Author Topic: සිනමාවේ වේදිකාවේ තෝතැන්නක්‌ වූ මරදාන  (Read 6015 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline WeBmAsTeR

  • Administrator
  • Madduma
  • *****
  • Posts: 229
  • Gender: Male
  • My sTyLe For My People,,, My Country,,,
    • MSN Messenger - SinhalayaDotCom@Hotmail.Com
    • Yahoo Instant Messenger - Channa_Aiya@Yahoo.Com
    • View Profile
    • SINHALAYA WORLDWIDE�
Advertisement
සිනමාවේ වේදිකාවේ ප්‍රේක්‌ෂකයන්ට තෝතැන්නක්‌වූ මරදාන


    
1948 වසරේ කොළඹ තුරඟ තරග පිටියේ එකතු වූ මුදල් මංකොල්ලකෑම් පදනම් කරගෙන ටයිටස්‌ තොටවත්තයන් අධ්‍යක්‍ෂණය කළ "හාරලස්‌සය" චිත්‍රපටය තිරගත වූයේ 1971 වසරේදී පමණය. එකල මහත් ආන්දෝලනයකට තුඩුදුන් එම මංකොල්ලයට මංකොල්ලකරුවන් පාවිච්චි කර තිබූ චවලට්‌ වර්ගයේ මෝටර් රථයම චිත්‍රපටයට යොදා ගැනීමට තොටවත්තයන් අදහස්‌ කළේය. මංකොල්ලය සිදුවී වසර 29 කට පසු එම මෝටර් රථය තැනින් තැනට අලෙවි වී තිබී බදුල්ල ප්‍රදේශයේ තිබී සොයා ගැනුණි. චිත්‍රපටයට එම රථය යොදා ගැනීමෙන් පසු එම මෝටර් රථය කොළඹ මරදානේ මංසන්ධියේ අඩි 15 ක්‌ පමණ උසින් තනා තිබූ ලී තට්‌ටුවක ප්‍රදර්ශනය කෙරුණේ එම චිත්‍රපටයේ දැවැන්ත ප්‍රචාරක පුවරුවද සමගිනි. චිත්‍රපටය ආරම්භ වෙද්දී මරදානේ තනා තිබූ මෙම ප්‍රදර්ශන පුවරුව කොතරම් මහජන අවධානයට යොමුවීද යත් එය නරඹමින් වාහනවල ගමන් කරන්නත් එම ස්‌ථානයේ මොහොතක්‌ රැඳී ගමන් කිරීම නිසා ඇතිවූ රථවාහන තදබදය පාලනය කිරීම පොලිස්‌ නිලධාරීන්ට ද මහත් හිසරදයක්‌ විය. අද මෙන් විදුලි සංඥ නොතිබූ වකවානුවක පොලිස්‌ නිලධාරීන් කොතරම් සංඥ කළත් වාහනවල ගමන් කළ අය එම දැවැන්ත ප්‍රචාරක පුවරුව නැරැඹීමට වාහනවල වීදුරු පහත් කර උත්සාහ කිරීම ඊට හේතුවූ අතර එය අපූර්ව සිදුවීමක්‌ විය.


මරදානේ අද සිනමාහල්.... ඡායාරූප - ධර්මසේන වැලිපිටිය

කොළඹ මරදාන ප්‍රදේශය එදා මෙරට සිනමාවේ ස්‌වර්ණමය යුගය ලෙස සැලකෙන වකවානුවල සිනමා ප්‍රේක්‌ෂකයන්ගේත් මෙරට නාට්‍ය කලාවට ඇලුම් කළ ප්‍රේක්‌ෂකයන්ගේත් ආකර්ෂණීය නගරයක්‌ වී යෑයි පැවසුවොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ.

කොළඹ 10 මරදාන දුම්රිය ස්‌ථානය අබියස එදා සිනමාවේ දැවැන්ත ප්‍රචාරක පුවරු (කටවුට්‌) ප්‍රදර්ශනය වුවද කලින් කලට සිදුවන නාගරික සංවර්ධනයත් සමඟ එම පුවරු වෙනුවට අද ඇත්තේ සංවර්ධිත මාර්ග පද්ධතියකි. අලුතින් චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය වන විට හැම ප්‍රේක්‌ෂකයකුගේ අවධානය නිතැතින් යොමු වූයේද එදා එම ස්‌ථානයේ තරගකාරී ලෙස අපේ සිත්තරුන් අතින් සිත්තම් වී නිමැවුණු චිත්‍රපට ප්‍රචාරක පුවරු වෙතය. අද මෙන් ඩිජිටල් තාක්‌ෂණය නොමැති වකවානුවක අතින් පින්සලින් සිත්තම් වූ එම දර්ශනීය චිත්‍ර අපේ මනසේ තිබූ චමත්කාරය අපමණය.

අද වේදිකා නාට්‍ය පමණක්‌ ප්‍රදර්ශනය වන සුප්‍රකට මරදාන එල්ෆින්ස්‌ටන් සිනමා හලේ (අද රඟහලේ) එදා තිරගතවූ සිංහල චිත්‍රපට නරඹන්නට එදා අපේ ප්‍රේක්‌ෂකයන් මහත්සේ උනන්දුවූ අන්දමද අපට මතකය.

ටවර් හෝල් රඟහල් පදනම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අගනා අදහසකින් පිහිටවූ පසු එල්පින්ස්‌ටන් රඟහල එම පදනම යටතට පත් කෙරුණු අතර එම පවරා ගැනීම සිදුවන වකවානුවේ එම රඟහලේ නම සිනමා සිනමාවේ ප්‍රථම නිළි රැජන වූ රුක්‌මණී දේවිය නමින් නම් කරන ලෙස වරෙක සිනමා රංග ධර ගාමිණී ෆොන්සේකා වරෙක ඉල්ලා සිටි අන්දමද මට මතකය. කෙසේ හෝ ටවර් පදනමේ (වර්තමානයේද) මනා පාලනය යටතේ පවතින එම රඟහල ඉදිරිපිට පසෙක මෙරට සිනමාවේ කලාකරුවන්ගේ වෘත්තිය අභිමානය ඇති කිරීමට පුරෝගාමී වුවකුද වන ගාමිණීගේ ප්‍රතිමාවද දක්‌නට ලැබේ.



1959 වසරේ එක්‌තරා අවස්‌ථාවක සිවාජි ගනේෂන් රඟපෑ "වීර පාන්ඩිය කට්‌ට බොම්මන්" චිත්‍රපටය මරදාන එල්ෆින්ස්‌ටන් රඟහලේ තිරගත වෙද්දී තවත් අපූර්ව සිදුවීමක්‌ විය. එම චිත්‍රපටයට පසුබිමින් තිබූ ඉංග්‍රීසින් ඉන්දියාව ආක්‍රමණය කරද්දී එරට දේශප්‍රේමීන් හා ඇතිවූ ගැටුමයි. චිත්‍රපටයේ නිතර දිස්‌වූ බලකොටු එම හැඩයට එල්පින්ස්‌ටන් සිනමා හල ඉදිරිපිට වෙනස්‌ කර ඝන කාඩ්බෝඩ් යොදා කර තිබූ වෙනස්‌ කර සාදා තිබූ අනුරුව චිත්‍රපටයට ජන ගඟක්‌ කැන්දන්නටද හේතු වන්නට ඇති බව ප්‍රකට ලේඛක නීල් ද මොරායස්‌ වරෙක ලියූ ලිපියක සඳහන් කර තිබිණි.

මෙරට සිනමා ලෝලීන්ගේ තවත් ආකර්ෂණීය සිනමා හලක්‌ වූ මරදානේ ගාමිණී සිනමා හල 1983 ජාතිවාදී කලබල සමයේ දේශප්‍රේමීන් යයි කියාගත් ද්‍රෝහීන් පිරිසක්‌ ගිනි තබා විනාශ කිරීම මහත් ඛේදජනක සිදුවීමකි. අනාදිමත් කාලයක සිට ආදායම් වාර්තා තබමින් චිත්‍රපට තිරගත කළ ගාමිණී සිනමා හල එම ස්‌ථානයේ රජය මැදිහත්වී හෝ යළි ඉදිකර දෙන ලෙස වරින් වර ආණ්‌ඩු කිහිපයකටම ඉල්ලීම් ඉදිරිපත් වී එය ඉටු නොවුණද අද වුව එම සිනමාහල පිහිටුවා තිබූ තැන ප්‍රකටව ඇත්තේ ගාමිණී හෝල් මංසන්ධිය වශයෙනි.

එම සිනමා හල මෙන්ම නාරාහේන්පිට කල්පනා ඇතුළු තවත් සිනමාහල් කිහිපයක්‌ද කොළඹට නුදුරින් හැඳල පිහිටා තිබූ විජය චිත්‍රාගාරයද ජාතිවාදී සමයේ රටට අහිමි වී එම චිත්‍රාගාරවල තැන්පත් කර තිබූ සිනමා හල්වල තිරගතවෙමින් තිබූ චිත්‍රපට ජාතියට අහිමිවී ගියේය.

මරදාන ආරම්භයේදී පංචිකාවත්ත ප්‍රදේශයේ පිහිටා තිබූ "ක්‍රවුන්" සිනමා හල අද දක්‌නට නැත. එය කඩා දමා තිබේ.

මරදානේ සෙන්ට්‍රල්, නිව් ඔලිම්පියා වැනි පැරණි සිනමාහල්ද ශ්‍රී ලාංකීය දෙමළ චිත්‍රපට නරඹන ප්‍රේක්‌ෂකයන්ගේ අද ජනප්‍රිය සිනමා හල් සංකීණයක්‌ බවට පත්ව ඇති 2003 වසරේ විවෘත කෙරුණු සිනමාහල් 4 කින් සමන්විත සිනෙසිටි සිනමාහල (ප්‍රකට කලාකරු බුද්ධි කීර්තිසේනයන් අධිපතිත්වය දරණ) ද මෑතකදී නවිකරණය වූ "රූබි" සිනමාහලද මරදානේ සිනමාවට විවරවුණු ආකර්ෂණයේ වත්මන් නිදසුන් අපට ගෙනහැර පාන්නකි. එමෙන්ම සියවසක්‌ පැරණි, (ටවර් පදනම පාලනය කරන) ඓතිහාසික ටවර් රඟහලද (වත්මන් ජනාධිපතිතුමන්ගේ උපදෙස්‌ මත යළිත් නවීකරණය කර තිබේ) අද අපේ නාට්‍ය නරඹන ප්‍රේක්‌ෂකයන්ට මහත් තෝතැන්නක්‌ වී තිබේ. එදා වරින් වර සංගීත ප්‍රසංග හා චිත්‍රපට උළෙල කිහිපයක්‌ම එල්ෆින්ස්‌ටන් හා ටවර් රඟහල්හිදී වරින්වර පවත්වනු ලැබ ඇත. අදත් වරින්වර එවැනි ප්‍රසංග හා උළෙලවල් එම රඟහල්හි දී අපි නරඹන්නෙමු. තවද මරදාන පුරවරයේ සිට අපේ කලාව ආලෝකමත් කළ කලාකරුවන්ද රැසකි. එදා මෙදා මරදානේ මෙරට සිනමාවට - වේදිකා නාට්‍ය කලාවට - මෙන්ම සංගීත රසවින්දනයටද මහත් ආශ්වාද ජනක පුරවරයක්‌ වූ කොළඹ මරදාන ගැන ඒ සිතේ නැගුණු මේ පුංචි සටහන මෙලෙස ලියා තබනුයේ එම අතීතය සිහිගන්වන පැරණි සේයාරූ කිහිපයක්‌ද මට යළි හමුවූ නිසාය. අද පරපුරට එම අතීතය සිහිගන්වනු පිණිස මෙම සටහන ලියුවෙමි.





නාරද නිශ්ශංක
දිවයින (02/12/2011)

« Last Edit: December 02, 2011, 12:22:22 PM by WEBMASTERŽ »
WEBMASTER�,
SINHALAYA WORLDWIDE.