Author Topic: අවමංගල්‍යය පිළිබඳ විවිධ සිරිත්  (Read 7597 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha_Nanayakkara

  • Kiri-Kodu
  • *
  • Posts: 14
    • View Profile
    • Email
Advertisement
ලංකාවේ උතුරු මැද පළාතේ චාරිත්‍ර උඩ - පහත දෙපළාතට වඩා තරමක්‌ වෙනස්‌ වේ. කෙනෙකු මළ වහාම "හේනයා" ට දැන්වීම අනිවාර්ය වූවකි. ගමේ ගමරාළ සහ අනෙකුත් අය ද පැමිණ දෙදෙනා බැගින් සැරසී "ඉස්‌පිළි" නොබැඳ පොරවක්‌ ද අතේ රැගෙන යමින් අවට ගම්වල අයට ආරංචිය පවසනු ලබයි. නෑදැයෝ හාල්, පොල්, බුලත්, පුවක්‌ ආදියද

රැගෙන පැමිණෙනුයේ ඉන් පසුවය. මෙම දැන්වීම විශේෂයෙන් ම නෑයින් විසින් බලාපොරොත්තු වන අතර එසේ නොවුවහොත් 'ආඩපලි' අසන්නට ලැබේ. ගමේ අය ආහාර පානාදිය සපයනු ලැබේ. එසේම උතුරු මැද පළාතේ ගම්වල මිනිය අරභයා අතීතයේ පැවැති චාරිත්‍ර රැසක්‌ වෙයි. ගෙයි අගුවක zපල්ලමක්‌Z හා zමැස්‌සක්‌Z සාදා මියගිය අයගේ බෑණා හෝ ආසන්න අයකු ගෙයි දොර හැර මිනියට අත ගැසුවාට පසු අනෙක්‌ අය මිනිය ඔසවා මැස්‌සේ තැබිය යුතුය. "හේනයා" විසින් වියන බැඳිය යුතු අතර, 'ඉහාණෙන්' (හිස පැත්තෙන්) හා 'පයාණෙන්' (පය පැත්තෙන්) පන්දම් දැල්විය යුතුය. ඉන් පසු වතුර කළයක්‌ ගෙන ඉහාණේ සිට පයාණට තුන් වරක්‌ වතුර වත්කොට පිඟානකට කහ, හඳුන් සහ පොල්කිරි ගෙන මිනියේ මුහුණේ ගානු ලබයි. බුලත් කොළයක්‌, පුවක්‌ පෙති ටිකක්‌ සමඟ හාල් ඇට කීපයක්‌ ද රිදී කාසියක්‌ ද මුඛය ආසන්නයේ තබනු ලබයි. මෙය හඳුන්වනු ලබන්නේ "කට හාල් දැමීම" යනුවෙනි. ඉන්පසු සුදු රෙද්දකින් මිනිය වැසිය යුතුය. අනතුරුව දරුවන් හෝ බාලයන් ලවා 'ඉහාණේ' සිට 'පයාණේ' තුන්වර බැගින් වන්දවා මිනිය බැහැර ගෙන යැම සිදු කරනු ලබයි. අතීතයේදී වියළි කලාපයේ දුප්පත් පවුල්වල කෙනෙකු මළ විට අනුගමනය කළ මේ සරළ චාරිත්‍ර විධීන්ට අනුව මෘත දේහය පැදුරක තබා තුන්පලකින් බැඳ ලීයක ගැට ගසා බස්‌නාහිර කඩුල්ලෙන් ගෙන යැම සාමාන්‍ය සිරිත ලෙස සඳහන් වේ.

මහනුවර අවධිය වන විට ලංකාවේ පැවැති අවමංගල්‍යයක ස්‌වභාවය රොබට්‌ නොක්‌ස්‌ විසින් ඔහුගේ එදා හෙළදිව කෘතියෙහි සඳහන් කොට තිබේ. මරණයකදී නිවසේ සෑම ස්‌ත්‍රියක්‌ම කෙස්‌ස කඩා හෙළාගෙන හඬන බවත්, මියගිය අයගේ ගුණ ලවක්‌ දෙවක්‌ නැතිව කියන බවත් පිරිමි සුසුම්ලමින් සිටින බවත් නොක්‌ස්‌ පවසයි. දුප්පත් ජනතාව මිනිය පැදුරක ඔතා තුන්පලකින් බැඳ කැලේ වළදමන බවත්, එය "කැලේ ගැසීම" නම් වන බවත් පැවසේ.

හින්දු ජනතාව මරණයෙන් දින අටක්‌ ගතවන තුරු නිවසේ කෑම පිළියෙල නොකරති. සමහර සඳහනකට අනුව මිනිය තුන්වන වරටත් නෑවීමක්‌ කරන බවත්, එය මිනිය සොහොනට ගෙන යැමට පෙර පැමිණෙන "සෛව ගුරුකල්" පූජකයා විසින් සිදුකර ශුද්ධ අළු මිනියේ ගාන බවත් සඳහන් වේ. ඔවුන් මිනියට අන්ඳවන ඇඳුමෙහි පටියක යකඩ කැබැල්ලක්‌ ගැට ගසනුයේ භූත දෝෂ වලින් ආරක්‍ෂා වීම සඳහා ය. දකුණු ඉන්දීයයෝ මිනිය කාන්තාවකගේ නම් වර්ණ සාරියකින්ද, පිරිමියකුගේ නම් සාමාන්‍ය අලුත් ඇඳුමකින් ද සරසයි. සුවඳ ද්‍රව්‍ය ඉසීම, හා සුවඳ වර්ග පිළිස්‌සීම, ශුද්ධ අළු ඉසීම, පවුලේ අය විසින් පිසින ලද ආහාර ස්‌වල්පයක්‌ රිදී කාසියක්‌ සමඟ මිනියේ මුව අසල තැබීම සිරිතකි. අවසන් චාරිත්‍ර සමඟ සෛව සාධූන් ස්‌තෝත්‍ර ගායනා සිදු කරන අතර විශේෂ චාරිත්‍ර ද පවත්වනු ලැබේ. "සුණු බත්" කිරීමේ චාරිත්‍රය ද එවැන්නකි. පියාගේ මරණයේදී වැඩිමහල් පුතාත්, මවගේ මරණයේදී බාල පුතාත් විසින් හඳුන් සමඟ හුණු වනක ලා කෙටීම මේ අපූරු චාරිත්‍රයයි. එය කොටමින් "අපි සුණු කොටමු අපි සුණු කොටමු යි පවසනු ලබයි. ඉන් පසුව පූජා චාරිත්‍රවලට ඔහු සහභාගි විය යුතුය.මිනියට තලප්පාවක්‌ බැඳීම. සිල්ක්‌ රෙදිවලින් සැරසීම, හින්දු සිරිත වේ. එය සුසානයට ගෙන යනු ලබන්නේ දෙනක තබාය. අවමංගල්‍ය පෙරහැර අග සහ මුල පාවාඩ දමනු ලැබේ. අවමංගල්‍යයේ අයිතිකරු පූණනූල දැරීම ද සිරිතකි. රජකයින් අල්ලන වියනක්‌ යටින් දෙන ගෙන යැම සිදු වේ. ඒ සමඟ ගින්න ගෙන යනු ලැබේ. සමහර පළාතක අවමංගල පෙරහැර ස්‌ථාන තුනක නවතා මිනියේ මුවට සහල් දැමීම ද චාරිත්‍රයකි. එසේම ශුද්ධ වෘක්‍ෂයන්හි පත්‍ර, කපු ඇට, පොරි, මුදල්, සුවඳ වර්ග දෙනට ඉසීම ද සිදු වේ. ලංකාවේ මල්, පොරි, සුවද, පිනිඳිය ඉසිනු ලබයි. අවමංගල්‍ය පෙරහැරට හින්දු කාන්තාවන් සහභාගි නොවීම සිරිතකි.

සිංහල සිරිත් අනුව අඟහරුවාදා සිකුරාදා සහ පෝය දිනවල අවමංගල්‍ය භූමදාන සිදු නොවේ. අවමඟුල් නිවස, මාර්ගාදිය සුදු පැහැයෙන් සැරසීම සිදුවේ. මළ සිරුරක්‌ අරභයා අවසාන කටයුතු සිදු කරන ආකාර දෙක නම් 'ආදාහනය' හා 'භූමිදානය' යයි. භූමදානයේදී ද චිතකය සැදීමේදී ද බහිරවයාගෙන් අවසර ගැනීම නම් චාරිත්‍රයක්‌ ලංකාවේ දකුණු පළාතේ ඇත. ඒ සඳහා හාල් ඇට ටිකක්‌, මිරිස්‌ කරලක්‌, බුලත් කොළ කීපයක්‌, පොල්මල් කිණිත්තක්‌ ආදිය අදාළ භූමියේ තබා පවුලේ අයකු විසින් උදැල්ලකින් බිම කපනු ලබයි. ඉන් පසු වළ කපනු ලබයි.

ක්‍රිස්‌තියානි අවමංගල්‍යයකදී සංකේත වර්ණය වන්නේ කළු පැහැයයි. ඔවුන් කළු කොඩි ඔසවති. කාල වස්‌ත්‍ර හැඳ මළගෙට ඒම සිරිත වේ. මිනිය ඔසවන අවස්‌ථාවේදී තේවාවක්‌ පවත්වනු ලැබේ. අවමඟුල් පෙරහැරේ ගී ගැයීමත් යාඥා කිරීමත් සිරිත වෙයි. කුරුසය ඉටි පහන්, කළු කොඩි පෙරටුව ගෙන යනු ලැබේ. පහතරට සිංහලයන් අතර මිනිය සුසානයට ගෙන යැමට සූදානම් වන අවස්‌ථාවේදී අවසන් ගෞරවය දැක්‌වීම සඳහා නිවස තුළදී මිනිය බැලීමට ඉඩ ලබා දීම සිරිතකි. මෙය ද දැඩි ශෝක ජනක මොහොතක්‌ වන අතර, ඉන් පසු දෙන වසා නිවසේ පිටතදී හෝ සුසානයේදී භික්‍ෂූන් වහන්සේ විසින් ආගමික වතාවත් ඉටු කරනු ලැබේ. මෙහිදී පවුලේ ඥාතීන් විසින් පැන් වැඩීම කළ යුතු අතර එය පිඟානක්‌ මත තබන ලද භාජනයක්‌ උතුරා යන තුරු කෙණ්‌ඩියකින් ජලය වත් කිරිමෙන් සිදුකරනු ලබයි. පැවිදි අනුශාසනා ද ගිහි අනුශාසනා ද අවසන සුසානභූමියේ සූදානම් කළ චිතකයේ හෝ කනින ලද වළෙහි තැන්පත් කරනු ලබයි. චිතකයේ නම් එය වටා තුන්වරක්‌ දෙන රැගෙන ගොස්‌ ඊට ඇතුළු කර බෑණා කෙනෙකු විසින් ගිනි දැල්විය යුතුය. මිහිදන් කරනුයේ ද තුන්වරක්‌ වළ වටා ගෙන යැමෙන් පසුව වන අතර ආත්මය යළි නිවස සොයා එතැයි යන බිය පදනම් කොට ගෙන එය මංමුලා කිරීම පිණිස මෙම සිරිත ආරම්භ වී යයි සඳහන් වෙයි.

මධ්‍යකාලීන අවධිය වන විට ලංකාවේ රජ කෙනෙකුගේ අභාවයකදී අනුගමනය කරන ලද චාරිත්‍ර අනුව එය ජනතාවට දැනුම් නොදීම සිරිත විය. අමාත්‍යවරු රජතුමා රෝගාතුරව සිටින බව පවසා ප්‍රකාශයක්‌ නිකුත් කොට අන්තරාගාමියකු තෝරා ගැනීමේ නිරත වෙති. ප්‍රථමයෙන් ම අන්තරාගාමිකයාගේ නිවසට රාජ්‍ය මුර යොදන බැවින් ජනතාව සිදු වී ඇති ව්‍යසනය ඉවෙන් මෙන් අවබෝධ කොට ගනී. නව රජු තනතුරට පත්වීමෙන් පසු අභාවප්‍රාප්ත රජුගේ අවසාන කටයුතු සිදු කරනු ලබයි. එසේ සිදු කොට රජුට දන්වනතුරු ඔහු ආහාර ගැනීමෙන් වැළකී සිටිනු ඇත. රජු ඇතුළු උසස්‌ පවුල්වල ප්‍රභූවරුන්ගේ අවමංගල්‍ය අරභයා ආදාහනය සිදු වූ අතර සාමාන්‍ය පවුල්වල අයට එය තහනම් වූ බව නොක්‌ස්‌ කියයි.

සිංහල සමාජයේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමකගේ අපවත්වීමකදී ගම්වාසීන්ට දැනුම් දීම සඳහා නොකඩවා ඝණ්‌ඨාරය නාද කිරීම හා සක්‌ පිඹීම සිදු කෙරේ. එවිට විහාරස්‌ථානයේ විපතක්‌ සිදුව ඇති බව දැන දායකයෝ රැස්‌වෙති. දායක සභාව විසින් ගන්නා තීන්දු තීරණයනට අනුව කටයුතු සංවිධානය සිදුවන අතර මෘත දේහයේ මූලික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකර විශේෂ ගෞරවාන්විතව මහජන ප්‍රදර්ශනයට තැන්පත් කරනු ලැබේ. පරිසරය කහ පැහැයෙන් අලංකාරවත් කෙරෙන අතර භික්‍ෂුන් උදෙසා ආදාහනය සිදු කිරීම සාමාන්‍ය චාරිත්‍රය වේ.

අවමංගල්‍ය පිළිබඳ ඉතිහාසය විමසා බලන විට අතීතයෙහි මරණයක්‌ සිදුවීම බිය ගෙන දෙන්නක්‌ ලෙසින් සැලකුණු බව සෑම ජන සමාජයක්‌ විෂයයෙහි ම පොදු වූවකි. භූතාත්ම ගතව මළගිය පුද්ගලයා ජීවත්ව සිටින්නන් සොයා එතියි යන බලවත් විශ්වාසය මත පදනම්ව ඇති වූ චාරිත්‍ර අද දක්‌වා දක්‌නට ලැබේ. ලංකාවේ අතීතයේ බහුලවද, වර්තමානයේද රාත්‍රියේ වෙස්‌සන්තර ජාතකය කියවීම සිරිතක්‌ව පැවැතිණි. භූමදානයෙන් පසුවද සමහර පළාතක මෙය කියවනු ලබයි. මළ ගෙදර අයගේ සහ ඊට සහභාගි වන්නන්ගේ චෛතසික ස්‌වභාවය වෙනස්‌ කිරීමේ හැකියාවක්‌ ඊට ඇතැයි ද එබැවින් වෙස්‌සන්තර ජාතකයට "මළපොත" යයි ද ව්‍යවහාර කෙරේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට අනුව දහඅට වැනි සියවසේ සිට මෙම වෙසතුරුදාව මළ ගෙවල කියවනු දක්‌නට ලැබේ. මෙම ජාතක කථාව එදා සිංහල බෞද්ධ ජනයා ඇඳ බැඳ තබා ගත් අනුවේදනීය පුවතක්‌ වීමත් එහි ඇති ශ්‍රව්‍යගෝචර රටාවත් නිසාම මළගෙවල කියවීම සඳහා එය තෝරා ගත්තා ද විය හැකිය.

අතීතයේ කෙනෙකු මළ විට "මිනී පෙට්‌ටිය" ගමේ වඩුවන් එක්‌ව නිවසේදී නොමිලයේම සාදා දෙන ලද අතර, අද ඒ සඳහා සියල්ල බාරගෙන අවසානය දක්‌වා සිදු කරන "අවමංගල්‍ය අධ්‍යක්‍ෂවරු" නමින් හඳුන්වා ගන්නා පිරිසක්‌ හා ආයතන ද සෑම නගරයකම වෙයි. ශෝකය පළ කිරීම සඳහා හැඩීමට පිරිස අවශ්‍ය වෙතොත් "මීගමුවෙන් ගැහැනු ගෙන්විය හැකිය" යි කතාවක්‌ දකුණේ අසන්නට ලැබේ.




ගුණපාල ජයතිස්‌ස
Divaina 19-06-2011