ගී තුළ අපට නොපෙනෙන සමාජ විද්‍යාත්මක අගයක්‌ පවතී.

ගෙදර දොරේ අඹු සැමියන් අතරද නොයෙක්‌ විට නොයෙක්‌ අන්දමේ නොහොඳ නේක්‌කාඩු ඇතිවෙයි. එවිට දෙදෙනා අතර ඇනුම්පද හුවමාරු වෙයි. දරුවා නළවන අතරතුරදී වුවද, ගෙදර ඇති වූ නෝක්‌කාඩුවක්‌ මේ අම්මාගේ මතකය අවදි කළා සේය.

දරුවා නළවන අතර අම්මා මෙවැනි ගීයක්‌ ගැයුවාය.

49 තිත්ත කැකිරි තිත්ත දො
කරවට මල් පෙත්ත දො
හබන් කුකුළො දැක්‌ක දො
තමුසෙට මං තිත්ත දො

මෙහි "තිත්ත" යන වචනය තෙවරක්‌ යෙදී ඇත. "තිත්ත" යනු කෝපය හා අසමගිය දනවන හැඟුම්බර පදයකි. ඉන් දෙදෙනා නුරුස්‌සන ආකාරයක්‌ද වනිත කරවයි. මෙහි දී "කරවට මල් පෙති" ඇති හබන් කුකුළො දැකීමෙන් ඇයගේ සිත සසල විය.

මවගේ නැළවිලි ගීතයට ඒකාත්මක වී සිටින දරුවාට ගීතයේ ශබ්ද රසය දැනේ. අර්ථ රසය නොදැනේ. එහෙත් නැළවෙන දරුවා ඉදිරියේදීම ඇය තම සැමියාට උපහාසයක්‌ එල්ල කළේ තමුසෙට මං තිත්ත දො" යන අවසන් පදයෙනි.

සැමියා ඒ අසා නිහඬ නොවුවා සේය. ඔහුගේ පිළිතුර ද පෙරළා බිරිඳට ඇනුම්පදයක්‌ විය. එය ද දරුවාට නැළවිලි ගීතයක්‌ විය. බිරිඳට උපහාසයක්‌ වූ ආකාරය මෙයින් අනාවරණය වේ.

තිත්ත කැකිරි තිත්ත තමයි
කරවට මල් පෙත්ත තමයි
හබන් කුකුළො දැක්‌ක තමයි
තමුසේ මට තිත්ත තමයි

ඔහුගේ පිළිතුර බිරිඳට ඇනුම්පදයක්‌ නොවේද සැමියාගේ අමනාපය තවමත් දුරු නොවුනා සේය.

නොහොඳ නෝක්‌කාඩුවක්‌ අතරේ වුවද පරිසරය විඳ ගැනීමට ගැමියන්ට හැකිවිය.

තිත්ත කැකිරි තිත්තදො
තමුසෙට මං තිත්තදො

සැමියාට තම බිරිඳ එපා වී ඇති මොහොතකි. එහෙත් බිරිඳ සැමියා සමඟ ඇති කෝපය නිවාගන්නේ දරු නැළවිලි ගීතයෙනි.

තොටිල්ල පදවන විට දොර කවුළුවෙන් හෝ ජනෙල් කවුළුවෙන් මිඳුලේ වී අහුලන හබන් කුකුළන් දකින ඇය, උන්ගේ විසිතුරු චමත්කාරයෙන් කුල්මත් වේ.

ඇය හබන් කුකුළන් දකින්නේ කරවට මල් පෙත්තක්‌" ඇති චමත්කාරයකිනි. හබන් කුකුළන්ගේ කරවට මල්පෙති සහිත ස්‌වභාවික මාලයක්‌ ඇත. එයින් ඌට ලැබෙන්නේ අලංකාරයකි. එහෙත් ඇයගේ කර පාළුවට ගොස්‌ ඇති බවද ඇය මේ නැළවිලි ගීයෙන් සිය සැමියාට වනිත නොකරන්නීද?

කරවට මල් පෙත්තදො
හබන් කුකුළො දැක්‌කදො

ඇය කරවට මල් පෙත්තක්‌ ඇති හබන් කුකුළා පෙන්වන්නේa තම අත නැළවෙන සුරතල් දරුවාට නොවෙයි. තමන් හා විරසක වී සිටින සැමියාටය. ඇයගේ කියුම වනිතාර්ථවත්ය. සැමියාගෙන් ඇයට, කරට මාලයක්‌වත් ලැබී නැත්තාසේය.





කලාසූරී නෝමන් සිරිපාල
Divaina 19-06-2011