Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: Asha Nanayakkara on October 02, 2011, 09:01:25 PM

Title: ෆන් එකට කැලේ - බයිට්‌ එකට දඩමස්‌
Post by: Asha Nanayakkara on October 02, 2011, 09:01:25 PM
විනෝදයට........!

"විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා.... තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා......

දුරබිම් තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා....

මහ කැලයේ වැද්දන් මුණ ගැසුණා...."

මෙලෙස ගී ගයමින් විනෝදවෙමින් අපි බොහෝ දෙනා වනයේ සුන්දරත්වය විඳින්නට චාරිකාවල නිරත වන්නෙමු. එහිදී අපි යාල, විල් පත්තු වැනි අභයභූමි වෙත ගොස්‌ වනසතුන් නරඹා විනෝද වන්නෙමු.

කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත්වීමත් සමග මෙතෙක්‌ වසා දමා තිබූ අභය භූමි කලාපයන්ද විවෘත කර ඇති නිසා දැන් දැන් බොහෝ දෙනා අභය භූමි වෙත සංචාරය කරන්නට චාරිකා යොදා ගනිති. එබැවින් අභය භූමි ආශ්‍රිත නිවාඩු නිකේතන වෙන්කර ගැනීමද ලෙහෙසි පහසු නැත. ඒවා සතිය පුරාම වෙන්කරවාගෙන ඇත.

මෙවැනි විනෝද චාරිකාවක්‌ යන්න හදන බොහෝ දෙනා සංචාරක නිකේතනය වෙන්කරවා ගත් පසු සිහින මවන්නේ එහි ගොස්‌ විනෝදවන හැටිය. සැබෑවටම වනයේ අසිරිය විඳින්න යන අය ගහ කොළ සතා සිව්පාවාට ආදරේය. ඔවුන් වනයට යන්නේ වන සතුන්ගේ සුන්දරත්වය දකින්නට ගහකොළවල අසිරිය විඳින්නටය. නමුත් එලෙස වනයේ සුන්දරත්වය විඳින්නට යන පිරිස ඉතා සීමිතය. බොහෝ දෙනා කැලයේ යන්නේ විනෝදයටය. එහෙමත් නැත්නම් පොඩි ෙච්න්ඡ් එකකටය. (වෙනසකටය) පොඩි ෙච්න්ඡ් එකකට ගොස්‌ පොඩි ආතල් එකකුත් ගන්නට මේ අය උත්සාහ කරති. ඒ සඳහා ඔවුන් සොයන්නේ දඩමස්‌ය. මචං..... අපි යාල යනවා. දඩමස්‌ ටිකක්‌ හොයගන්න බැරිද? ඌරා, ගෝණා, මුවා ලෙසින් වනසතුන්ගේ නම් පවසමින් දඩමස්‌ සොයති. මෙලෙස දඩමස්‌ සොයා එන පිරිස නිසා ඇතැම් පුද්ගලයන් ගෝණා, මුවා කියා වසු පැටියන්ගේ මස්‌ දෙති. එසේත් නැතිනම් වඳුරු මස්‌ දෙති. මෙලෙස දඩමස්‌ සොයාගෙන සංචාරක නිවාඩු නිකේතනයට ගොස්‌ මස්‌ පුළුස්‌සාගෙන කමින් මධුවිත තොලගාමින් විනෝදවන පිරිස ඉන්පසු වනසතුන් බලන්නට සැරසෙති.

මෙලෙස වනයේ අසිරිය විඳින්නට එන අයට අපූරු කථාවක්‌ පවසන්නට මෙවර මට සිතිනි.

අපි ඔහුට සමන්ත යෑයි කියමු. යාල වනයේ මාර්ගෝපදේශකයකු ලෙස වසර විස්‌සක්‌ පමණ අත්දැකීම් සහිතය. මගේ ගම තණමල්විල. පුංචි කාලේ ඉඳලම වන සතුන්ට ගහකොළට මම ගොඩාක්‌ ආදරය කළා. ඒ නිසා මගේ රැකියාව ලෙස මා තෝරාගත්තේ වන ජීවීන් සමග ජීවත්වීමයි. මගේ වසර විස්‌සක පමණ සේවා කාලය තුළ මට වැඩිපුරම හමුවෙලා තියෙන්නෙ විනෝදයට සත්තු බලන්න එන අය. ඒ අය ආපු ගමන්ම අහන්නේ දඩමස්‌ ටිකක්‌ හොයාගන්න බැරිද කියලයි.

මහත්තයෝ..... මහත්තයා තමුන්ගේ රස්‌සාවට ආදරය කරනවා වගේ අපිත් අපේ රස්‌සාවට ආදරෙයි. අපේ රස්‌සාව තමයි වනසතුන් බලන්න එන අයට මේ අහිංසක සත්තු පෙන්වීම. ඒක ලෙහෙසි පහසු දෙයක්‌ නෙමෙයි. අපි කොච්චර සත්තුත් එක්‌ක හිටියත් වනයේ සතා විශ්වාස නැහැ. තනි අලියා විශ්වාස කරන්නට බැහැ. කොයිවේලේ නපුරක්‌ කරයිද කියන්න බැහැ. ඉතිං එවැනි සත්තු එක්‌ක ඉන්න අපි කොහොමද වනයේ සතෙක්‌ මරලා මස්‌ කන්න දෙන්නෙ. වන සතෙක්‌ මරාගෙන මස්‌ කාලා අපි කොහොමද වන සතුන්ගේ සුන්දරත්වය බලන්නෙ. ඒක හරියට මිනිස්‌සු මරන ගමන් මිනිස්‌සුන්ට ආදරේ කරනවා වගේ වැඩක්‌නෙ. ඒ නිසා කවදාවත් මගෙන් කවුරුහරි දඩමස්‌ ඉල්ලුවොත් මම කියන්නෙ එහෙනම් මහත්තයලාගෙන් කාවහරි මරාගෙන කන්න කියලයි.

ඇත්තටම වන සත්තු බලන්න එනවානම් සිහි බුද්ධියෙන් සතුන්ට ආදරෙන් පැමිණිය යුතුයි. සතාට හොඳට ඉව තියෙනවා. උන්ට පිළී ගඳ දැනෙනවා. එතකොට සත්තු කැලේ ඇතුළට ගිහින් හැංඟෙනවා. එතකොට ඉතිං සත්තු බලන්න කැලයට එන අයට වෙන්නෙ උඩබිම බලාගෙන ඉන්න විතරයි.

දවසක්‌දා තරුණයෝ කට්‌ටියකුයි තරුණියෝ කට්‌ටියකුයි ආවා යාලට. දවස්‌ දෙකක්‌ ඉන්න බලාගෙනයි ආවෙ. එයාලගේ වැඩේ මට වද කරනවා දඩමස්‌ හොයලා දෙන්න කියලා. මම කොහොම කිව්වත් එයාලා අහන්නෙ නැහැ. මෙයාලා රෑ හොඳට මත් පැන් බීලා සිංදු කිව්වා. මම කිව්වා කෑගහන්න එපා සත්තුන්ට හිරිහැරයක්‌ කියලා. අනෙක නවාතැන තියෙන්නේ කිලෝමීටර් දහයක්‌ විතර කැලේ ඇතුළේ.

කියන දේ අහන්නේ නැහැ. මමත් ඕන දෙයක්‌ කියලා පැත්තකට වෙලා හිටියා. රෑ දෙගොඩ හරියේ මහා හයියෙන් නරි හූ කියන්න පටන් ගත්තා. වීරයෝ වගේ කෑගහපු කට්‌ටිය දැන් පූස්‌ පැටව් වගේ බයවෙලා. මම කිව්වා බය නැතිව ඉන්න ඔය නරි හූ කියන්නෙ කියලා. උදේ කට්‌ටිය සත්තු බලන්න සෆාරි ගියා. එක සතෙක්‌වත් බලන්න බැරිවුණා. මහා හයියෙන් වහින්න පටන් ගත්තා. ආයිත් නවාතැනට ආවා. මම එයාලට පැහැදිලි කරලා දුන්නා කැලේට ඇවිත් හැසිරෙන්නත් ක්‍රමයක්‌ තියෙනවා කියලා. එදා දවස කට්‌ටිය බොහෝම විනීතව සිටියා. පහුවෙනිදා උදේ සත්තු බලන්න ගියා. දිවියයි, වලහයි හැරෙන්න අනෙක්‌ සත්තු දැක ගත්තා. දිවියයි, වලහයි බලන්න ටිකක්‌ ආමාරුයි. ඒකටත් වාසනාව තියෙන්න ඕනෙ.

වනයේ අසිරිය බලන්න වන සතුන් දකින්න එන අය සිහි තබාගත යුතු කරුණු කිහිපයක්‌ තියෙනවා. පළමුවෙන්ම සිහි තබාගන්න ඕනෙ අපි යන්නෙ කොහෙද කියලා. මහ වනයක්‌ මැද වනසතුන් මැද රැයක්‌ ගත කරන්න යන බව සිහි තබාගත යුතුයි. විදුලි පහසුකම් තියෙන්නෙ විදුලි ජනකයකින් විතරයි. හදිස්‌සියක්‌ වුණොත් නගරයේ වගේ ගමක වගේ එක පාරට රෝහලකට යන්න බැහැ. මහ වනය මැදින් යන්න ඕනෙ. අනෙක තමයි සතුන්ට හොඳට ඉව තියෙනවා. උන්ට තමුන්ට ආදරය කරන අය හිංසා කරන අය ගැන දැනෙනවා. දවසක්‌ මම දෙහිවල කට්‌ටියක්‌ එක්‌ක සත්තු බලන්න සෆාරි ගියා. යන කොට තනි අලිය හමුවුණා. අපි ගිය වෑන් එක නතර කරලා පැය බාගයක්‌ පමණ බලාගෙන හිටියා. ඒත් අලියා පාරෙන් ඉවත් වන්නෙ නැහැ. මම අලි මත්තරත් මතුරනවා. ඒත් අලිය අහන්නෙ නැහැ. ටිකක්‌ වෙලා යන කොට අලියා කැලයට ගියා. අපි හිතුවා ඌ අපට මඟහැර ගිහින් කියලා බැලින්නම් ඌ කැලේ ඇතුළට ගිහින් වානය පිටුපස පැත්තෙන් පාරට ඇවිත් අපට පහර දෙන්න සැරසෙනවා. අපේ වාහනයේ රියෑදුරුට මම කිව්වා ඉක්‌මනට වාහනය පණගන්වා ගෙන නතර නොකරම යන්න කියලා. කිලෝ මීටර් දෙකක්‌ පමණ අලියා අපේ පස්‌සෙන් පන්නගෙන ආවා..... පස්‌සෙ බැලින්නම් මෙයාලගේ වාහනයේ මත්පැන් බෝතල් කේස්‌ ගණන් තියෙනවා. දඩමස්‌ කිලෝ ගාණකුත් අරගෙන ඇවිත්.

මම එයාලට කිව්වා අනේ මහත්තයෝ කරුණා කරලා ඔය මස්‌ ටික අයින් කරන්න කියලා.

වනසත්තු බලන්න කැලේ එනවා නම් දවසක්‌ ඒ සඳහා ගත කළ යුතුයි. උදේ පාන්දරම ගියහම සත්තු කැලයෙන් එළියට එනවා බලන්න පුළුවන්. ඒක හරි සුන්දරයි. හරියට ළමයි පාසල් යන්න ගෙදරින් එළියට එනවා වගෙයි. සත්තු තමුන්ගේ ආදර වන්තිය හමුවුණාම එය ප්‍රකාශ කරන ආකාරය හරිම සුන්දරයි. ඇත්තු හොඬවැල් පටලගෙන ඇගේ දැවටී දැවටී ආදරය කරනවා. රැළේ ඇතින්නියෝ තම පැටවු රැකබලා ගන්නා ආකාරය හරිම සංවේදීයි.

උදේ ඉඳන් කැලේ ඇවිදලා සත්තු හවසට ළඟම තියෙන දිය කඩිත්තට එනවා වෙහෙස නිවාගන්න. ඒවා බලන්න බොහොම ඉවසීමෙන් සිහි බුද්ධියෙන් ඉන්න ඕනෙ. මත්පැන් බී දඩමස්‌ කා සිහිය විකල්කරගෙන සත්තු දිහා බලන්න බැහැ. එතකොට ඒ අයත් දඩයක්‌කාරයෝ මස්‌ වැද්දෝ වගේ වෙනවා.

සමන්ත පැවසූ පරිදි ඔහු එතරම් අධ්‍යාපනයක්‌ ලබා නැත. නමුත් ඔහු වනයේ අසිරිය විඳින්නට හෙවත් ෙච්න්ඡ් එකකට ආතල් ගන්න එන උගත් යෑයි කියන තරුණ තැරුණියන්ට වඩා උගතෙකි. කොටින්ම කියතොත් ඔහු වනයේ ජීවත් වූවත් වැද්දෙක්‌ නොවේ. ජැන්ඩියට හැඳ පැළඳ සුපිරි වාහන වලින් එන වැද්දන්ට ඔහු හොඳ ආදර්ශයකි.




උපාලි ද සේරම්
Divaina 02-10-2011
Title: Re: ෆන් එකට කැලේ - බයිට්‌ එකට දඩමස්‌
Post by: araliyamala on October 03, 2011, 12:08:24 AM
අනුන්ගෙ මස් ටිකක් නොකා,ගිනිවතුර ටිකක් කටේ වක්කර නොගෙන ආතල් එකක් නැහැ කියලා හිතන් ඉන්න අපේ අනිත් අයටත් මේ කතාව හරිම වටිනවා.මිනිස්සු අපි වගේම සතා සිව්පාවත් දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න ආස බව අපි හොඳින් දැන්ගතයුතු කරුණක්.එ වගේම බුදුන් වැඩිය මේ රුවන් පොලව තුල එවැනි ක්‍රියාවන් ඇත්තටම බුදු දහමටත් කරන නිගාවක්.කොහොම උනත් මෙවැනි වටිනා ලිපි උපුටා දක්වමින් හෝ අපිට ඉදිරිපත් කිරීම ගැන ආශා ඔබට ස්තුතියි.

මුතූ


muthu