Author Topic: මහින්දාගමනය හා පැරණි ලක්‌දිව සමාජය  (Read 8967 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha_Nanayakkara

  • Kiri-Kodu
  • *
  • Posts: 14
    • View Profile
    • Email
Advertisement
ලොව වැඩි හරියක්‌ සංස්‌කෘතීන් සඳහා සාරධර්ම සැපයී ඇත්තේ ඒ ඒ ආගම් වලිනි. ලංකා සංස්‌කෘතිය සම්බන්ධයෙන් විමසා බලන කවරෙකු හට වුවද මහින්දාගමනයෙහි ඇති වැදගත්කම විවාදයකින් තොරව පිළිගැනීමට සිදුවනු ඇත.

සංස්‌කෘතිය හැඩගස්‌වන කවර අන්දමේ බලවේගයන් අතර වුවද ආගමට හිමිවන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. ආගම එක්‌ පැත්තකින් ජනතාව අධ්‍යාත්මික අරමුණු වෙත යොමු කරන අතර සමාජයීය වශයෙන්ද ඉතා වැදගත් මෙහෙයක්‌ ඉටුකරයි. අප අත දිගුකොට මහත් ආඩම්බරයෙන් පෙන්වන අපේ සියලුම සංස්‌කෘතික අංග බුදුදහම හේතුවෙන් අපට උරුම වූ ඒවා බව අවිවාදිතය.

අතීත රජරට රාජධානි ආශ්‍රිතව අදටද දැකගත හැකි මහා දාගැබ්, සමාධි පිළිමය, සඳකඩපහණ වැනි ලෝ ප්‍රකට කලා නිර්මාණ වැව් අමුණු ආදී වාරි කර්මාන්ත අපගේ සංස්‌කෘතිය විදහා දක්‌වන කැඩපත් බදුය. අපේ පැරණි සිරිත් - විරිත් භාෂාව ආදි සියල්ලෙහි ආරම්භයට මූලික වූයේත් ඒවායේ පෝෂණයට හේතු වූයේත් බුදු දහමයි.

මෙවන් වූ බෞද්ධ සංස්‌කෘතියක සාඩම්බර හිමිකරුවන් බවට අප පත් වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීය තිස්‌ හයකට පසු සිදුවූ මහින්දාගමනයත් සමගය යන්න අතිශයෝක්‌තියක්‌ නොවේ. මහින්දාගමනය ලංකා සංස්‌කෘතිය හැඩගැස්‌වීමේ උසස්‌ම වෑයම බව මහාචාර්ය කොටහේනේ පඤaCදාකිත්ති හිමියෝ දක්‌වති. දේශාභිමානය, දේශහිතෛෂීභාවය, ආත්ම ධෛර්යය පරිත්‍යාගශීලීත්වය කලා රුචිය හා සහනශීලිත්වය ආදිය මිහිඳු හිමියන් ගෙන ආ බුදු දහමේ ප්‍රභවයෙන්ම ඇති වූ ගුණාංග බව උන්වහන්සේ වැඩිදුරටත් දක්‌වතිs.

සිංහල සංස්‌කෘතියේ ආරම්භය මහින්දාගමනය බව ආචාර්ය වල්පොල රාහුල හිමියන් විසින්ද පවසා ඇත්තේ මිහිඳු හිමියන් මෙහි ගෙන ආවේ හුදු ආගමක්‌ පමණක්‌ නොව අංග සම්පූර්ණ ශිෂ්ඨාචාරයක්‌ බවද පෙන්වා දෙමිනි.

බුදු සමය සාර්ධර්ම පිළිබඳ විශේෂ උද්යෝගයක්‌ දක්‌වන ආගමික චින්තනයක්‌ වන බැවින් මහින්දාගමනයෙන් පසු ලක්‌දිව සමාජ සංස්‌කෘතික දේහයේ සුවිශාල පරිවර්තනයක්‌ සිදුවිය.

ලක්‌දිව රාජ්‍ය පාලකයාගේ පටන් දිළිඳු ගැමියා දක්‌වාම මෙම බෞද්ධ සාරධර්මයන්ගෙන් පෝෂණය විය. එවැනි සාරධර්මයන්ගෙන් පිරිපුන් පැරණි ලක්‌දිව සමාජ සංස්‌කෘතික වටපිටාව පිළිබඳ වංශ කතාවන්හි සහ අට්‌ඨකතාවන්හි එන කරුණු කිහිපයක්‌ ගොනුකර දැක්‌වීමට මෙහිදී අපේක්‍ෂා කෙරේ.

පූර්ව ලංකා ඉතිහාසයෙහි මිනිස්‌ ජීවිත පිළිබඳව හෝ සත්ත්ව ජීවිත පිළිබඳව ගැඹුරු ඇගයුමක්‌ නොවූ බව විජයගේ සහ කුවේණියගේ කතා පුවතින් තහවුරු වේ. මිහිඳු හිමියන් පැමිණි දිනය ලක්‌දිව දඩකෙළි දිනයක්‌ වූ බව මහාවංශයේ දැක්‌වේ. මිහිඳු මාහිමියන් තමන් වහන්සේ හඳුන්වා දුන් වහාම රජුගේ අතින් දුනු ඊතල ගිලිහීමෙන් සංකේතවත් කරනුයේ ලක්‌දිව ප්‍රාණවධය වෙනුවට ජීවිතයේ අගය සාරධර්මයක්‌ ලෙස සමාජගත වූ බව යෑයි මහාචාර්ය චන්දිම විෙ-බණ්‌ඩාර මහතා පවසයි.

එදා සිට අද දක්‌වා පොහොය දිනය සියලු සතුන් ද අභය ලබන දිනයක්‌ බවට පත්විය. රජගෙදර මාංශ භක්‍ෂණය අහෝසි කොට රට පුරා අල හා ඵල අනුභව කළහැකි වෘක්‍ෂ රෝපණය කරවූ අශෝකයන්ගේ ආදර්ශය මෙරට ජනතාවගේද සාරධර්මයක්‌ බවට පත්විය.

II වන මහින්ද හා I වන සේන රජවරුන් මසුන්ට මෙන්ම සිවුපාවුන්ට හා පක්‍ෂීන්ටද ආහාර පාන හා අභය සැලසූ අතර II වන දප්පුල හෙවත් I වන උදය රජු ගවයින්ට ඉරිඟු ද කපුටන් හා අනෙකුත් පක්‍ෂීන්ට බත්ද දෙන්නට සැලැස්‌වීය. අද පවා සිංහල බෞද්ධයෝ බලු කපුටු දානදීමෙන් මහත් ආශ්වාදයක්‌ ලබති.

සෑම පුද්ගලයකුම මවක්‌ තම එකම පුතු දෙස බලන්නාක්‌ මෙන් මෙත් සිතින් යුතුව අනෙක්‌ පුද්ගලයා දෙස බැලිය යුතු බව බෞද්ධ ඉගැන්වීමයි. සිරි සඟබෝ වැනි චරිත රජ දරුවන් අතර පවා දක්‌නට ලැබුණේත් ඒවා සිංහල බෞද්ධ ජනහදවත් තුළ ගැඹුරින් කා වැදුණේත්, ලක්‌දිව පැවැති බෞද්ධ ආගමික සමාජ වටපිටාව නිසාවෙනි.

ප්‍රාණඝාතයෙන් වැළකීම නමැති බුදු සසුනේ මූලික ප්‍රතිපත්තිය අගය කළ පැරණි ලක්‌දිව සිංහල රජවරු කිහිප වතාවක්‌ රටේ සෑම තැනම මාඝාත ආඥව ක්‍රියාවට නැංවූයේය.

ආමණ්‌ඩ ගාමිණී VI වන අග්ගබෝධි, III වන කාශ්‍යප, IV වන අග්බෝ සහ සිලාකාල යන රජවරුන්ගේ කාල සීමාවන් මෙහිsදී කැපී පෙනේ. II වන කාශ්‍යප රජු දැක සතුටු වීමේ අරමුණින් තොටපළ දෙකක මසුන් ඇති කළ බව වංශ කතාවන්හි දැක්‌වේ.

නීතියේ අවශ්‍යතාවයක්‌ සඳහා වුවද කිසිවෙකුට හිරිහැර නොකිරීමට බෞද්ධ රජවරු කාරුණික වූහ. වෝහාරික තිස්‌ස රජතුමාගේ හිංසාමුක්‌ත සංකල්පය මෙයට හොඳ උදාහරණයකි. රජුට වෝහාරික යන විශේෂණ නාමය ලැබුණේ මරණීය දණ්‌ඩනය හා ශාරීරික වධ බන්ධන තහනම් කරමින් නීති පැනවූ නිසා යෑයි මහා වංශයේ දැක්‌වේ. කවර හේතුවක්‌ නිසාවත් කිසිදු සතෙකු නොමැරිය යුතු යෑයි ආඥවක්‌ නිකුත් කළ ආමණ්‌ඩ ගාමිණී රජ, මාංශ භක්‍ෂණය මුළු රටේම තහනම් කළ බව මහාවංශයේ සඳහන්වේ. භාතිය රජ දවස හරක්‌ මස්‌ කෑම දඩ ගැසීමෙන් දඬුවම් පමුණුවන ලද නීති විරෝධී ක්‍රියාවක්‌ වූ බව සුමංගල විලාසිනිය දක්‌වයි.

බුදු දහම පිළිබඳව මහත් ශ්‍රද්ධාවෙන් හා භක්‌තියෙන් යුතුව කටයුතු කළ බෞද්ධ රජවරුන් අතර දුටුගැමුණු රජතුමාට හිමිවන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. දුටුගැමුණු රජතුමා සිය ජීවිතයේ ඉතා දුෂ්කර අවස්‌ථාවන්හිදී පවා තමා ආහාර ගැනීමට පළමු භික්‍ෂූන්ට දන්දීමේ සිරිත නොකඩවා පවත්වාගෙන ආවේය. වරක්‌ ගැමුණු කුමරු සිය සොහොයුරු සමඟ කළ සටනකදී පරාජයට පත්විය. පසුව තිස්‌ස නම් අමාත්‍යයාත් සමඟ වල්වැදුණු ගැමුණු කුමාරයා සාගින්නෙන් පෙළෙමින් සිටියදී තිස්‌ස නම් අමාත්‍යවරයා විසින් කිසියම් ආහාරයක්‌ සොයා ගෙන පැමිණි කළ ඉන් කොටසක්‌ භික්‍ෂුවකට නොදී නොකමි යි දැඩිව සිටි බව මනෝරථපූරණියේ දැක්‌වේ.

වරක්‌ අකඛකඛායික නම් සාගතය පැවැති සමයෙහි ගැමුණු රජතෙමේ තම අගනා කුණ්‌ඩලාභරණ සඟල දී ඇඹුල් තණ සහල් කැඳ බඳුනක්‌ ලබාගෙන මහතෙරවරුන් පස්‌ නමකට පිළිගැන්වූ බව මහාවංශයේ දැක්‌වේ. (අකඛ යනු බුලු යෑයි ගයිගර්ගේ මහා වංශ පරිවර්තනයේ දැක්‌වේ.) සාගතය කෙතරම් දරුණු වීද යත් වෙන කාලවලදී දාදු කැට වශයෙන් භාවිත කරනු ලැබූ අකඛ ඇට පවා කන ලද බවත් එබැවින් සාගතය අකඛකඛායික නම් වූ බවත් පොත පතෙහි සඳහන් වේ.

තමන් විසින් දුන් සියලුම දන් අතුරෙන් තම සිත වැඩියෙන්ම සතුටට පත් කළේ තමා විපතට පත්ව සිටියිදී දිවි නොතකා දුන් මෙම දාන දෙක යෑයි ගැමුණු රජු මරණ මඤ්චකයෙහිදී ප්‍රකාශ කළේ යෑයි මහා වංශයේ සඳහන්ය. සංඝයාට නොදී අනුභව කළ එකම ආහාරය පිළිබඳව පවා රජු බලවත් සේ තැවුනේය. ඒ සඳහා ස්‌වයං දණ්‌ඩනයකට යටත් වෙමින් රජතුමා මිරිසවැටි වෙහෙර ගොඩනැංවූයේය.

දමිළයන් සමඟ යුද්ධයට ගිය ගමනේදී පවා පන්සියයක්‌ භික්‍ෂූන් රැගෙන ගොස්‌ යුද්ධය අතරතුරදී පවා සංඝයාට සත්කාර දැක්‌වූයේ යෑයි මහා වංශය කියයි. යුද්ධයෙන් රට දිනාගත් නමුත් ඒ හේතුවෙන් ජනතාව පීඩාවට පත් කළෙමියි යන සිත් තැවුලෙන් යුතුවු දුටු ගැමුණු රජතුමා මහා ථූප වැඩබිමෙහි කිසිවෙකු නොමිලේ සේවය නොකළ යුතු යෑයි උපදෙස්‌ දුන්නේය.

දුටුගැමුණු රජුගේ ඇවෑමෙන් රජ පැමිණි සොහොයුරු සද්ධාතිස්‌ස රජතුමාගේද ශ්‍රද්ධාභක්‌තිය අසීමිත විය. තිත් වටු මස්‌ කෑමේ බලවත් ආශාවකින් පෙළුණු රජතුමා එම ආශාව ප්‍රකට වුවහොත් බොහෝ වටුවන්ගේ මරණය සිදුවනු ඇතැයි බියෙන් තුන් අවුරුද්දක්‌ම එම ආශාව මැඩගෙන සිටියේ යෑයි මනෝරථ පූරණයේ දැක්‌වේ. පසුව තමාගේ ජීවිතය රැකගැනීම පිණිසවත් සතෙකු නොමරන මිනිසෙකු ගැන දැනගැනීමට ලැබී තමා වෙනුවෙන් නොමරන ලද විකිණීමට තිබෙන වටු මසක්‌ ගෙනෙන ලෙස ඔහුට දන්වා එලෙස ගෙන්වා පිළියෙල කරගත් වටුමසින්ද කොටසක්‌ තත්ථකසාලා පිරිවෙන් වාසී සාමණේර නමකට පිළිගන්වා රජතුමා භූක්‌ති විඳිබව එහි සඳහන් වේ.

මහින්දාගමනයට පෙර ලක්‌දිව බ්‍රාහ්මණ, ජෛන, පරිබ්‍රාජක, ආජීවක, යක්‍ෂ, දේව, ශ්‍රමණ, තාපස ආදී විවිධාකාර ආගමික කොටස්‌ දක්‌නට ලැබුණු අතර එයට අමතරව වෘක්‍ෂ හා ලිංග වන්දනාව බහුලව පැවැති බව ඓතිහාසික තොරතුරු වලින් සනාථ වේ. මහාවංශයේ දහ වැනි පරිච්ඡේදය මේ පිළිබඳව සවිස්‌තරාත්මක විවරණයක්‌ සපයයි. උගත් බුද්ධිමත්, සදාචාර සම්පන්න, විනය ගරුක මිනිස්‌ ප්‍රජාවක්‌ ලක්‌දිව බිහිවූයේ මහින්දාගමනයෙන් පසුවය. විශේෂයෙන් ඉන් පසු මානව අයිතිය සුරකින පංචශීල ප්‍රතිපදාව මෙන්ම, දස කුසල්, සතර බ්‍රහ්ම විහරණ, සතර සංග්‍රහ වස්‌තු වැනි බෞද්ධ සංකල්ප මගින් හික්‌මවන ලද බෞද්ධ ප්‍රජාවක්‌ මෙරට දැකගත හැකිවිය.

නිති පන්සිල් රැකීම, පොහෝදා පෙහෙවස්‌ සමාදන් වීම රජතුමාගේ පටන් සාමාන්‍ය මිනිසා දක්‌වා වැඩි දෙනාගේ සිරිත විය. සද්ධාතිස්‌ස, උපතිස්‌ස, II වන දාඨෝපතිස්‌ස රජවරුන් පෙහෙවස්‌ සමාදන් වී සාමාන්‍ය ජනතාව සමඟ විහාරස්‌ථානවල දවස්‌ යෑවූහ. පොහෝ දිනවල ආගමික කටයුතු මිස වෙළෙම, ගොවිතැන ආදී කටයුතු පවා තහනම් විය. දන්දීම, සිල් රැකීම ආදිය ගැන එකල ජනතාව දැක්‌වූයේ දැඩි උනන්දුවකි.

මහසිළු මහතිsස්‌ රජ තෙමේ තම උත්සාහයෙන් දෙන දානයෙහි මහත්ඵල මහානිසංස සළකා වෙස්‌වළා ගෙන කෙතක වැඩකොට එයින් උපයා ගත් දෙයින් දානයක්‌ දුන් බවත්, තවත් වරෙක උක්‌ යන්ත්‍රයක සේවය කොට ලද දෙසින් දන්දුන් බවත් වංශ කතාවන්හි සඳහන්ය. ඉහතද සඳහන් කළ පරිදි තම දිවි දෙවැනි කොට පන්සිල් රැකි සාමාන්‍ය ජනතාව පිළිබඳ පුවත්ද අටුවා සාහිත්‍යය පුරා විසිරී පවතී.

පිංගල බුද්ධ රක්ඛිත තෙරුන් වෙතින් පන්සිල් සමාදන් වූ උත්තරවඩ්ඨමාන ගම්වැසි ගොවියෙක්‌ කැලයකදී පිඹුරෙකු විසින් වෙලා ගන්නා ලදී. තමා අත කැත්තක්‌ තිබියදීත් තමා සමාදන් වූ සීලය සිහිකොට පිඹුරා නොමරන්නට ගොවියා තීරණය කළ බවත් එම මෛත්‍රී සිතුවිල්ල හේතුවෙන් පිඹුරා ඔහු අතහැර ගිය බවත් පපඤ්චසූදනීයේ දැක්‌වේ.

තිස්‌ස නම් උපාසකයෙකුගේ ශීල ගුණය විමසීමට කුකුළෙකු මරන්නට යෑයි සද්ධාතිස්‌ස රජු විසින් නියම කරන ලද කල්හි ඔහු එම රජ අණට පවා අකීකරු විය. එයට දඩුවම මරණය යෑයි රජු තර්ජනය කරන ලද කල්හිද ඔහු නිර්භයව එම අණට අකීකරුව සිටියේ යෑයි සංයුක්‌ත නිකාය අට්‌ඨ කතාවෙහි දැක්‌වේ.

තම දිවි දෙවැනි කොට පන්සිල් ආරක්‍ෂා කළ චක්‌කන නම් ගිහි උපාසකයකු දැඩිසේ ගිලන්ව සිටි තම මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඖෂධයකට හා මස්‌ අවශ්‍ය බව දැන, මහත් වෙහෙසක්‌ දරා උගුලකට හසුකර ගත් හාවා තමන් සමාදන්ව සිටින ශීලය හේතුවෙන් නොමරා නිදහස්‌ කොට සිදුකරන ලද සත්‍ය ක්‍රියාවේ බලයෙන් මෑණියන් සුවපත් කළ ආකාරය පිළිබඳ රසවත් විස්‌තරයක්‌ පපඤ්ච සූදනියේ දැක්‌වේ.

උපාසක යන්න වත්මන් සමාජයේ බහුතරයකගේ අවඥවට, හාස්‍යයට ලක්‌වන වදනක්‌ව ඇති නමුත් තුනුරුවන් කෙරෙහි අසීමිත භක්‌තියකින් යුක්‌ත වූ පැරණි ලක්‌දිව රජවරුන් හා රාජකීයයන් පවා තම නම ඉදිරියෙන් උපාසක, උපාසිකා, බෞද්ධෝපාසක, බෞද්ධෝපාසිකා වැනි නම් යොදාගෙන ඇති බව මුල් යුගයේ ලෙන් පූජා පිළිබඳව ලියවා ඇති කෙටි සෙල් ලිපි පාඨවලින් දැකගත හැකිය. බුද්ධදාස රජතුමා තම පුතුන් අසූදෙනාහට අසූමහා ශ්‍රාවකයන්ගේ නම් තැබූ බව සඳහන් වේ.

රජවරුන් පමණක්‌ නොව දුගී දුප්පත් දිළින්දන් පවා දන් දීමට දැක්‌වූ ලැදියාව අටුවාවන්හි විචිත්‍ර ලෙස විස්‌තර කෙරේ. මුණ්‌ඩගුප්ත නම් දුප්පත් මිනිසෙකු සිය දරුවා උකස්‌කොට ගත් කහවුණු අටකට දෙනක්‌ මිලදී ගෙන ඉන් ලැබෙන මුදල් වියදම් කොට දන් දුන්නේය. දරු භාණ්‌ඩ තිස්‌ස නම් තවත් අයෙක්‌ උක්‌ සකුරු සාදන තැනක මහන්සියෙන් වැඩකොට ලත් කහවුණු දොළහකින් පිණ්‌ඩපාතික තිස්‌ස තෙරුන්ට දානයක්‌ පිළිගැන්වූයේය. සද්ධා, සුමනා සහ කිඤ්චි සංඝා යන කාන්තාවන් කොළ අතු ඇඳගෙන හැඳිවත සඟුන්ට පරිත්‍යාග කළේය.

මිනිසුන් කොළ කා ජීවත් වූ සාගත කාලයන්හි පවා තමන්ගේ මද ආහාරයෙන් කොටසක්‌ භික්‍ෂූන්ට දීමට තරම් ඔවුහු පරිත්‍යාගශීලි වූහ. මේ අයුරින් බුදුසමය පොදු ජනතාවගේ එදිනෙදා ජීවිතය කෙරෙහි තදින් බලපැවැත්වූ අයුරු පැහැදිලිය.

වසර සිය ගණනක්‌ තිස්‌සේ විදේශීය ජාතීන් තුනකගේ ආක්‍රමණවලට ලක්‌වීමෙන්ද, බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්‌ බවට පත්වීමෙන්ද, බුදු දහමේ ආලෝකයෙන් ප්‍රභාමත්ව පැවැති ලක්‌දිව බෞද්ධ ජන ජීවිතය ක්‍රමයෙන් පරිහානියට ලක්‌විය. සම්බුද්ධත්ව ජයන්තියේ දෙදහස්‌ හයසිය වැනි වසර සැමරීම සඳහා පෙළ ගැසී සිටින ලාංකික සිංහල බෞද්ධයා තුළ මහින්දාගමනයෙන් උරුම වූ බෞද්ධ සාරධර්ම කෙතරම් දුරට සුරැකී පවතීද යන්න විමසා බැලීමට මේ සුදුසුම කාලය යෑයි හැඟේ.





සනත් ලියනගේ
Divaina 19-06-2011