Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: Asha Nanayakkara on August 16, 2011, 10:44:28 PM

Title: ගමට චණ්‌ඩි නගරෙට ළපටි
Post by: Asha Nanayakkara on August 16, 2011, 10:44:28 PM
නිල වශයෙන් පත්වන නායකයන් මෙන්ම නොනිලව හෝ ස්‌වෝත්සාහයෙන් පත්වන නායකයන්ද අප සමාජයේ සිටී. එසේම රාජ්‍ය නායකයන් රට පාලනය කරද්දී ප්‍රාදේශීය නායකයන් ඒ ඒ අදාළ ප්‍රදේශ පාලනය කරති. සාමාන්‍යයෙන් අපේ රටේ ජන නායකයන් පත් කරන්නේ මහජනතාවයි. හුදෙක්‌ම ඒ පරමාධිත්වය යෑයි කියනු ලබන සර්වජන ඡන්ද බලයෙනි. නමුත් ජනතාවගේ කිසිම කැමැත්තකින් තොරව තනිකරම තමාගේ හෝ තමන්ට වඩා ඉහළින් ඇති බලයකින් එසේත් නැත්නම් ධන බලයෙන් හෝ අවි ආයුධ වල ශක්‌තියෙන් බලයට පත්වන අයත් අප සමාජයේ දකින්නට ලැබේ. ඒ බොහෝ විට මැර දේශපාලනඥයන් සහ පාතාලයන් යෑයි කියනු ලබන කොටස්‌ය. පාතාලය හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි ගැන අද අපට නිතර නිතර අසන්නට දකින්නට කියවන්නට ලැබේ. සමහරුන්ට මෙය නීරස මාතෘකාවක්‌ වුවද තවත් සමහරුන්ට පාතාල පුවත් ගැන කියවන්නට ඇත්තේ මහත් අභිරුචියකි.

පාතාලයන් පිළිබඳ කතා කරළියට එන්නේ මෑතකය. ඊට පෙර අප අවර ජන සමාජයේ මැරයෝ, මදාවියෝ, මදනයෝ, හයිරංකාරයෝ, වෙඩික්‌කාරයෝ, ලවුඩියෝ, රස්‌තියාදුකාරයෝ, කුපාඩියෝ, අයි ආර් සී කාරයෝ, ගණන්කාරයෝ, ගුස්‌තිකාරයෝ, වීදි හටන්කාරයෝ, නහරයෝ, කල්ලිකාරයෝ, නගරංකාරයෝ, දුෂ්ටයෝ, සාහසිකයෝ වැනි අය දකින්නට ලැබිණි. පාතාලය යනු මේ සියළුදෙනාම එකට කැටිකොට ඊට අමනුස්‌සකම, ජඩකම, බළකාමය, මුදල් තණ්‌හාව, සල්ලාලත්වය සහ ප්‍රචණ්‌ඩත්වය එක්‌කොට තනන ලද අවර ගණයේ සංස්‌කෘතියක්‌ යෑයි කීවොත් කවරෙකු හෝ මා සමග උරණ නොවනු ඇතැයි මම සිතමි.

කෙසේ වෙතත් ඉහතින් කියනු ලැබූ චරිත වලට අමතරව තවත් චරිතයක්‌ද අප සමාජයේ දකින්නට ලැබේ ඒ චණ්‌ඩියායි. අපි මේ චණ්‌ඩින් ගැන බලමු.

චණ්‌ඩියෙකුට අවශ්‍ය සංඝටක හෙවත් ඌ තුළ තිබිය යුතු= ගුණාංග මේ යෑයි ලියූ පොතක්‌ හෝ පාතාල ව්‍යවස්‌ථාවලියේ කොතැනක හෝ තිබෙනු මට හමුවී නැතත් මොබ්ස්‌ පදඉs හෙවත් සැහැසි සමාජයෙන් අසන්නට ලැබෙන කරුණු අනුව සැබෑ චණ්‌ඩියා මොන වගේ අයෙක්‌ද කියා අපට සිතා ගත හැක.

අසම්මත ජන සමාජයේ ව්‍යවහාරයට අනුව චණ්‌ඩියා යනු අසාධාරණයට විරුද්ධ අත පය හොඳින් හසුරවන්නට හැකි එක්‌වර තුන් හතර දෙනකු සමග කරට කර දඟලන්නට සමත් ශක්‌තිමත් අයෙකු විය යුතුය.

සමහරවිට ඔහු ධනවතෙක්‌ වුවද නිතර ගැවසිය යුත්තේ පීඩිත ජන කොටස්‌ අතරේය. සුඛෝපබෝගී කුමාර දිවියක්‌ ගත කිරීම චණ්‌ඩින්ට හරාම් (අකැප) නොවුණද එය හැමදා නොකළ යුතුය. සිටුවරුන්ට ධනවතුන්ට අභියෝග කරනු පිණිස උසස්‌ සමාජයේ ගැවසුණද සැබෑ චණ්‌ඩියා ඇළුම් කළ යුත්තේ තැළෙන පෙළෙන ජනතාවටයි.

ඔහු තමාගේ ඇඟ පත ගැන සිරුර ගැන මනා තැකීමක්‌ කරන්නෙකු වීම අමතර සුදුසුකමකි. එහෙයින් නියම චණ්‌ඩියා මත්කුඩු, මත්පැන් භාවිත නොකරන්නකු සේම ඒවා ජාවාරමේද නොයෙදෙයි. නමුත් සමාජයට හානියක්‌ නොවන ආකාරයෙන් ඉඳහිsට රහමෙර පාවිච්චි කළ පලියට චණ්‌ඩියා නොණ්‌ඩි වෙන්නේද නැත. සමාජ බාසාවෙන් චණ්‌ඩි නොණ්‌ඩි වෙනවා යනු පසුබෑමකට හෝ අවතක්‌සේරුවට ලක්‌වීමයි.

ඇඟේ කොතැනක හෝ සායම් පච්චයක්‌ කොටා ගත්තාටම චණ්‌ඩියකු නොවුණද බොහෝ චන්ඩිණ්‌ගේ සිරුරේ කොටි සිංහ සර්ප මකර ගෝනුසු ආදී සතුන්ගේ ලකුණු දකින්නට ලැබේ. පැඩල් බාර් (පැරලල් බාර්) එකේ කැරකැවී හෝ වේට්‌ සෙට්‌ එක ගසා (බර උසුලා) අමාරුවෙන් හදා ගත් මස්‌ පිඩු පිපුණු ඇඟට කොළපාට සහ රතු පාට මුසු වුණු පච්චයක්‌ ආදේශවීම සැහැසි සමාජය තුළ සුවිශේෂී ස්‌ථානයක්‌ හෝ අනන්‍යතාවක්‌ ඔහුට හිමිකැර දෙයි.

තද කළු ඝන බුරුසු රැවුල හෝ හීනි පොයින්ට්‌ එකද චණ්‌ඩින්ගේ ලකුණකි.

දැල් බැණියම ඇඳීම, බෙල්ලේ රන් දම්වැලක්‌ හෝ කළු නූලක බැඳි රන් සුරයක්‌ රෑඳවීමට බොහෝ චණ්‌ඩි ආසාවක්‌ දක්‌වයි. සාමාන්‍යයෙන් චණ්‌ඩියා කැහැපට ගසා ගත් සරමට යටින් ෂෝටක්‌ හෙවත් කොට කළිසමක්‌ අඳින්නේ හදිසි අවස්‌ථාවක කකුලක්‌ උස්‌සා ප්‍රතිවාදියාට පහරක්‌ එල්ල කරන විට රුකුලක්‌ ලෙසයි.

බොහෝ චණ්‌ඩින්ට තම බජාර් එක තුළ වෙනම වූ කාමරයක්‌ තිබේ. බජාර් එක යනු ඔහුගේ බල ප්‍රදේශයයි. මෙම කාමරයට පොට්‌ එක හෝ ප්ලේස්‌ එක කියාද කියති. ගමේදී නම් එය තිප්පළයි නැතහොත් වාඩියයි. නගරෙන් නගරයට මෙන්ම ගමෙන් ගමටද චණ්‌ඩි සිටිති. ඒ අය හැඳින්වෙන්නේ ප්‍රාදේශීය චණ්‌ඩි ලෙසිනි. ගමේ චණ්‌ඩියාගේ බලය ඇත්තේ ගමට පමණි. ඔහු නගරයට ආ විට කවුරුත් ගනන් ගන්නේ නැත. ගමට චණ්‌ඩි නගරෙට ළපටි කියා කියන්නේ මෙවැනි අවස්‌ථා වලදීය. ගමක සැබෑ චණ්‌ඩියා ලෙස අභිසෙස්‌ ලබන්නේ බොහෝ විට අසාධාරණයට එරෙහිව සටන් කරන හැඩි දැඩි අයෙකි. ඔහු ඉඳහිට හැළි අරක්‌කු ටිකක්‌ බීවාට කන්සා උගුරක්‌ ඇද්දාට බෝක්‌කු පල්ලේ හෝ කමත මත්තේ වැටී පච වෙන්නේ නැත හරක්‌ හොරු, ස්‌ත්‍රී දූෂකයන්, අහිංසක ගෑනුන්ට පාට්‌ දමන්නන් වැනි අයට දඬුවම් දීම නිසා ගමේ චණ්‌ඩියාට කවුරුත් සලකති.

වරපලානේ රාළහාමි, දලවැල්ලේ රාජා, මිරිස්‌සේ සැමී, කිරින්දේ උපාලි වැනි අය එකල මෙසේ තම ගම් වල හොඳ නම් දිනා සිටි චන්ඩිය. නමුත් ඔවුන්ද නගරෙට විත් මොන තරම් සෙල්ලම් දාන්න හැදුවත් අන්තිමේ නොණ්‌ඩි වී සතේට පීචං වී නැවත හැරී ගොස්‌ ඇති බවට අපට කතා අසන්නට ලැබිණි. කොටන කුකුළාට කොයි කොටුවත් එකයි කියා කියමනත් තිබුණද ගම් වාසිය කියා දෙයක්‌ ඇති බවත් පලපුරුදු චණ්‌ඩි විශ්වාස කරති. මෙනිසාම එකල මරදානේ විසූ චොප්පෙ වැනි අය කොතරම් නිර්භීත වුවද බලවත් වුවද ශක්‌තිමත් වුවද වැඩක්‌ සඳහා නගරෙන් පිටට යද්දී යන ගමේ වෙසන ප්‍රාදේශීය චණ්‌ඩියා අඳුනාගැනීමටත් ඔහු සමග සමගියෙන් වැඩ කිරීමටත් නැඹුරුවක්‌ දක්‌වා ඇත. මට මේ බව කියා දුන්නේ දැනට හැත්තෑවියේ පසුවන මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ගුරුදෙණිය නම් ගමේ කාලයක්‌ නම් දරා සිටි කළු බංඩාර මාමා නම් තැනැත්තායි "අපි ගමට චණ්‌ඩි වුණාට නගරෙට ළපටි තමයි මහත්තයෝ ඒක තමයි ඇත්ත කතාව ඒ නිසා අපි පිට ගිහිං වැඩිය සෙල්ලං දාන්නෙ නැහැ ඉස්‌සර චොප්පෙ අයියා නුවර එද්දී අපේ ගෙදරත් එනව. අපෙන් තමයි වැඩ වලට සපෝට්‌ එක ලබාගන්නේ. අපි කොළඹ ගියාමත් උන්දැ බලන්න යනව. රජ සැලකිලි. එයාට පුත්තු දෙන්නෙක්‌ හිටිය. මට මතකයි ලලා ලොකු කොල්ලා. චන්දන දෙවැනිය. උන් දැන් ලොකු ඉලන්දාරිs වෙන්නැති. චොප්පෙට උඩින් ඒ කාලේ මරදානේ කාක්‌කෙක්‌ පියැඹුවෙ නැහැ. චොප්පෙට නොකිය මරියකඩේ බල්ලලෙක්‌ බිරුවෙ නැහැ. අන්න චණ්‌ඩි. දැන් ඉන්නෙ මොක්‌කුන්ද නොණ්‌ඩි නෙමේ දණ්‌ඩි."

කළු බණ්‌ඩාර මාමා දැන් ඉඳහිට නුවර වැව රවුමට එන්නේ පැයක්‌ දෙකක්‌ එහි ඇති සිමෙන්ති බංකුවක වාඩිවී වලාකුළු බැම්මට උඩින් පත්තිරිප්පුව දෙස ඇසි පිය නොහෙළා බලා සිට මඳක්‌ භාවනාවේ යෙදෙන්නයි. ගම්තුලානේ කොතරම් සෙල්ලම් දැම්මද කළු බණ්‌ඩෙ මාමාද නගරෙට නම් ළපට්‌ටෙකි.

මැර වැඩක්‌ කර හෝ බොරු වීරකං පා ගමේ චණ්‌ඩියා වීමට වෙර දරන්නෝද අප දැක ඇත. උන්ගේ චණ්‌ඩිකං ගමට විතරය. මේ ඒ සඳහා එක්‌ උදාහරණයකි. වරක්‌ මා පිටකොටුවේ පෞද්aගලික බස්‌ නැවතුම පිටුපසින් වැටෙන බැස්‌ටියන් මාවත දිගේ කොටුව දුම්රියපළ දෙසට ඇවිදගෙන යද්දී එක්‌ හැඩිදැඩි තරුණයෙක්‌ තම යට ඇඳුම පිටින් පමණක්‌ සැරසී තාප්පයක්‌ අයිනේ පාළු තැනක බිම දණ ගසාගෙන පටළවාගත් දෑතින් තම දෙකන් අල්ලාගෙන අමුතු ඉරියව්වෙන් සිටිනවා දුටිමි. ඊට මඳක්‌ ඈතින් මොහු දෙස බලාගෙන සිටියේ වේවැල් සහ කොහු මිටි කීපයක්‌ අතින් ගත් තරුණ කොල්ලන් කීප දෙනෙකි. මඳක්‌ නැවතී මම මේ ගැන කොල්ලෙකුගෙන් විපරම් කළ විට අසන්නට ලැබුණු කතාව ඔහුගේ බාසාවෙන්ම මෙසේ ලියමි.

"අයියෙ... මූ දඹුල්ලෙ කරෙක්‌. අපි දවසක්‌ විනෝද ගමනක්‌ ගියාම මෙයාට මාට්‌ටු වුණා, කණ්‌ඩලම වැව ගාවදි. ගෑනු ගොඩක්‌ ඉස්‌සරහ මෙයා අපිට ගොං පාට්‌ දාලා අපි ගමේ කෙල්ලන්ට විහිළු කළා කියල බොරු පද හදල අපට අපහාස කරල තව දෙතුන් දෙනෙක්‌ ගෙන්නල පොලු වලිනුත් ගැහුවා. ඒ විතරක්‌ නෙමේ අපේ සාක්‌කුත් සුද්ද කළා. ඒ ඔක්‌කොම කළේ ගෑනු ඉස්‌සරහ බොරු වීරය වෙන්න. මෙයා ඒ පැත්තෙ චණ්‌ඩියෙක්‌ කියලත් කිව්වා. ඉතින් ඔන්න අවුරුද්දකට පස්‌සෙ කරා අපිට අපේ ගමේදී මාට්‌ටු. හැබැයි අපි නං එයාට ගැහුවෙ නැහැ. ඒවා අපිට පුරුදු නැහැනේ. ඒත් ආයි පර වැඩ නොකරන්න පොඩි පාඨමාලාවක්‌ නං දුන්නා."

තව මෙවැනි සිදුවීම් බොහෝමයක්‌ අප සමාජයේ ඇත. දැන් දැන් අපේ ගම් පළාත් වල අමුතු අමුතු චණ්‌ඩින් බිහි වෙමින් පවතී. ඇත්තටම උන් චණ්‌ඩින් නොව මැරයන් හෝ මදාවිකාරයන් කීවාට වැරැදි නැත. කසිප්පු ටිකක්‌ කට ගාගෙන බොරු සද්දෙ දාන්නටත් අහිංසක ගැමියන් තලා පෙලා පීඩා කිරීමටත් පමණක්‌ දන්නා මොවුන් නිසා ගම්වල වසන්නෝ ජීවත්වන්නේ අසීරුවෙනි.

දෙල්ගහවත්තේ සරත් ගැන අපි මඳක්‌ බලමු. ඔහු ආමි ඇබ්සන් කාරයෙක්‌ හෙවත් යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකි. තමාට ඕනෑම ගිනි අවියක්‌ හැසිරවිය හැකි බවට ඔහුම උදම් අනයි. එසේම තමා හොඳ කැලෑ සටන්කරුවෙක්‌ බවද පුන පුනා කියයි. නමුත් මාස තුනක්‌ පමණක්‌ පුහුණුව ලැබ හමුදාවේ උසස්‌ නිලධාරීන්ගේ බොජුන් හලක හෙවත් මෙස්‌ එකක අරක්‌කැමියකු ලෙස සතී කීපයක්‌ පමණක්‌ සේවය කර කඳවුරෙන් පැන ආ සරා දන්නා හටන් ක්‍රම මොනවාදැයි දන්නේ ගමේ කීප දෙනෙක්‌ පමණක්‌ නිසා අන් වැඩි දෙනා ඔහුට බයක්‌ දක්‌වති. සරත් හරක්‌ හොරකං කරයි, කසිප්පු පෙරයි, බූරුවා ගස්‌සවයි, අහිංසක ගෑනුන්ට නිකරුණේ බැන වදී, බඩ පිරෙන්න කසිප්පු බීගෙන හවස්‌ ජාමේ ගම පුරා කුණු හරුප කියමින් හැමෝටම බැණ වදියි. බොහෝ අයට සරාව පිළිකුල්ය. නමුත් ඔහු පුම්බන අයත් ගම සිටී. වැදගත් කමට හැදුනු නිර්භීත පිරිමි කීපදෙනෙක්‌ දෙල්ගහවත්තේ හිටියත් ඒ අය ඇස්‌ කන් වසාගෙන ඉන්නේ සරාට බයේද නැත්නම් අප්පිරියාවටද කියා අපි නොදනිමු. කෙසේ වෙතත් සරා අඹුකමට තියන් ඉන්නේද කලින් කසාද දෙක තුනක්‌ අත්හැර ආ කට වාචාල ගැහැනියකි. මේ දෙන්නාම ගමට අපකීර්යකි.

ගැහැනුන්ට පමණක්‌ පාට්‌ දමන බොරු චණ්‌ඩින් ගමේ මෙන්ම නගරයේද සිටිති. ඔවුන් බොහෝ විට අත දිග හැර පහර දෙන්නේ තමාව වැදූ එකම මවට හෝ අසරණ භාර්යාවටයි. පින්හේන වත්තේ අජී මල්ලී හිරේ ගොස්‌ පොඩි අච්චුවක්‌ ඇද එළියට ආ අයෙකි. ඔහු හිරබත් කෑවේ මස්‌ කරනු පිණිස ම්ලේච්ඡ ලෙස හරකෙකු පාරේ ඇදගෙන ගිය අල්ලපු ගමේ කාසිම්ට පහර දී ගස්‌ බැඳීමේ වරදටය. මේ සිදුවීම පසුපස දේශපාලනඥයෙකු සිටි නිසා අජීට හිරේ යන්න විය. එදා ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීමට හෝ කතා කිරීමට කිසිවෙකු නොසිටියද දැන් නම් ගම්මු බහුතරයක්‌ ඔහුට ලැදිය. ඒ අජී දැන් වැඩි වැඩියෙන් අසාධාරණයට එරෙහිව කතා කරනවා පමණක්‌ නොව ක්‍රියාත් කරන නිසාය. කසිප්පු බීගෙන කෑගසන එවුන්ට ඔහු කනේ පාර දී ගෙදරටම එලවා දමයි. ගමේ ඉන්න අහිංසක කෙල්ලන්ට කැත විහිළු කරන අමන තරුණයන්ට අජී මුලින් අවවාද දී අසන්නේ නැත්නම් අතින් පයින් පහර දෙයි. හොරකං කිරීමට මත්පැන්, මත්කුඩු විකිණීමට මේ ගමේ කිසි ඉඩක්‌ නැත්තේ අජී මල්ලී නිසාය. නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන තැන නීතිය අතට ගෙන යම් යම් දේ කරන මේ මල්ලිලා හරි යෑයි අපට අනුමත කළ නොහැකි වුවද මෙවැනි අය ගමක හෝ නගරයක සිටිය යුතුය. නියම චණ්‌ඩියා කියා කිව හැක්‌කේ වැරැදි දේට ඉස්‌සර වෙන්නා නොව අසාධාරණය වෙනුවෙන් සටන් කරන්නා බව අප සමාජයේ පවතින පොදු මතයකි.

ලයිසන් චණ්‌ඩියා කියා සමාජ බාසාවෙන් කියන්නේ පොලිස්‌ නිලධාරියාටයි. යමෙකුට අතින් පයින් ගැහීමට පරුස වචනයෙන් බැණ වැදීමට දෙකක්‌ ඇන කුදලා ජීප් එකට දාගෙන බලු කූඩුවේ ලැග්ගවීමට නීතිමය අයිතියක්‌ ඇති නිසා ඔහුට එසේ කියයි. සමහර ලයිසන් චණ්‌ඩි පාට්‌ දමන්නේ අසරණයන්ට සහ දුප්පත් පන්තියේ වැරැදිකරුවන්ට පමණි. පාතාලයන් දේශපාලනඥයන් ධනවතුන් වැනි අය ඉදිරියේ දෙකට නැමෙන ලයිසන් චණ්‌ඩි ද අපි අනන්තවත් දැක ඇත.

චණ්‌ඩියාගේ සහ පාතාලයාගේ අතර සෑහෙන වෙනසක්‌ ඇත. චණ්‌ඩ ගති ඇති වුණද චණ්‌ඩියා තුළ පෞරුෂයක්‌ තිබේ. පාතාලයා එසේ නොව සැඟවී පහර දෙන මුදල් පසුපස පමණක්‌ යන දේශපාලනඥයන්ගේ පිට කසන ජඩයන්ය.





මිත්‍ර ශ්‍රී කරුණානායක
Divaina 14-08-2011