Author Topic: තක්‌සලාව පාරට ගෙන ඒම!  (Read 2643 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
තක්‌සලාව පාරට ගෙන ඒම!
« on: October 18, 2010, 02:58:53 AM »
Advertisement
විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණය කිරීම මේ රටට නුහුරු දර්ශනයක්‌ නොවේ. ලෝකය පුරාම විශ්වවිද්‍යාල සිසුහු උද්ඝෝෂණය කරති. පසුගිය දශකයන් දෙස ආපසු හැරී බැලුවොත් ඇතැම් අවස්‌ථාවල විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණවලට සමගාමීව සමාජයේ නොයෙක්‌ ආකල්පමය පෙරළි ද සිදුවී ඇත. 1960 දශකයේ අග භාගයේදී විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණත් සමග බටහිර රටවල පුළුල් වශයෙන් ඇති වූ ආකල්පමය පෙරළිය මීට උදාහරණයක්‌ වශයෙන් ගත හැක. විශ්වවිද්‍යාල සිසුවකු හැටියට යම්කිසි සැලකිය යුතු පෙරළියකට සහභාගිවීමේ ප්‍රශ්නයක්‌ නැත. පසු කලෙක මේ පෙරළියේදී "අපිත් සිටියා" යෑයි කියමින් ඔවුන්ට සතුටුවීමට ද හැකිවේ. එමෙන්ම විශ්වවිද්‍යාලය තුළ සිටියදී දේශපාලන පක්‍ෂයකට බැඳීමේ ද ප්‍රශ්නයක්‌ නැත. විශ්වවිද්‍යාලවල සිටින්නේ ඡන්දදායකයින් බැවින් සමාජය තුළ සිටින ලියන, කියවන, කතා කරන උදවිය සංකේන්ද්‍ර ගතවන ස්‌ථානයක්‌ හැටියට ද විශ්වවිද්‍යාල තුළ පක්‍ෂ දේශපාලනය තිබිය යුතු යෑයි මම සිතමි. සෑම දේශපාලන පක්‍ෂයකම ශාඛා සමිති විශ්වවිද්‍යාල තුළින් ක්‍රියාත්මක විය යුතුය. මේ කිසිවක ප්‍රශ්නයක්‌ නැත.

නමුත් ප්‍රශ්නයකට ඇත්තේ කිසිදු ප්‍රයෝජනයක්‌ නැති රටේ උන්නතියට වත් එම සිසුන්ගේ උන්නතියටවත් ප්‍රයෝජනයක්‌ නැති මුග්ධ උද්ඝෝෂණයයි. මෙයට හොඳ උදාහරණයක්‌ මම 1988 දී දකුණු කොරියාවේදී දුටුවෙමි. 1988 යනු ශ්‍රී ලංකාවේ ජනතා විමුක්‌ති පෙරමුණේ දෙවෙනි කැරැල්ලේ උච්ඡතම අවස්‌ථාවක්‌ විය. ඒ කාලයේ මම සෝල් නුවර ඔලිම්පික්‌ උළෙල පැවැත්වීමට මඳ කලකට කලින් දකුණු කොරියාවේ සංචාරයක නියෑළුණෙමි. ඒ සංචාරය තුළදී මට ඒ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් හමුවීමට අවස්‌ථාවක්‌ ලැබිණි. එකල දකුණු කොරියාව පුරාම දරුණු ශිෂ්‍ය සටන් ඇවිළී ගිය සමයකි. දකුණු කොරියාවේ වීදිවල මුහුණු ලේන්සුවලින් වසාගෙන හමුදාවට පොලිසියට පෙට්‍රල් බෝම්බ ගසන විශ්වවිද්‍යාල සිසුන්ගේ දර්ශන ද, අනෙක්‌ පැත්තෙන් ඔවුන්ට එරෙහිව කඳුළු ගෑස්‌ ගසමින් බැටන් පොලු හා රබර් උණ්‌ඩ පමණක්‌ නොව ජල විදින ද පාවිච්චි කරන ආරක්‍ෂක අංශවල දර්ශන ද එකල ජාත්‍යන්තර ජනමාධ්‍ය තුළ නිතර නිතර දක්‌නට ලැබිණි. මේ අරගලවලට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් හමුවූ අවස්‌ථාවේදී මේ අරගලවල පරමාර්ථය කුමක්‌දැයි මම ඔවුන්ගෙන් ඇසුවෙමි. එවිට ඔවුන් මට දුන් පිළිතුර වූයේ දකුණු කොරියාව හා උතුරු කොරියාව එක්‌ කිරීම ඔවුන්ගේ ප්‍රධානම අරමුණක්‌ වූ බවයි. ඊළඟට මා ඇසුවේ උතුරු කොරියාව සමාජවාදී රටක්‌ වන අතර දකුණු කොරියාව ධනවාදය තුළින් ඉතා සාර්ථකව ඉදිරියට ගිය රටක්‌ බවයි. මෙවැනි එකිනෙකට විරුද්ධ ක්‍රමයන් අනුගමනය කරන රටවල් දෙකක්‌ එකතු කළ හැක්‌කේ කෙසේදැයි මම අසා සිටියෙමි. එවැනි එකතු කිරීමක්‌ කිරීමට ඔවුන් සතුව ඇති ක්‍රමවේදය කුමක්‌දැයි මම අසා සිටි විට දකුණු කොරියාවේ ශිෂ්‍ය නායකයෝ නිරුත්තර විය. මාක්‌ස්‌වාදය ගැන ඉතා ඉහළ න්‍යායික දැනුමක්‌ ඔවුන්ට තිබුණත් කිසිදු ප්‍රායෝගික විඥනයක්‌ නැති බව මට වැටහුණි. මේ වගේ උදවියට කොරියාවේ පාරවල් දිගේ පන්න පන්නා පහරදීම යුක්‌ති සහගත නොවේදැයි මට ඒ මොහොතේත් සිතිණි.

එකල දකුණු කොරියානු විශ්වවිද්‍යාලවල සිසු අරගල සඳහා පෙට්‍රොල් බෝම්බ සෑදුවේ ශිෂ්‍යාවන්ය. එය මම සියෑසින්ම දුටුවෙමි. නමුත් මේ මුළු ශිෂ්‍ය ව්‍යාපාරයම ගඟට ඉනි කපනවාක්‌ මෙන් සත පහකට වත් ප්‍රයෝජනයක්‌ නැති දෙයක්‌ විය. එය එම සිසුන්ටත් උතුරු කොරියාවටත් දකණු කොරියාවටත් එකසේ නිශ්ඵල දෙයක්‌ විය. ඒ අත්දැකීමෙන් පසු මා ලංකාවට පැමිණියේ ජනතා විමුක්‌ති පෙරමුණ ගැන යම් පැහැදීමක්‌ ඇතුවය. ඔවුන් ඒ වන විටත් රට පුරාම බුරුතු පිටින් මිනී මරමින් සිටියේ රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහාය. රාජ්‍ය බලය අල්ලාගත් පසු ඔවුන් කරන දේ ද ඉතාමත්ම පැහැදිලි විය. 1977 දී ජනතා විමුක්‌ති පෙරමුණු විසින් පල කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය ඒ වන විටත් වලංගු විය. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රී ලංකාවේ මුළු ආර්ථිකයම ගමේ පෙට්‌ටි කඩේ සිට කොළඹ සුපිරි හෝටල් දක්‌වා සියලුම ආර්ථික කටයුතු රජය සතුවනු ඇත. වෙනත් ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ද ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රතිපත්තියේ කිසිදු අපැහැදිලි භාවයක්‌ නොවීය. මේ පැහැදිලිභාවය සම්බන්ධයෙන් මම 1990 දී ජ.වි.පෙ. දෙවන කැරැල්ල සම්බන්ධයෙන් පොතක්‌ ලියන විට ඒ ගැන ප්‍රසංශා මුඛයෙන් කතා කිරීමට ද මගේ දකුණු කොරියානු අත්දැකීම ඉවහල් විය. විශ්වවිද්‍යාල සිසුන් යනු විභාග සමත්වී එම ආයතනවලට ඇතුළු වී සිටින උදවිය වන නිසා ඔවුන්ගේ අරමුණු රටේ සෙසු ජන කොටස්‌වල අරමුණුවලටත් වඩා පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතු යෑයි මම සිතමි. එමෙන්ම යම් විශ්වවිද්‍යාල සිසුවෙක්‌ දේශපාලනයක නියෑළෙනවා නම් ඔවුන් පැහැදිලිවම යූ.එන්.පී., ඡේ.වී.පී., ශ්‍රී ලංකා, ටී.එන්.ඒ. නැති නම් ඊ.පී.ඩී.පී. යනාදී වශයෙන් පැහැදිලිවම පෙනී සිටිමින් තමන්ගේ පාර්ශ්වයට අනෙක්‌ සිසුන් නැඹුරු කරවා ගැනීමට උත්සාහ දැරිය යුතුය. විශ්වවිද්‍යාලයක්‌ තුළ බුද්ධිමය සංවාදයට පවා මෙය ඉවහල් වනු ඇත.

නමුත් අපේ විශ්වවිද්‍යාල තුළ දක්‌නට ලැබෙන්නේ බෙහෙවින්ම වෙනස්‌ දෙයකි. අපේ විශ්වවිද්‍යාල තුළ මාක්‌ස්‌වාදීන් නැත. ධනවාදීන් නැත. සිංහල ජාතිවාදීන් හෝ දෙමළ ජාතිවාදීන් ද නැත. යූ.එන්.පී., ශ්‍රී ලංකා, ටී.එන්.ඒ. කාරයන් තබා ඡේ.වී.පී. කාරයින්වත් නැත. අපට දැන් දක්‌නට ලැබෙන විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණවලට නායකත්වය දෙන අයගෙන් ඔවුන්ගේ දේශපාලනය කුමක්‌දැයි ඇසුවොත් ඔවුන් කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් නොවන බවත් මේ කරන්නේ සිසුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා කරන අරගලයක්‌ පමණක්‌ බවත් ඔවුන් කියනු ඇත. සිසු අරගල දේශපාලන පක්‍ෂවලින් තොරව, සිදුවිය යුතු යෑයි ඔවුන් ගෙන යන මතය වෙයි. මේ "දේශපාලනයෙන් තොර" යෑයි කියන ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය සපයන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයෙනි. මෙය ජනතා විමුක්‌ති පෙරමුණට සම්බන්ධ දැයි ඔවුන්ගෙන් ඇසුවොත් ඔවුන් එකහෙළාම කියන්නේ එලෙස කිසිදු සම්බන්ධතාවක්‌ නොමැති බවයි. විශ්වවිද්‍යාල තුළට දේශපාලන පක්‍ෂ ගාවා ගැනීම ශිෂ්‍ය ව්‍යාපාරය බේදභින්න කිරීමක්‌ යෑයි ඔවුන් මතයක්‌ ගෙන යයි. නමුත් ඇත්තවශයෙන්ම මෙකී "දේශපාලනයෙන් තොර" ශිෂ්‍ය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මෙහෙය වන්නේ ජ.වි.පෙ. විසිනි. නමුත් ඔවුන් කිසිදාක තමන්ගේ නමින් විශ්වවිද්‍යාලය තුළ පෙනී සිටින්නේ නැත. තමන්ගේ දර්ශනය ඔවුන් ප්‍රබල ලෙස විශ්වවිද්‍යාල සිසුන්ට හඳුන්වාදීමට උත්සාහ දරන්නේ ද නැත. "අන්තරය" යනු ජ.වි.පෙ. ට බහුජන සංවිධානයකි. ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සුළු පිරිසක්‌ ක්‍රියාකාරීන් හැටියට තම පක්‍ෂයට ලබාගැනීමටත් ඒ තුළින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව පාලනය කිරීමටත් පමණි. අන්තරය තුළින් විශ්වවිද්‍යාල සිසුන් තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා ගැනීමට තිබේ නම් ඔවුන්ට එය ප්‍රමාණවත්ය. ජ.වි.පෙ. යනු බහුජන පක්‍ෂයක්‌ නොව කුමන්ත්‍රණකාරී සංවිධානයකි. එනම් මේ සංවිධානය තුළ බලය කේන්ද්‍රගතවී ඇත්තේ එක්‌තරා රහසිගත සංවිධාන ව්‍යQහයක්‌ තුළය. ඔවුන්ට මහා පරිමාණයෙන් තම පක්‍ෂයට සාමාජිකයන් බඳවා ගැනීමට කිසිදු වුවමනාවක්‌ නැත. තමන්ගේ ක්‍රියාකාරීන් යොදවා ජනතාව පාලනය කිරීමට හැකි නම් ඒ පාලනය වන ජනතාව අතරින් කිසිවෙක්‌ තම පක්‍ෂයේ සාමාජිකයන් නොවුණාට ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක්‌ නැත. විශ්වවිද්‍යාල තුළ සිසුවන්ගේ ජ.වි.පෙ. ක්‍රියාකාරීන් සුළු පිරිසක්‌ විසින් "දේශපාලනයෙන් තොර" ශිෂ්‍ය ව්‍යාපාරය යෑයි කියමින් මුළු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම පාලනය කිරීමයි. දේශපාලනය නොකරන අය මෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල සිසුන් පාලනය කිරීම සම්බන්ධයෙන් ජ.වි.පෙ. ට දැන් දශක දෙක තුනක අත්දැකීම් තුළින් ලැබී ඇති විශේෂ නිපුනතාවක්‌ ද ඇත. ඔවුන් ජ.වි.පෙ. දේශපාලනය වුවත් විශ්වවිද්‍යාල තුළ තදින් ගෙනයන්නේ නැත්තේ එක්‌ දේශපාලන පක්‍ෂයක්‌ පැමිණි පසු අනෙක්‌ අයටත් දොර විවෘත වන නිසාය.

මේ ආකාරයට දේශපාලන මතයකින් තොර ශිෂ්‍ය ව්‍යාපාරයක්‌ යෑයි කියන දෙයක්‌ පවත්වාගෙන යැමෙන් අපේ රටේ සිදුවන විශ්වවිද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණවලට මහා මුග්ධ භාවයක්‌ ආරූඪ වී ඇත. කිසිදු ජාතික වැදගත්කමක්‌ නැති කාරණවලට විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණවල නියෑළීම අප දැක නැත. එක්‌ විශ්වවිද්‍යාලයක සිසුන් දහස්‌ ගණනක්‌ සිටින නිසා ඕනම උද්ඝෝෂණයකට සිසුහු සිය ගණන් සිටිති. මේ සියලුම උද්ඝෝෂණ හා පෙළපාලි බලධාරීන් සමග සාකච්ඡා මාර්ගයෙන් විස¹ගත හැකි පරිපාලනමය ප්‍රශ්න සම්බන්ධයෙන් ඇතිවන ඒවාය. මෙවැනි ප්‍රශ්න සාකච්ඡාවලට පමණක්‌ සීමා නොකොට ලොකු කුඩා හැම කාරණයකටම මහ පාරට බසින්නේ නිතර නිතර ක්‍රියාකාරකම් ඇති කිරීමෙන් විශ්වවිද්‍යාල තුළ අන්තරයේ ක්‍රියාකාරීත්වයත්, ඒ තුළින් ජ.වි.පෙ. අණසක පවත්වාගෙන යැමටත් පමණි.

ප්‍රශ්නයකට ඇත්තේ විශ්වවිද්‍යාල තුළ දේශපාලනය තිබීම නොව දේශපාලනය නොතිබීමයි. සියලු දේශපාලන පක්‍ෂ විශ්වවිද්‍යාල සිසුන් අතර තමන්ගේම නමින් පෙනී සිටිමින් ක්‍රියා කළේ නම් ජාතික වැදගත්කමකින් යුත්, සියලුම ප්‍රශ්න විශ්වවිද්‍යාල තුළින් විවාද වනු ඇත. එවැන්නක්‌ සිදු වූයේ නම් විශ්වවිද්‍යාල තුළ ඇති බුද්ධිමය සම්පත නිසා මෙකී වාද විවාද බාහිර ලෝකයට ද ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත. විශ්වවිද්‍යාලවල සිටින තරුණයින්ගේ ජවය ඒ ඒ දේශපාලන පක්‍ෂවල ද උන්නතියට හේතු වනු ඇත. නමුත් අද ඇත්තේ අතිශයින්ම මුග්ධ "ශිෂ්‍ය ව්‍යාපාරයකි". සාකච්ඡාකොට ලබාගත යුතු පහසුකම් ඉල්ලමින් මහ පාරේ පෙළපාලි යන සිසු පරපුරකි. බලනවිට පසුගිය අවුරුදු 30-40 ක්‌ පුරා අන්තරය කර ඇත්තේ වතුර, නේවාසිකාගාර වැනි දේවල් ඉල්ලමින් මහ පාරේ පෙළපාලි යැමයි. කාලාන්තරයක්‌ මුළුල්ලේ මෙවැනි දර්ශන දැකීමෙන් මහජනතාව තුළ ද විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධයෙන් ඇඳී ඇත්තේ අමුතුම ආකාරයේ චිත්‍රයකි. මේ රටේ විශ්වවිද්‍යාලවල ප්‍රතිරූපය පිරිහීමටත් මේ කෙලවරක්‌ හෝ තේරුමක්‌ නැති පෙළපාලි හා උද්ඝෝෂණ හේතු විය. එස්‌. බී. දිසානායක මහතා ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරනවා යෑයි කී විට එයට සම්පූර්ණ වාතාවරණය නිර්මාණය කරදී ඇත්තේ ජ.වි.පෙ. පාලනය යටතේ පවතින අන්තරය විසිනි. මේ සත පහකට වැඩක්‌ නැති පන්ති වර්ජන, පෙළපාලි හා උද්ඝෝෂණවලට තමන්ගේ දරුවෙක්‌ සහභාගි වනු දැකීමට කිසිදු දෙමව්පියකු කැමැති නැත. අද දෙමව්පියන් බවට පත්වී සිටින ඒ කාලයේ විශ්වවිද්‍යාල සිසුන් වූ උදවිය ජ.වි.පෙ. විසින් තමන්ගේ පාලනය පවත්වාගෙන යැමට දශක ගණනාවක්‌ තිස්‌සේ කරන සත පහක ප්‍රයෝජනයක්‌ නැති උද්ඝෝෂණවල ආදීනව ඔවුන් අත්දැකීමෙන්ම දනී.

තමන් විශ්වවිද්‍යාල තුළ සිටින සමයේ කළ මෙවැනිම උද්ඝෝෂණවලත් අද කෙරෙන උද්ඝෝෂණවලත් සතපහක ප්‍රයෝජනයක්‌ නැති බව අද සිටින මාපිය පරපුර හො¹කාරව දනිති.

අද මේ අපි දකින ඊනියා "විශ්වවිද්‍යාල සටන්"වල වෙනසක්‌ දැකීමට දැන් කාලය එළඹ තිබේ. අවුරුදු 30-40 ක්‌ මුළුල්ලේ එකම ආකාරයේ උද්ඝෝෂණ රටාවක්‌ දැකීමත් පීඩාකාරී දෙයකි. මෙවැනි උද්ඝෝෂණවලට 1970 ගණන්වලදී අදට වඩා හොඳ ජනතා ප්‍රතිචාරයක්‌ ලැබෙන්නට ඇත. ඒ කාලයේ හැටියට මෙවැනි දේ අලුත් දෙයක්‌ විය. නමුත් අද වන විට මෙය මිනිසුන්ට තිත්ත වී ඇති දෙයකි. පසුගිය බ්‍රහස්‌පතින්දා කොළඹ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ආක්‍රමණය කිරීම මේ කිසිදු දේශපාලනයක්‌ නොදන්නා, හුදෙක්‌ම ආවේග අනුව පමණක්‌ කටයුතු කරන විශ්වවිද්‍යාල සිසුන්ට "පෙරළියක්‌" වුවත්, මේ දෙස ජනතාව බලන්නේ සමාජ විරෝධී ක්‍රියාවක්‌ ලෙස බව සැලකිල්ලට ගත යුතුය.





සී. ඒ. චන්ද්‍රප්‍රේම
(Divaina 18/10/2010)
I'm on the way..