Author Topic: රිලවුන් වගේ පොඩි උන් නටවන්න එපා!  (Read 2319 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
Advertisement
දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න

ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න

මහලුව බැරිවුණාම ඔබ හට ඇවිදින්න

අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න


මේ ළමා ගීතය පුංචි කාලයේ ඇසූ අපට තාත්තාගේ වටිනාකම බොහෝ සේ දැනෙන්නට විය. ඒ නිසා තාත්තාට ඇති ආදරය තවතවත් වැඩි වන්නට විය.

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා

මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

මගෙ පෑනේ වයිරන් වැටිලා

පැන්සලයද ගානට කැපිලා

මවකගේ අපරිමිත සෙනෙහස ලේ කිරි කර පෙවීමට දස මාසයක්‌ කුස දරා ගැනීමට පමණක්‌ නොව දරුවන් රැකබලා ගැනීමටද නිරන්තරයෙන් පවතින බව පවසන මෙම ගීතය අසන පුංචි දරුවන් තුළ මවකට ඇති ආදරය, සෙනෙහස තව තවත් වැඩි වේ.

මෙම ගීත ළමා හඬින් අසන විට දරුවාට එය වඩාත් සමීප වේ. වැඩිහිටියන් විසින් ගායනා කරන මවු ගුණ ගීත පියගුණ ගීත ළමා ක්‍රියාකාරකම් පිළිබඳ සිද්ධීන් ළමුන්ට එතරම් සමීප නැත. එය අප කොයි කවුරුත් දන්නා මනෝවිද්‍යා අත්දැකීමකි.

උදැසනම පොඩි අප දිව යනවා

කොහේද සැඟවී එළියට එනවා

උදේ පාන්දර පාසල් යන්නට

බසයක්‌ ඇවිදින් කතා කරනවා

මෙම ගීතය ළමා හඬින් අසන බොහෝ දරුවන්ගේ සිතට නැඟෙන්නේ උදෑසන තමා පාසල් යන ආකාරය ගැන ය.

මේ සඳහා මගේම පුතා සහ දියණිය පැවසූවකින් කදිම නිදර්ශනයක්‌ ලබාදිය හැකිය. එනම් මේ ගීතය ඇසූ ඔවුන් මට පවසා සිටියේ "අපිත් ඉස්‌කෝලේ යන්නේ ඉස්‌කූල් වෑන් එකෙන්. මෙයාලත් යන්නේ ඉස්‌කූල් වෑන් එකෙන්. අපේ වෑන් එකේ වගේම හෝන් එක ගහගෙන එන්නේ." කියාය.

ඒ පුංචි දරුවන්ගේ හැටිය. ඔවුන්ගේ ළමා ලෝකය ඉතා කුඩාය. වැඩිහිටියන්ට මෙන් සිතන්නට බොහෝ දේවල් නැත. ඔවුන්ට ආදරය යෑයි පැවසූ විට නිතැතින්ම සිහියට නඟාගන්නේ අම්මා තාත්තාගේ ආදරයයි. ඔවුන්ගේ ලෝකයේ සිටින වීරයන් අතර පළමු තැන හිමි වන්නේ අම්මාට තාත්තාට ය. "ඔයාගේ අම්මා කැතයි......" වැඩිහිටියකු විහිළුවට දරුවකුට පැවසූ විට "නැහැ..... අපේ අම්මා ලස්‌සනයි. ඔයා කියන්නේ බොරු" යෑයි පවසමින් ප්‍රතිචාර දක්‌වන්නේ එබැවිනි.

ළමුන්ගේ ලෝකයේ සිටින වීරයන් අතර පළමු තැන හිමි වන්නේ තාත්තාටය. ස්‌පයිඩර් මෑන්, සුපර් මෑන්, ටාසන්, බැට්‌මෑන් කොයි කාටත් වඩා දක්‍ෂයා තාත්තා ය. "අපේ තාත්තාට කියලා මම ඔයාට හොඳ පාඩමක්‌ උගන්වන්නම්" යෑයි දරුවන් පවසන්නේ එබැවිනි.

මා මෙතරම් දරුවන් සහ ළමා ගීත ගැන පැවසුවේ වර්තමානයේ ළමා පරපුර අතරට වේගයෙන් පැමිණෙමින් තිබෙන අනතුරක්‌ ගැන පැවසීමටය. මෙම අනතුර පැමිණෙන්නේ දරුවාගේ දක්‍ෂතාව සමඟය. එනම් සුපිරි ළමා ගායක තරු බිහි කිරීමේ තරග ඔස්‌සේ ය. මෙම තරගවලදී සුපිරි තරු තෝරා ගන්නේ ජංගම දුරකථන ඔස්‌සේ යවන කෙටි පණිවුඩ (එස්‌. එම්. එස්‌.) මගිනිss. එම කෙටි පණිවුඩ යවන්න කුඩා දරුවනට නොහැකිය. ඒ සඳහා වැඩිහිටියන්ගේ සහාය ලබා ගත යුතුය. බොහෝ වැඩිහිටියන් එවැනි කෙටි පණිවුඩ යවන්නේ තමා සතුටු වන ආකාරය අනුවය. වැඩිහිටියන් වඩාත් ප්‍රිය කරන්නේ යොවුන් ගීත වලටය. එබැවින් එම ගීත ගායනා කරන ළමුනට වැඩිපුර එස්‌. එම්. එස්‌. හිමි වේ. මෙම තරගය නිසා වර්තමානයේ ළමා පරපුර අතරට වැඩිහිටි ගීත ඉතා ශීඝ්‍ර ලෙස පැමිණෙන්නට පටන් ගෙන ඇත.

එහි ඇති අනතුර ඇතැම් දෙමාපියනට වැටහෙන්නේ නැත. එය වටහා ගත් දෙමාපියන් ඊට එරෙහිව හඬ නඟන්නට උත්සාහ ගන්නේද නැත. වර්තමාන සමාජයේ පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ මෙවැනි සිද්ධීන් වෙනුවෙන් ඒකරාශි වන්නට කාල වේලාවක්‌ නැතැයි බොහෝ දෙනා පවසති. එබැවින් ඔවුන් තම විරෝධය තම සමීපතමයින් සමඟ පමණක්‌ පවසා නිහඬව සිටිති.

මේ දිනවල කිසියම් පිරිසක්‌ මෙවැනි සුපිරි තරු බවට පත් වූ ළමා ගායක ගායිකාවන් සහභාගි කරගෙන රට පුරා සංගීත සංදර්ශන පවත්වති. ඒ සඳහා ඔවුන් පාසල් වෙත ගොස්‌ ප්‍රවේශ පත්‍ර අලෙවි කරති. ළමා ගීත ප්‍රසංගයක්‌ බැවින් දෙමාපියන් ද එම ප්‍රවේශපත්‍ර මිලදී ගෙන දූ දරුවන් සමඟ මෙම ප්‍රසංගය නැරඹීමට එති. මම ද මෙම ප්‍රසංගයක්‌ නැරඹුවෙමි. වයස අවුරුදු හය හතේ සිට දොළහ පමණ දක්‌වා දරුවන් ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටියහ.

මෙම ප්‍රසංගය ළමා ප්‍රසංගයක්‌ බවට පත් වී ඇත්තේ ළමුන් ගීත ගායනා කරන බැවිනි. නමුත් ඔවුන් ගායනා කළේ වැඩිහිටියන්ගේ ගීතය. එක්‌ දරුවෙක්‌ අලංකාර රංගනයක්‌ ඉදිරිපත් කරමින් ජනප්‍රිය ගායකයකු වන එච්. ආර්. ජෝතිපාලයන්ගේ "හෝ හෝ තුෂාරා" ගීතය ගායනා කළේය. තවත් දරුවෙක්‌ ජෝතිපාලගේ තවත් ජනප්‍රිය ගීතයක්‌ වන "දියකිඳුරිය සේ සාගරේ" ගීතය ගායනා කළේය. ළමා ගායිකාවක්‌ ලතා වල්පොළ මහත්මියගේ ජනප්‍රිය ගීත රැසක්‌ ගායනා කළාය. "රොන් සොයා පියඹන සමනලියක සේ", "සඳ කිඳුරිය සළු පිළි වරලා නිල් අඹරේ හිනැහෙන්නා" ඉන් ගීත දෙකකි.

මෙලෙස ප්‍රසංගයට එක්‌ වූ සෑම ළමා ගායකයකුම ගායනා කළේ වැඩිහිටියන් අතර ජනප්‍රිය ගීතය. වැඩිහිටියන්ගේ ගීතයක්‌ ළමා හඬින් අසන විට එහි ඇති මිහිරි බවට අපි කොයි කවුරුත් ප්‍රිය කරන්නෙමු. නමුත් එම ගීතවල ඇති වචන අරුත කුඩා කාලයේදීම දරුවන්ගේ සිත් තුළට ඇතුළුවීමෙන් සිදුවන අමිහිරි බවට වැඩිහිටියන් කෙතරම් පිරිසක්‌ ප්‍රිය කරන්නේ දැයි කියා විමසීමට සිදු වේ. ඊට හොඳ නිදසුනක්‌ දක්‌වන්නම්. මෙම ප්‍රසංගය නැරඹූ එක්‌ දරුවෙක්‌ ගීතයක පදවැල් අතර තිබූ දේහලතාවේ යන වචනය අසා තම අම්මාගෙන් ඒ ගැන විමසනු මම බලා සිටියෙමි. ඊට ප්‍රතිචාර ලෙස අම්මා සිදු කළේ කට වහගෙන ඉන්නවා කියා දරුවාට සැර කිරීමය. අම්මාගේ සැර කිරීම හමුවේ අසරණව වටපිට බැලූ දරුවා එතැන් සිට සංගීත ප්‍රසංගය නැරඹීමට එතරම් රුචිකත්වයක්‌ නොදැක්‌වීය. එය දුටු මට සිතුණේ නොදැන හෝ ඒ අම්මා සිදු කළේ දරුවාට හොඳක්‌ බවය.

තවත් ළමා ගායකයෙක්‌ අල්හාඡ් මොහිදින් බෙග් ශූරීන් ගායනා කළ අංගුලිමාල චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක්‌ වන 'බුද්ධං සරණං ගච්ඡාමී' ගීතය ගායනා කළේය. ප්‍රසංග වේදිකාවේ සංගීත කණ්‌ඩායම එක්‌ කළ වේග රිද්මයේ සංගීතයට දරුවන් කිහිපදෙනෙක්‌ නටන්නට වූහ. ඇත්තටම මෙම ගීතය නටමින් විනෝද වන්නට ගයන ගීතයක්‌ නොවේ. නමුත් දරුවන්ට එය වැටෙහන්නේ නැත. දරුවන්ට එය වටහා ගැනීමට තරම් බුද්ධියක්‌ නැත. ඔබේ රාගී මන කැළඹේදෝ කියා එම ගීතයේ ඇති පදවැල් හි අරුත දරුවන්ට තේරුම් ගැනීමට තව බොහෝ කල් තිබේ.

වැඩිහිටියන්ගේ ලෝකය කුඩා ළමුන් වෙත එක්‌ කිරීමේ ප්‍රතිඵල වර්තමානයේ අපට අසන්නට දකින්නට ලැබේ. කුඩා දරුවන් මත්පැන් දුම්වැටි අලෙවියට යොදා ගැනීම නිසා සිදුවන අනතුර දැක වයස අවුරුදු 18 ට අඩු දරුවන් ඒ සඳහා යොදා ගැනීම නීතියෙන් තහනම් කර ඇත. සිය කැමැත්තෙන් හෝ වයස අවුරුදු 18 වන තුරු විවාහ විය නොහැකිය.

වයස අවුරුදු 18 දක්‌වා වූ කාලය ළමා කාලය ලෙස ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් ම හඳුන්වාදී ඇත්තේ යහපත් ආකල්පවලින්. යහපත් මනසකින් යුත් දරු පරපුරක්‌ අනාගතයට බිහිකිරීම සඳහා ය. එබැවින් වර්තමානයේ උදාවෙමින් පවතින මෙම අලුත්ම ව්‍යසනය හමුවේ දරුවන්ට වයස අවුරුදු 18 න් ඉහළ ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කිරීම තහනම් කිරීමේ නීති රීති ගෙන ඒමට ද සිදු වේ.

කුඩා දරුවකුගේ මුවින් හලෝ මචං, කොහොමද බං....... වැනි වචන පිටවන විට වැඩිහිටියෝ ඊට විරුද්ධ වෙති. පුතා..... ඔය වචන කියන්න එපා. ඒවා ලොකු අය කියන වචන යෑයි පවසමින් දෙමාපියෝ දරුවනට සැර වැර වෙති. එසේ සැරවැර වෙන දෙමාපියන්ම අද තමුන්ගේ දරුවනට දියකිඳුරිය සේ සාගරේ, හෝ හෝ තුෂාරා, පාංකිරිත්තා තක්‌කිට තරිකිට වැනි වැඩිහිටියන්ගේ ලෝකයේ භාවිත වන වචන සහිත ගීත ගායනා කිරීමට අවසර දී ඇත්තේ අවබෝධය නැති නිසාද? එසේත් නැත්නම් තම දරුවන් ජනප්‍රිය තරු කිරීමේ මුළාවේ පැටලීදොa කියා සිතාගත නොහැකිව මම ළතැවෙමි.

මෙවැනි ප්‍රසංග සංවිධානය කරන්නන්ද, තරග සංවිධානය කරන රූපවාහිනී ආයතන ද තම වැඩසටහන් ජනප්‍රිය කර ගැනීමේ අරමුණ පමණක්‌ සිහි තබා නොගෙන දරුවන්ගේ අනාගතය ගැන ද කල්පනා කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපේ රටේ ඕනෑ තරම් ජනප්‍රිය ළමා ගීත තිබේ. ඒවා ගායනා කළ යුත්තේ ළමුන්ම පමණි. එදා ළමා ගීත ගායනා කර වර්තමානයේ ජනප්‍රිය ගායක ගායිකාවන් බවට පත්ව සිටින වැඩිහිටියන් නැවත තම ළමා ගීත ගායනා කළොත් අතීතයේ ලද මිහිර විඳගත නොහැකිය. එසේ වන්නේ ළමා කාලයේ ඇති සුරතල් හඬ නැති නිසාය.

"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්‌කෝලේ" යන ළමා ගීතය ළමා හඬින් කුමන දරුවකු ගායනා කළත් වැඩිහිටියන් රස විඳින්නේ එම ළමා කාලය අත්විඳ ඇති නිසාය. "දිය කිඳුරිය සේ සාගරේ" ගීතයද, ළමා හඬින් ඇසෙන විට වැඩිහිටියන් එය රස විඳින්නේ යොවුන් කාලය තමා අත්විඳින හෝ අත්විඳ ඇති නිසාය. නමුත් දරුවා එය අත්විඳ නැත. එය දරුවාට කුතුහලයකි. තමුන්ගේ වයසට පෙර එම සුන්දරත්වය අත්විඳින්නට ගියහොත් සිදු වන්නේ විනාශයකි. මෙය වයස අවුරුදු හතේ අටේ දරුවකු මත්පැන් දුම්වැටියක්‌ භාවිත කරනු වැනිය. මත්පැන් දුම්වැටියට ගීතයක්‌ ලඝූ කළා යෑයි කියා පටු ආකල්පයකින් නොසිතන්න. මෙහි සැබෑ යථාර්ථය වටහාගෙන සිදු විය හැකි අනතුරින් ළමා පරපුර මුදා ගැනීමට රටේ වගකිවයුතු සියලු දෙනා සමඟ අපි එක්‌වෙමු.

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද ළමා පරපුර පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කරනු පෙනේ. රූපවාහිනිය තුළින් විකාශය වන ටෙලි නාට්‍යවල භාවිත කරන වචන පිළිබඳව පවා ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු වී තිබේ. එවන් අවධානයකින් පසුවන ජනාධිපතිතුමනි, ඔබේ අවධානය මේ සඳහා ද වහාම යොමු කරන ලෙස ඉල්ලා සිටිමි. අප මේ සතුටු වන්නේ ගින්දර දමා උතුරුවන ලද දිය සැලියක බව වටහා ගත යුතුය. මෙවැනි ප්‍රසංග දරුවන් අතරට ගෙන යැමෙන් සිදු වන්නේ දරුවන්ගේ මනස විකෘති වීමකි. එය සිදු වන්නේ අද හෙට නොවේ. තව වසර කිහිපයකිනි. එවිට අප සිටින දිය සැලියේ වතුර උණුසුම් වී තිබේ.





උපාලි ද සේරම්
Divaina 31-07-2011