Author Topic: සිතුල්පව්වේ උරුමය  (Read 7343 times)

0 Members and 1 Guest are viewing this topic.

Asha Nanayakkara

  • Guest
සිතුල්පව්වේ උරුමය
« on: June 18, 2011, 02:32:38 PM »
Advertisement
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති ඓතිහාසික සහ පූජනීය ස්‌ථානයක්‌ වූ සිතුල්පව්ව සිල්වත් භික්‍ෂූන් වහන්සේගේ මෙන්ම රහතන් වහන්සේගේත් පරිභෝජනයට ලක්‌ වූ පුණ්‍ය භූමියක්‌ව පැවතිණි. මේ ශුද්ධ භූමිය තිස්‌සමහාරාමයටත්, කතරගම් නුවරටත් අතර කටගමුව ගම් සමීපයෙහි පිහිටා ඇත. කතරගම වන්දනාවේ යන බැතිමතුන්ට තිස්‌සමහාරාම නගරයේ සිට කිරින්ද පාරේ යෝධකණ්‌ඩිය වැව පසු කළ විට වම්පසින් පාරක්‌ හමුවේ. මෙම පාරෙහි කිලෝමීටර් 25 ක්‌ පමණ ගිය තැන සිතුල්පව්ව පින්බිම හමුවේ. කතරගම සිට පැමිණීමේදී කිලෝමීටර් 15 ක්‌ දකුණු දෙසින් යාල අභය භූමිය මධ්‍යයේ පිහිටා ඇත. නිදැල්ලේ ඔබ මොබ යන අනේක විධ වන සතුන්ගෙන් ගහන වූද, කිසිදු උපද්‍රවයකින් තොරව මේ පින්බිම කරා යැමට මාර්ග පද්ධතිය මැනවින් සකස්‌ කොට ඇත.

සිත් ප්‍රබෝධ කොට සතුට , සැනසිල්ල මානසික සුවය සහ ගුප්ත බලයකින් මෙත් සිත් ඇද ගැනීමට සමත් නිසා චිත්ත ආලපබ්බත, සිත් අලවන පර්වතයක්‌ චිත්තල පබ්බත පවත සිතුල්පව්ව වන නම තැබෙන්නට ඇත.

සිතුල්පව්ව සිද්ධස්‌ථානයට වැඩි වශයෙන් වන්දනා මාන සඳහා පිරිස්‌ ඇදී එන්නේ පොසොන් පොහොයටයි. දාන, ශීල, භාවනා වැඩසටහන්, දන්සල් ආදියෙන් සමන්විත මේ සමය සැදැහැවතුන්ගෙන් පිරී පවතී. සිතුල්පව්ව පින් බිමෙහි වර්තමාන සංඝාවාසයට ඉදිරියෙන් වූ ප්‍රධාන චෛත්‍ය පිහිටි කුඩා ගල් පර්වතයට නැගුණු විට සිව් දිගින් දක්‌නට ලැබෙන දර්ශන මනස්‌කාන්තය. බස්‌නාහිරින් පෙනෙන්නේ කතරගම කඳුවැටියයි. ගිනිකොන දෙස බලන විට කුඩා රාවණා සහ මහා රාවණා ප්‍රදීපාගාර පෙනේ. උතුරු දෙසින් හපුතලේ බණ්‌ඩාරවෙල කඳුවැටිය පෙනේ. ආකාර චෛත්‍යය, කොරවක්‌ගල් කන්ද යන ස්‌ථාන ද ඉතා පැහැදිලිව පෙනේ. මේ පින්බිම සිසාරා ඔබ්බට යන විට පාරිශුද්ධ වූ මහ රහතන් වහන්සේ වැඩ සිටි ගල්ලෙන් රාශියක්‌ හමු වේ. දිගින් අඩි 100 ක්‌ පමණ වූ පොහොය ගෙයක නටබුන් ද වර්තමාන සංඝාවාසය අසල දිස්‌වේ.

ක්‍රිස්‌තු පූර්ව තුන්වන ශත වර්ෂයේදී කාවන්තිස්‌ස රජතුමා විසින් කරවන ලද සිතුල්පව්ව විහාරයෙහි දෙළොස්‌දහසක්‌ භික්‍ෂු සංඝයා වැඩ සිටි බව වංශකතාවල සඳහන් වේ. කාවන්තිස්‌ස රජතුමා විසින් දාන ශාලා, ලැඟුම් ගෙවල්, උපෝෂථාගාර, වැව්, පොකුණු ආදිය තනවා මතු මත්තේදී මේ පින් බිම රැක ගත යුතු බවට නීති පනවා කාවන්තිස්‌ස රජතුමා විසින් දෙළොස්‌ දහසක්‌ මහ සඟරුවනට පූජා කොට ඇති බව මහාවංශයේ සඳහන් වේ.

සහස්‌සවත්ථූපකරණයේ සඳහන් පරිදි දුටුගැමුණු කුමරු එළාර රජු සමඟ සටනට එළඹීමට පෙර සිතුල්පව්ව විහාරයට ගොස්‌ එහි වැඩ වාසය කළ සුපේශල භික්‍ෂුන් වහන්සේට දන් පිළිගැන්වූ බවත්, ඉන් පසුව මාගමින් පිටත් වූ බවත් සඳහන් වේ. සිතුල්පව්ව විහාරයට ප්‍රවේශ වන ස්‌ථානයේ වම්පස ඇති සෙල්ලිපිය ලඡ්ජිතිස්‌ස රජු විසින් කරවන ලද බව කියෑවේ. ලඡ්ජිතිස්‌ස රජුගේ පියාණන් වූ සද්ධාතිස්‌ස රජු ද විහාරස්‌ථානයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදු කර ඇත. වළගම්බා රජ සමයේදී ක්‍රි. පූ. 78 දී පමණ බැමිණිටියා සාය නමින් සාගතයක්‌ විය. මේ කාලයේදී සිතුල්පව්වේ වැඩ වාසය කළ භික්‍ෂුන් වහන්සේ දොළොස්‌දහසක්‌ පමණ වූහ. තිස්‌සමහාරාමය ලෙස අද හැඳින්වෙන තිස්‌ස විහාරයේ ද එවැනිම වූ ප්‍රමාණයක්‌ භික්‍ෂුන් වහන්සේ වැඩ විසූහ. උන්වහන්සේට දානය සඳහා තිබූ වී මීයන් විsසින් කා දැමූයෙන් සිතුල්පව්වේ භික්‍ෂූන් තිස්‌සට යන අතර ද තිස්‌ස භික්‍ෂූන් සිතුල්පව්වට යන අතරද ගිරිකන්දරා "ගම්භීරකන්ද" ස්‌ථානයේදී හමුවූහ. සිදුවී ඇති උවදුර ගැන දැන සියලුදෙනා වහන්සේ එහිදී පිරිනිවන් පෑ බව වංශ කථාවල සඳහන් වේ.

වළගම්බා රජු දමිළයන් සමඟසටනට පෙර සිතුල්පව්ව අසල වූ ආකාර චෛත්‍යයට පූජාවක්‌ කළ බව වංශ කථාවල සඳහන් වේ. සිතුල්පව්වේ ඇති ගිරි ලිපියක ඉලනාග රජු ගැන සඳහන් වන්නේ "මහනක" යනුවෙනි. ඉලනාග රජු සිතුල්පව්වට ඉඩම් කැබලි පරිත්‍යාග කළේය. භාතිකාභය රජතුමා ද ක්‍රි. වර්ෂ 7 දී මෙහි ප්‍රතිසංස්‌කරණ කටයුතු කරමින් කුඩා පොකුණු කර වූ බව වංශකතාවල සඳහන් වේ. වර්තමාන සංඝාවාසයට නුදුරින් ඇති පොකුණ ඉන් එකකි. පළමුවැනි විජයබාහු රජ සිතුල්පව්වේ වැඩ වසන භික්‍ෂුන් වහන්සේට බෙහෙත් ද්‍රව්‍ය සැපයීමට ගම්වරයක්‌ පූජා කොට ඇති බව සිතුල්පව්වේ ඇති සෙල් ලිපියක සඳහන් වේ.

මෙසේ ක්‍රිස්‌තු පූර්වයේ සිට දෙවැනි පැරකුම්බා රජ සමය දක්‌වා රෝහණයේ අණසක පතුරුවාගෙන සිටි සියලුම රජවරුන් මේ සිතුල්පව්ව පින්බිමට විශාල මෙහෙයක්‌ කොට විහාරස්‌ථානයකට අවශ්‍ය සියලු අංගෝපාංග නිමවා පූජා කොට ඇත. පසුකාලීනව රටේ අභ්‍යන්තර වියවුල් සහ රුහුණු දේශයේ පිරිහීම හේතුවෙන් මහ රහතන් වහන්සේ වැඩ සිටි මේ පින්බිම වන සතුන්ගේ වාසභූමියක්‌ බවට පත්ව වනාන්තරගත විය.

අතීත රජදරුවන් ධනාත්මක සමාජ මෙහෙවරක්‌ සිතුල්පව්ව විහාරයට සිදුකොට ඇත. කාවන්තිස්‌ස රජතුමා මූලිකත්වය ගෙන ඉදිකරන ලද මහ සිතුල්පව්ව වෙහෙර පුරාවිද්‍යා දෙපාර්තම්න්තුව විසින් රියන් තිස්‌හතක්‌ උසට නිමවා ප්‍රතිසංස්‌කරණය කර ඇත. වර්තමාන සංඝාවාසයට ඉදිරියෙන් අඩි 400 ක්‌ පමණ උස්‌ වූ ගල් පර්වතයක්‌ මුදුනේ එය ඉදිකර ඇත.

සිතුල්පව්ව පින් බිමෙහි විහාරයට ප්‍රවේශ වන මාර්ගයේ පිහිටි වැවේ සොරොව්වෙහි ද ගල්කණු කිහිපයක්‌ ම ඇත. සිතුල්පව්ව කන්දේ නැඟෙනහිර බෑවුමෙහි ලෙන් විහාරය පිහිටා ඇත. ගල්ලෙනෙහි පියස්‌සේ දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව සිත්තමට නඟා ඇත. කාවන්තිස්‌ස රජතුමා විසින් කර ඇති කුඩා සිතුල්පව්වේ අදටත් චෛත්‍ය දෙකක අඩිතාලමක්‌ දැකිය හැකිය. කුඩා සිතුල්පව්වට යන මාර්ගයේ ගලින් නෙළන ලද ඉතා පියකරු ගල් කූඩයක්‌ වේ. වසභ රජතුමා විසින් කරවන ලද ගල් කූඩය එකල රහතන් වහන්සේ ධර්ම සාකච්ඡා සඳහා යොදාගත් තැනකි. පධානඝරය, බෝධිඝරය, ගල් තොරණ ආදියෙන් සමන්විත වූ මේ පින්බිමෙහි සංඝයා වහන්සේ වාසස්‌ථාන සඳහා නිමකරන ලද ගල්ලෙන් විශාල ප්‍රමාණයක්‌ දැකිය හැකිය. භාවනානුයෝගී භික්‍ෂුන් සඳහා මෙම ගල්ලෙන් සාදා ඇත.

සිතුල්පව්ව පුද බිමට ළඟාවීමට පෙර හමුවන ස්‌ථානයකි මඟුල් මහා විහාරය. කාවන්තිස්‌ස රජතුමා සහ විහාරමහා දේවිය සරණ යැම නිමිති කරගෙන මඟුල් මහා විහාරය නිමවා ඇත. නටබුන්ව තිබුණු මෙම ස්‌ථානය අතීතය මතු කරමින් 2005 වර්ෂයේදී වර්තමාන විහාරාධිපතීන් වහන්සේ විසින් ප්‍රතිසංස්‌කරණය කර ඇත. නටබුන්ව තිබුණු මෙම ස්‌ථානය අතීතය මතු කරමින් 2005 වර්ෂයේදී වර්තමාන විහාරාධිපතීන් වහන්සේ විසින් ප්‍රතිසංස්‌කරණය කර ඇත.

සිතුල්පව්ව මූලික කරගෙන විවිධ පූජනීය ස්‌ථාන අපට හමු වේ. සීලවකන්ද කඳුවැටියේ ආරාමය, ගෝනගල ආරාමය, පිඹුරාගල අරාමය, ආකාසෙච්තිය, කෝටපබ්බත විහාරය නමින් සමහරකි. ඓතිහාසික වැදගත්කමක්‌ ඇති සියලුම රජ දරුවන්ගේ අවධානයට ලක්‌වූ මේ පින්බිම රුහුණේ පිරිහීමත් සමඟ වනාන්තරගත විය. වර්තමාන නවෝදය සනිටුහන් වූයේ විසිවැනි සියවස මුල් දශකවලදී ය.

වනගත වූ වැදගත් පුදබිමක්‌ ගැන පොතපත කියවා කරුණු හෙළිදරව් කරගත් ගාල්ල යටගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ කලහේ ශ්‍රී රතනජෝති ගුණරතනාභිධාන නායක ස්‌වාමීන් වහන්සේ නටබුන්ව ගිය සිතුල්පව්ව ශුද්ධ භූමිය සොයාගත්තේය.එවක පැවැති බ්‍රිතාන්‍ය රජයෙන් ද අවසර ලබාගෙන මේ පින්බිම එළිපෙහෙළි කොට පැරැණි ශ්‍රී විභූතිය නැවත ඇති කිරීමේ භාරදූර කාර්යයට මුල පිරුවේය.

එවක්‌ පටන් අද දක්‌වාම උණවටුනේ යටගල රජමහා විහාරය මෙම පුණ්‍යභූමියේ පැරැණි ශ්‍රී විභූතිය මතු කරමින් හෙළ බොදු සංස්‌කෘතියට අමරණීය සේවාවක්‌ සලසමින් සිටී.

1936 දී කලහේ ශ්‍රී රතනජෝති මාහිමිපාණන් අපවත් වූ පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය පූජ්‍ය ඉලුප්පිටියේ ජිනරතන මාහිමිපාණන් මාහැඟි සේවාවක්‌ ඉටුකොට ඇත. මේ හිමියන්ගේ කාලයේදී තිස්‌සමහාරාමයේ සිට සිතුල්පව්ව දක්‌වාත්, කතරගම සිට සිතුල්පව්ව දක්‌වාත් මාර්ගය යටගල රජමහා විහාරයේ දායකයන්ගේ ශ්‍රමයෙන් කිසිදු යන්ත්‍ර සූත්‍රයක්‌ භාවිතයෙන් තොරව නිම කර ඇත. හරිහැටි කුසට අහරක්‌ නැතිව වන සතුන්ගෙන් ගහන වූ මෙම භූමියෙන් අභීතව කරන ලද මඟ හෙළිකරගැනීමෙන් අනතුරුව ළිං කැප්පවීම, වැව් පොකුණු ශුද්ධ කිරීම් ද දායකයන්ගේ ශ්‍රමයෙන් කරවා ගති. ගල්ලෙකන් විහාර මන්දිරයේ සැතපෙන පිළිම වහන්සේ නෙළා අවසන් කිරීම ද උන්වහන්සේගේ කාලයේදී සිදුවිය.

ඉලුප්පිටියේ ජිනරතන නායක හිමියන් 1965 දී අපවත් වීමෙන් පසුව වත්තෙහේනේ පියරතන හිමියන්ට සිතුල්පව්ව සංවර්ධනය කිරීමේ කටයුතු බාර විය. ඉතාම අමාරුවෙන් එළිපෙහෙළි කරගත් කතරගම සිතුල්පව්ව මාර්ග දෙක වාර්ෂිකව ප්‍රතිසංස්‌කරණය කොට නඩත්තු කිරීමත්, යකඩ වැට ඉදිකිරීම, විහාර මළුව සැකසීම ආදී සංවර්ධනාත්මක කටයුතු නිම කරමින් අඩුපාඩුවක්‌ ව පැවැති සංඝාවාසය තැනීමේ කටයුත්ත ද ආරම්භ කළ පසුව 1976 දී හදිසි අනතුරකින් අපවත් වූහ. වත්තෙහේනේ පියරතන හිමියන්ගේ හදිසි අපවත්වීමෙන් පසුව යටගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ වත්තෙහේනේ රතනසාර හිමියන්ගේ අවවාද අනුශාසනා මත ශාස්‌ත්‍රපති උණවටුනේ රතනජෝති හිමියන් සිතුල්පව්ව සංවර්ධනය කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යන ලදී. සිතුල්පව්ව ශුද්ධ භූමිය වැඳ පුදා ගැනීමට එන පිරිස ක්‍රමයෙන් වැඩි වූයෙන් අත්‍යවශ්‍යව පැවැති විශ්‍රාම ශාලා, වැසිකිළි, ජල පහසුව ලබාදීම ආදී කටයුතු විධිමත්ව විවිධ ආයතන හා දායක කාරකාදීන්ගේ පූර්ණ අනුග්‍රහය ද ලබාගෙන ඉටු කරදීමේ හැකියාව උන්වහන්සේට ලැබිණි. 2002 වර්ෂයේදී උන්වහන්සේ අපවත් වූහ.





වර්ණා විජයතිලක
Divaina 12-06-2011